ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරයක් සිදුවූ බවට නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විභාගයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීමට කැනඩා පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කර තිබේ.
මෙය දෙමළ වර්ග සංහාරයක් සම්බන්ධයෙන් ජගත් පාර්ලිමේන්තුවක සම්මතවූ මුල්ම යෝජනාව සේ සැලකේ.
“සන්නද්ධ ගැටුමේ අවසාන අදියරේදී ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකරන ලද බවට වන චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම සභාව ඉල්ලා සිටී,” යනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (NDP) මන්ත්‍රිනී චෙරිල් හාඩ්කාසල් විසින් ගෙන එන ලද යෝජනාවේ සඳහන් වෙයි.
යෝජනාව සම්මත වූ බව කතානායක ජෙෆ්රි පෝල් රේගන් ප්‍රකාශයට පත් කරද්දී සභාගර්භයේ සිටි මැති මැතිණියන් අත්පොලසන් දෙමින් සතුට පලකරනු දැකගත හැකිය.
සම්මතවූ යෝජනාව ඓතිහාසික එකක් ලෙසින් කැනඩා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ගැරී ආනන්දසංගරීගේ ප්‍රශංසාවට ලක් විය.
“මුල්ලිවයික්කාල් වලින් දස වසරකට පසුත් වගවීම සහ යුක්තිය වෙනුවෙන් අප පෙරට යාම ඉතා වැදගත් වෙයි,” යනුවෙන් ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන ලද කෙටි පණිවිඩයක දැක්වේ.
වීඩියෝ
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් :
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් යුක්තිය සලසන ලෙසත්, සුළු ආගමික කණ්ඩායම්වල ඇදහීමේ අයිතිය සහ වන්දනාස්ථාන ආරක්ෂා කරන ලෙසත් කැනඩා පාර්ලිමේන්තුව සම්මත කරගත් යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
දෙමළ යුද පීඩිතයන්ද චෝදනා කරන පරිදි ශ්‍රී ලංකා රජය වර්ග සංහාරයක යෙදුනු බව 2014 ජර්මනියේ බ්‍රේමන් නුවර මුළුදුන් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක ඒකමතික තීරණය විය.
ශ්‍රී ලංකාවේ රජය වර්ග සංහාර චෝදනාව පමණක් නොව දෙමළ සමුලඝාතනයක් සිදු කළ බව පවා ප්‍රතික්ෂේප කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති පරිදි යුද්ධයේ අවසාන භාගයේ මරා දමන ලද නිරායුද වැසියන් ගණන අඩුම වශයෙන් හැත්තෑ දහසක් වෙයි.








