කොවිඩ් ආසාදිත රෝගියෙකු දැයි හඳුනාගැනීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සඳහා උපයෝගී කරගනු ලබන වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල (rapid antigen test kits)  ඉහල මිල ගණන්
 
සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය වෙත බරපතල විවේචනයක් එල්ල වෙමින් තිබේ.  
 
එම විවේචනයේ ඉලක්කය වී ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීරයි. මෙරටට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය කරනු ලබන 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' (George Steuart Health ) සමාගමේ ප්‍රධානියා දිලිත් ජයවීරවීම ඊට හේතුවයි. එසේම ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වීම මෙම විරෝධය දේශපාලනික මුහුණුවරක් ගැනීමට ද හේතුවී ඇත. 
 
 
 
කෙසේවුවද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සඳහා මිල ගණන් ඉහල ගොස් ඇත්තේ 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගම වැඩිමිලට විකුණන නිසාද පෞද්ගලික රෝහල් වැඩි ගාස්තුවක් අයකරන නිසාද යන්න මේවනවිට සංවාදයට ලක්ව ඇති කාරණයකි. 
 
 
කොවිඩ් ආසාදිත රෝගියෙකු දැයි හඳුනාගැනීම සඳහා දැනට ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රම දෙකක් වන්නේ PCR පරීක්ෂාව සහ රැපිඩ් අන්ටිජන් (Rapid Antigen Test) පරික්ෂාවයි.
 
කොවිඩ් වෛරසය වැළඳී ඇත්දැයි සිදු කළ යුතු සායනික පරීක්ෂණය වන්නේ PCR (Polymerase Chain Reaction) පරීක්ෂණයයි. 
 
මෙහි ප්‍රථිඵල ලැබීමට ගතවන කාලය වැඩි හෙයින්ද කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය වර්ධනය වීමත් සමග වඩා වේගවත්ව ප්‍රතිඵල දැනගැනීම සඳහා විකල්ප පරීක්ෂණවල අවශ්‍යතාවය ද මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (RAT) සිදු කිරීම ආරම්භ විය.
 
PCR පරීක්ෂාවකට වඩා Antigen පරීක්ෂාවේ ප්‍රතිඵල වල නිරවද්‍යතවයේ සුළු අඩුවක් තිබිය හැකි වුවද ඉක්මන් ප්‍රතිඵල ලැබීම හේතුවෙන් එම පරීක්ෂාවන් ද ලොව පුරා සිදුකෙරේ.
 
කෙටි කාලයක දී ප්‍රතිඵල ලබාගත හැකිවීම හේතුවෙන් ලංකාවේ ද රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්වලද, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරනු ලබන අතර එහි ප්‍රතිඵල විනාඩි 30 ක් වැනි කාලයක් ඇතුළත ලබා ගැනීමේ  හැකියාව පවති. 
 
 
 
 

 
 
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීම සඳහා අධික මුදලක් දැරීමට සිදු වීම පිළිබඳ බොහෝ පිරිස් චෝදනා කර තිබුනේ එම පරීක්ෂණ සඳහා රෝහල්වලින් අය කළ මුදල් රු. 2500-3000ක් හෝ ඇතැම් අවස්ථාවල දී ඊට ද වඩා මුදලක් වැය වන බවට කරුණු දක්වමිනි.
 
ඇතැම් භික්ෂූන් වහන්සේලා සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසා ඇත්තේ, රුපියල් 80ක් වටිනා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගම විසින් රුපියල් 2500 ක වැනි මුදලකට අලෙවි කරන බවයි.
 
එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගම විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ පහත දැක්වෙන නිවේදනය පළකර තිබිණ. 
 
 
 
DJ 2021.08.224 
රුපියල් 1,146.22 ක උපරිම මිලක් !
 
මෙම පරීක්ෂණ කට්ටලයක් සඳහා එවකට ඩොලරයක හුවමාරු වටිනාම රු.187 ක් ලෙස සැලකිල්ලට ගනිමින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය සේවා ආයතවනලට අදාළ වන පරිදි රුපියල් 1,146.22 ක උපරිම මිලක් නියම කර තිබුණු බවත්, විශාල තොග වශයෙන් මිලදී ගනු ලබන අවස්ථා වලදී ඉහත සඳහන් මිලට වඩා අඩු මිලක් යටතේ ශ්‍රී ලංකා රජයට පරීක්ෂණ කට්ටල ලබා දුන් බවත්, ශ්‍රී ලංකා රජය විසින් මිලෙහි වෙනසක් සිදු කරනු ලබන තුරු ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම ඉහත සඳහන් කළ මූලික මිලකට අලෙවි කරන බවත් එහි සඳහන් ව ඇත. 
 
'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්'  සමාගම සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, තම සමාගම එක රෝගියෙක් සඳහා සිදුකරන එක පර්යේෂණ කට්ටලයකින් රුපියල් 150 ක දළ ලාභාංශයක් හිමිවන බවයි.
 
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් Rapid Antigen Test කට්ටලයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා රුපියල් 1146.22 ක උපරිම මිලක් නියම කළ ඇත. එම පාලන මිල නියම කර තිබුනේ ලංකාවට පළවෙනි ම Rapid Antigen Test  කට්ටල ගෙන්වීමටත් පෙරය. 
 
 
 
අප මේ සම්බන්ධයෙන් විමසීමට ජෝර්ජ් ස්ටුවට් සමාගමේ මහජන සම්බන්ධතා ආයතනයේ නිලධාරීවරයෙකු දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු සඳහන් කළේ, ජාතික ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ලබා දුන් උපරිම මිලට යටත්ව රු.1,146ක මුදලකට මෙම පරීක්ෂණ කට්ටල අදාළ රෝහල්වලට ලබා දුන් බවත් තොග වශයෙන් ලබා ගත් ආයතන සඳහා ඊටත් අඩු මුදලකට ලබා දුන් බවත් ය.
 
 එම මිලට ඉහළින් කිසිදු ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් විකුණා නැති බව ඉතාමත් වගකීමෙන් පවසන බවත් එවැනි අවස්ථා ඇත්නම් රෝහල් වෙතින් හෝ ඖෂධ නියාමන අධිකාරියට හෝ පැමිණිලි ලැබිය යුතු බවටද ඔහු සඳහන් කළේය. 
 
 
 
විශේෂ ගැසට් නිවේදනයක් !
 
 
මෙසේ PCR පරීක්ෂණයන් සහ ඇන්ටිජන් පරීක්ෂණයන් සඳහා අයකරන ගාස්තු සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනයන් එල්ලවේදී ඒ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය පාරිභෝගික අධිකාරියේ ඉල්ලීම මත PCR පරීක්ෂණයන් සහ ඇන්ටිජන් පරීක්ෂණයන් සඳහා උපරිම ගාස්තු ප්‍රකාශයට පත්කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
 
 
 PCR Gazat new
                                   PCR සහ ඇන්ටිජන් පරීක්ෂණයන් සඳහා නිර්දේශිත ගාස්තු පිලිබඳ ගැසට් නිවේදනය 
 
 
මෙම ගැසට් නිවේදනයට අනුව ඇන්ටිජන් පරීක්ෂණයන් සඳහා අයකිරීමට හැකි උපරිම ගාස්තුව රුපියල් 2000 කි.  මේ අනුව මෙම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වන දිලිත් ජයවීරගේ 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්'  සමාගම රුපියල් 150/= ක දළ ලාභාංශයක්  උපයා ගනිද්දී පෞද්ගලික රෝහල් එක් ඇන්ටිජන් පරීක්ෂණයකින් රුපියල් 860 /= ක  දළ ලාභංශයක් අත්පත්කර ගනී.
 
පාරිභෝගික අධිකාරිය විසින් උපරිම මිල පැනවීමට පෙර විශාල ලාභයක් තබා ඇතැම් පෞද්ගලික රෝහල් පාරිභෝගිකයින් ගෙන් මෙම ඇන්ටිජන් පරීක්ෂණය සඳහා මිට වඩා විශාල මුදල් අය කර ගෙන තිබූ අතර, දැනට ද නොනිල අන්දමින් ගැසට් නිවේදනයේ සඳහන් උපරිම ගාස්තුවට වැඩි මුදලක් අයකරන බවට සමාජ මාධ්‍යවල සඳහන් වේ. 
 
 
කෙසේවුවද 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්'  සමාගමේ මහජන සම්බන්ධතා අංශයේ නිලධාරියා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සමාගමට රුපියල් 150ක දළ ලාභාංශයක් ලැබුනද එම මුදලින් අතිරේක ගුවන් ගාස්තු, රේගුවෙන් නිදහස් කරගැනීමේ ගාස්තු, අඩු උෂ්ණත්වයේ ගබඩා පහසුකම්, දිවයින පුරා බෙදාහැරීමේ ප්‍රවාහන ගාස්තු, තාක්ෂණික පුහුණු වැඩමුළු, සේවක පඩි - නඩි, බැංකුවල ක්‍රෙඩිට් පහසුකම් සඳහා ගෙවිය යුතු ගාස්තු හා බැංකු පොලි ද ගෙවීමට සිදුව ඇති බවයි. 
 
'' ඇත්තම කිව්වොත් මේක අපි කරන්නේ බිස්නස් එක්ක විදියට නෙමෙයි.. මේ වෙලාවේ ජනතාව මුනදිලා ඉන්න අසරණකම දැකලා අපෙන් කලයුතු සේවයක් විදියට. ඇත්තටම කිව්වොත් ප්‍රයිවෙට් රෝහල්වලටත් ගැසට් එකේ තියන ගානට ඇන්ටිජන් පරීක්ෂණයක් කරන්න අමාරුයි.. සැහෙන්න වියදමක් යනවා. ඔය ගැසට් එක නිසා දැන් සමහර ප්‍රයිවෙට් හොස්පිටල්වල අන්ටිජන් පරීක්ෂණ නවත්තලා කියල ආරංචියි..'' ඔහු තවදුරටත් කියා සිටියේය.
 
 
දේශීය නියෝජිතයා දිලිත් !
 
 
PSX 20201107 224108                         දිලිත් ජයවීර : ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය කරන 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගමේ ප්‍රධානි  
 
 
 
 
අප විසින් තව දුරටත් සිදුකල සොයා බැලීම් වලදී අනාවරණය වුයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදී ඇත්තේ රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල නිෂ්පාදනය කරන SD BioSensor  සහ Abbott and Bio යන විදෙස් සමාගම් දෙකට පමණි. 
 
එම ජාත්‍යන්තර සමාගම් දෙකේ ම දේශීය නියෝජිතයා ලෙස පසුගිය දශකය පුරාම කටයුතු කරන්නේ 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගමයි. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඇන්ටිජන් කට්ටල භාවිතයට අනුමැතිය ලබාදීමත් සමගම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස විසි දෙවැනි දා ලංකාවට මෙම පරීක්ෂණ කට්ටල ගෙන්වීමට අවසර ලබා දෙනු ලැබිය.
 
එම අනුමැතිය ලැබුන සැනින් පෞද්ගලික අංශයේ හා පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගම විසින් එම රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලංකාවට ගෙන එනු ලැබිය.
 
එම සමාගම සඳහන් කරන පරිදි එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ සමාගමක් සහ පෞද්ගලික රෝහල් අතර සිදු වූ ගනුදෙනුවක් මිස රජයට කිසිදු සම්බන්ධයක් නැත.
 
 
Krish International :
 
 
 
කෙසේවුවද 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' සමාගමේ ඇණවුමකින් තොරව වුවද වෙනත් සමාගමකින්ද මීට වඩා අඩු මුදලකට rapid antigen ගෙන්වා,  ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචිකර අලෙවි කිරීමේ හැකියාව පවතී.  දැනටමත් එලෙස කටයුතු කරන සමාගම් තිබේ. Krish International ඊට එක් උදාහරණයකි. 
 
 
 
 වෙනත් ඕනෑම අයෙකුට රුපියල් 1146 /= ක ට වඩා අඩු මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතු ඇන්ටිජන් කට්ටලයක් ගෙන්වීමට අයිතිය ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති කමල් ජයසිංහ පවසයි. එයින් අදහස් වන්නේ මෙම ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේ ඒකාධිකාරයක් නොමැති බවයි.
 
 
(උපුටා ගැනීම් - srilanka.factcrescendo.com)
 
 
 
සබැඳි පුවත් :
 
THE LEADER TV 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්