වී වගාව සඳහා නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 1.8ක් සහ බඩඉරිඟු වගාව සඳහා ලීටර් 3,25,000ක් ආනයනය කිරීමට කැබිනට් තීරණය දැනුම් දෙන්නේ ඔක්තෝබර් 19 වැනිදා බවත්, පුද්ගලික ගිණුමට මුදල්
හුවමාරුව සිදුවී තිබෙන්නේ කැබිනට් තීරණය ලැබීමටත් පෙර එනම් ඔක්තෝබර් 18වෙනිදා බවත් පාර්ලිමේන්තුවේ හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කරයි.
 
ඔහු මේ බව අනාවරණය කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. 
 
“මේ වනවිටත් ගොවි ජනතාව පොහොර නොමැතිව විශාල පීඩාවක ඉන්නවා. ඒ අතර නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම විශාල කතා බහකට ලක්ව තිබෙනවා. 
 
ආණ්ඩුව පොහොර අර්බුදයට විවිධ තීන්දු ගත්තා. එක වෙලාවක කාබනික පොහොර කියලා රසායනික පොහොර ගෙන්වුවා. කාබනික පොහොර ලෙසම චීනයෙන් ගෙන්වූ පොහොර තොගයේ ප්‍රමිතියේ ප්‍රශ්න නිසා හරවලා යැව්වා. ඒ පොහොරම නැවත වරායට ඇවිල්ලා නතර වෙලා තිබෙනවා.
 
 ඒ අතර ඉන්දියාවෙන් පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුවෙලා ඇති බවට වාර්තා වෙනවා. එම වංචාව සම්බන්ධයෙන් ලියපු මාධ්‍යවේදීන් සී.අයි.ඩී. එකට කැඳවලා තිබෙනවා.
 
අංශු මාත්‍ර ශාක පෝෂක නිෂ්පාදක සැපයුම යටතේ පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. එය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔක්තෝබර් 15 දින ඉදිරිපත් කළ බවට සඳහන් වෙනවා. 
 
''නමුත් මෙම නයිට්‍රජන් පොහොර තොගය ඉන්දියාවෙන් ගෙන්වාගෙන තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට පටහැනිව බව දැන් පැහැදිලි වෙනවා.''
 
 
ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයා වන පෞද්ගලික සමාගමකට භාණ්ඩාගාරය අනුමත කළ මුදල් මහජන බැංකුව හරහා ලබාදී තිබෙන බව අපි දැනටමත් දන්නවා. 
 
රජයන් අතර ගනුදෙනුවක් නම් ආනයනය ක්‍රියාවලිය සිදුවිය යුත්තේ රජයේ සමාගම් හරහායි. ශ්‍රී ලංකාවේ රජය යටතේ පොහොර සමාගම් දෙකක් තිබෙනවා. එම සමාගම් මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට තොරතුරු නැහැ. 
 
ඒ වෙනුවට එම ගනුදෙනුවට සම්බන්ධ වී තිබෙන්නේ මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන අයගේ පුද්ගලික ගිණුමකට මුදල් හුවමාරුවක් මගින්. 
 
 
 
 
1474995728s
                                     මොහාන් ටී පෙරේරා සහ  ගීහානි වීරසිංහ
 
 
මේ අය ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයින් නම්, ඔවුන්ට විදේශ මුදල් හුවමාරු ගිණුමක් තිබිය යුතුයි. එම ගිණුම ආරම්භ කර තිබෙන්නේ ඔක්තෝබර් 18දායි. එදිනම තමයි භාණ්ඩාගාරයෙන් මුදල් මෙම ගිනුමට හුවමාරු වන්නේ. එය වෙනම ප්‍රශ්නයක් හැටියට තිබෙනවා. 
 
ඇමතිවරයා ඉල්ලීම් කර තිබෙන්නේ ඉහළ ගුණාත්මක භාවයක් සහිත මෙම ශාක පෝෂක කොටස් සහිත ද්‍රව්‍ය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා ආනයනය කිරීමටයි. නමුත් ගෙන්වා තිබෙන්නේ පෞද්ගලික සමාගමක්.
 
ඇමතිවරයා කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කරන්නේ මෙම නයිට්‍රජන් දියර පොහොර වී වගාව සඳහා ලීටර් මිලියන 1.8ක් සහ බඩඉරිඟු වගාව සඳහා ලීටර් 3,25,000ක් ආනයනය කරන්න අවශ්‍යයි කියලා. 
 
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් මිලදී ගන්නා එම ලීටර් ප්‍රමාණය සඳහා අවශ්‍ය ගෙවීම් කිරීමට ණය පහසුකම් ලිපියක් අදාළ බැංකුව වෙතින් භාණ්ඩාගාරය හරහා නිකුත් කරන්න කියලා එම කැබිනට් සංදේශයේ සඳහන් වෙනවා. 
 
 
විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම මිලදී ගැනීම සිදුකළ යුතුව තිබුණත් හදිසි මිලදී ගැනීමක් ලෙස ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකරන්න ගිහින් දැන් හත්පොලේ ගාගෙන තිබෙනවා. කැබිනට් තීරණය ලබාදී තිබෙන්නේ ඔක්තෝබර් 19වැනිදායි. 
 
 
කැබිනට් පත්‍රිකාවේ 04/1 ලෙස සඳහන් කර තිබෙන ඉන්දියානු සමාගමේ පොහොර ලබාගැනීමටයි. 4/2 කියන්නේ එම පොහොර තොගය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා කොන්ත්‍රාත් ගත කර ගිවිසුම් ගත කර ගෙන්වීමට සහ ඒ සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි. 
 
එලෙස අනුමත වුණු කැබිනට් තීරණය වෙනස් වුණේ කොහොමද කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. 
 
 
මෙතන තවත් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. එනම් කැබිනට් තීරණය දැනුම් දෙන්නේ ඔක්තෝබර් 19 වැනිදා වන අතර, පුද්ගලික ගිණුමට මුදල් හුවමාරුව සිදුවී තිබෙන්නේ කැබිනට් තීරණය ලැබීමටත් පෙරයි. එනම් ඔක්තෝබර් 18වෙනිදායි. එනිසා මෙතන ගැටලු ගණනාවක් මතුවෙනවා.
 
 
ඒ වගේම කැබිනට් මණ්ඩලය විසින් එම මුදල ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. මෙම පොහොර ගෙන්වීම සඳහා ඉන්දියානු සමාගම තෝරා ගත්තේ කොහොමද යන්නත් රටට පැහැදිලි කළ යුතුයි. 
 
මේ සඳහා පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ වාර්තාවල සඳහන් වෙනවා මෙම පොහොර ඩොලර් ශත 10ක් මිල අඩුකර ලබාගන්නා බව. නමුත් ඩොලර් සත 10ක් පමණක් අඩුකර ලබාගැනීමට තරම් හදිසියක් ඇති වුණේ කොහොමද? 
 
 
 
ඒ වගේම මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන දෙදෙනාගේ ගිණුම හරහා මුදල් ලබාදුන්නේ ඇයි? ඉතිරි මුදල ඩොලර් වල සිට රුපියල්වලට මාරු කිරීමට බලපෑම් කළේ ඇයි? මේ සඳහා යොදා ගන්නේ මහජනතාවගේ මුදල්. ගනුදෙනුවෙන් පසුව ඉතිරි වූ මුදල් නැවත රුපියල්වලට හරවා ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද? පොහොරවලට ගෙවන්නේ ඩොලර් 325,000ක් නම් ඩොලර් ලක්ෂයක් නැවත රුපියල්වලට මාරු කරන්නේ ඇයි? මේවා රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.
 
 
මෑත කාලයේ සුදු ළුණු ගනුදෙනුවකදී වංචාවක් සිදුවුණා. සීනි වංචාවක් සිදුවුණා. පොල්තෙල් ගනුදෙනුවකදී වංචාවක් සිදුවුණා. ගෑස් ගනුදෙනු සිද්ධ වෙලා තිබෙනවා. මේ රටේ ජනතාව බඩගින්නේ ජීවත් වෙනවා. දිනෙන් දින බඩුමිල ඉහළ යනවා. ආර්ථිකය බංකොලොත් වෙලා. ව්‍යාපාරිකයන්ට දේශීය වශයෙන් ව්‍යාපාර කරගෙන යෑමට නොහැකි වෙලා තිබෙනවා. 
 
එහෙම තිබෙද්දීත් රටේ සිදුවන සෑම ගනුදෙනුවකින්ම හොරකම් කරන්න කැබිනට් මණ්ඩලයේ පවා දේශපාලකයෝ තීන්දු තීරණ ගන්න තත්වයට පත්වෙලා. මේක ගැන පැහැදිලි කිරීමට ආණ්ඩුවේ අය කියන කතා ඇහුවාම මේ ගනුදෙනු සිදුවෙන්නේ කඩේට ගිහින් බඩු ගේනවා වගේ කියලා අපිට හිතෙනවා. 
 
 
මෙවැනි ආනයනයකදී ඇස්තමේන්තුවක් නැද්ද? පොහොර තොගයට අනුව නොවෙයිද මුදල් වෙන් කරන්නේ? භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ඕනෑම පුද්ගලික ගිණුමකට හුවමාරු කරන්න පුළුවන්ද? කැබිනට් තීරණය තිබියදී ඊට පිටින් පුද්ගලයන් දෙදෙනෙකුගේ ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවුණේ කාගේ උවමනාවකටද? ඊට අනුමැතිය දුන්නේ කව්ද? මේවා මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.
 'අරුණ' ප්‍රධාන කර්තෘ -මහින්ද ඉලේපෙරුම 
Mahinda
 
 
 
 
මෙම ප්‍රවෘත්තිය වාර්තා කළ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා සහ මාධ්‍යවේදියා රහස් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කර, ඒ සම්බන්ධයෙන් යන විමර්ශනය දෙස අපි හොඳින් බලාගෙන සිටිනවා. අපි මේ රටේ ජනතාවගෙන් වගේම මේ රටේ මාධ්‍ය ආයතනවලින්, මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා මේ කරුණු දිහා හොඳ අවධානයකින් ඉන්න කියලා. 
 
මුළු රටම ආර්ථික වශයෙන් අගාධයට ඇද දාලා, තමන්ගේ මඩිය තරකර ගන්නා ජනතාවගේ අර්බුද තමන්ගේ ව්‍යාපාරය බවට පත්කර ගන්නා මේ ආණ්ඩු ගැන අවධානයෙන් ඉන්න. 
 
 
මෙම ගනුදෙනුව සඳහා යොදාගත් කෝටි 29න් විශාල වංචාවක් සිදුවෙලා තිබෙනවා. මහජන බැංකුවේ සභාපතිවරයා පවා කියනවා මෙවැනි ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවෙන බව තමන් දැනගෙන හිටියේ නැති බව. ඩොලර් මිලියන 1.257ක් කියන්නේ සුළු මුදලක් නොවේ. එවැනි මුදලක් ගනුදෙනු වනවිට ඒ පිළිබඳ ජනතාවට විනිවිදභාවයක් තිබිය යුතුයි. 
 
 
 
මෙවැනි ගනුදෙනුවලට මැදිහත් වෙන වංචාකාරයන් පිළිබඳව විමර්ශනය නොවී එම ගනුදෙනු පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.
 
මෙම ගෙන්වන ලද නයිට්‍රජන් සහිත පොහොර අපේ රටේ වගාවන්වලට ගැලපෙනවාද? මේ පිළිබඳ සිදුකරන ලද පරීක්ෂණ මොනවාද? මේ පිළිබඳව පරීක්ෂා කරපු විද්‍යාඥවරිය ඉන්නෙත් ලංකාවේ. 
 
2010 ඉදිරිපත් කරපු වාර්තාව ලංකාවේ ආණ්ඩු පිළිගත්තා නම් මෙම පොහොර අපේ රටේ නිෂ්පාදනය කරන්න තිබුණා. නමුත් අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යවරයාවත් කෘෂිකර්ම අමාත්‍යාංශයවත් එදා එම වාර්තා භාරගත්තේ නැහැ. එදා අපේ රටේ විද්‍යාඥවරිය සොයා ගත් ආකාරයට නොවෙයි අද මෙම පොහොර ඉන්දියාවේදී නිෂ්පාදනය වෙලා තිබෙන්නේ. පරස්පරතා ගොඩක් තිබෙනවා. ඒ පිළිබඳව වෙනම සංවාදයක් කළ යුතුව තිබෙනවා. 
 
අපේ රටේ විද්වතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් වැඩ ගන්නේ නැති රටක්. එනිසා අපේ රටේ බුද්ධිමතුන් සොයා ගන්නා සමහර සොයා ගැනීම් පිටරටවල නිෂ්පාදන ලෙස අපිට මිලදී ගන්න සිදුවෙලා තිබෙනවා. ඒක ඛේදජනක තත්වයක්. 
 
 
එනිසා අපි නැවතත් කියන්නේ මෙම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් සියලු තොරතුරු රටට හෙළිදරව් කළ යුතුයි. අපේ රටේ ගොවිජනතාව පොහොර ඉල්ලද්දී, මෙතරම් විනිමය අර්බුදයක් තිබෙද්දී, ඩොලර් සංචිත හිඳෙමින් තිබෙද්දීත් තිබෙන ඩොලර් ටිකත් හොරකම් කරන මට්ටමකට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා.
 
දවසින් දවස සිදුවෙමින් තිබෙන මෙවැනි වංචා දූෂණ නිසා මහාපරිමාණ ගනුදෙනු, වංචා – දූෂණ යටපත්වෙමින් තිබෙනවා. 
 
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ආ ජනතාව විශ්වාස කළා, මහබැංකු බැඳුම්කර හොරුන්ට, අර්ජුන ඇලෝසියස්ලට, අර්ජුන් මහේන්ද්‍රන්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා. එදා වේදිකා පැලෙන්න පොරොන්දු දුන්නේ මහබැංකු වංචාවේ මහ මොළකරු මොන රටේ හිටියත් නීතිය හමුවට ගේනවා කියලා. 
 
නමුත් ඒවා අද යටගිහින් තිබෙනවා. ඉතිහාසයට එක්වූ කතා පමණක් බවට පත්වෙලා. 
 
 
PSX 20211004 000226
 
 
ඒ වගේම මේ මෑතකදී පැන්ඩෝරා පේපර්ස්වලින් හෙළිදරව් වුණා රාජපක්ෂ පවුලේ ඥාතීන් වන තිරුනඩේෂන් සහ නිරූපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 160ක ප්‍රමාණයක දැවැන්ත මුදල් ප්‍රමාණයක් ගැන. එම මුදල් අපේ රටේ ගනුදෙනු හරහා හම්බකරගෙන පිටරට ගිණුම්වල පිටරට ව්‍යාපාරවල ආයෝජනය කර තිබෙනවා. 
 
 
 
වෙනත් ගනුදෙනු නිසා යටයමින් තිබෙන මෙම පැන්ඩෝරා හෙළිදරව්ව පිළිබඳව සිදුවන විමර්ශන මොනවාද කියලා රටට හෙළිදරව් කළ යුතුව තිබෙනවා. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ නොවෙයි, හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්. 
 
 
මේ ගනුදෙනු හෙළිදරව් වූ විගස ලෝකල් පැන්ඩෝරලා විසින් පැන්ඩෝරා හෙළිදරව්ව බොඳ කරන්න ෆේස් බුක් මෙහෙයුමක් පටන් ගත්තා. එනිසා මෙම ඩොලර් මිලියන 160 ගැන ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුව තිබෙනවා. මේ පිළිබඳ විමර්ශන කරන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසම නම් සාක්ෂි සඳහා කැඳවන්නේ කවුද? 
 
නිරූපමා රාජපක්ෂට අමතරව වෙනත් සාක්ෂිකරුවන් කවුද? යන්න මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.
 
මීට කලිනුත් පැනමා පේපර්ස් මගින් හෙළිදරව්වක් සිදුවුණා. ඊට අමතරව පැරඩයිස් ඇපල්බයි, වෝල්ටා පැරඩයිස් වැනි පත්‍රිකා වැනි හෙළිදරව් මගින් ලංකාවේ පුදගලයන් ගැන හෙළිදරව් වුණත් ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් සිදුවුණේ නැහැ. 
 
ඒනිසා මෙම පැන්ඩෝරා හෙළිදරව්ව පිළිබඳවත් ආණ්ඩුව තමන්ට ඕනෑ අය සාක්ෂිවලට කැඳවලා මෙම වංචා – දූෂණ කාලයේ වැලිතලාවලින් යටපත් කරන්න ඉඩ දෙන්න බැහැ. මොකද මෙය එක පුද්ගලයෙක් විසින් පමණක් සිදුකළ ගනුදෙනුවක් නොවෙයි. මෙවැනි ගනුදෙනු බොහොමයක් තිබෙනවා. 
 
එනිසා මෙම ගනුදෙනුවලට සම්බන්ධවී තිබෙන හොංකොන්වල ආයතන, ඕස්ට්‍රේලියාවේ තිබෙන ආයතන, මූල්‍ය පහසුකම් සපයන විවිධ ආයතන, නීතිවේදීන් ඇතුළු සුදු කරපටි වෘත්තීයවේදීන්ගෙන් මෙම පරීක්ෂණවලට සාක්ෂි ලබාගනීද යන්න අපි විමසිල්ලෙන් ඉන්නවා. 
 
2018දී පාර්ලිමේන්තුවේදී සම්මත වූ මූල්‍ය විසුද්ධිකරණ සහ මූල්‍ය අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා පනතට අනුව විමර්ශන සිදුවෙනවාද යන්න ගැනත් සැලකිල්ල යොමුවෙනවාද යන්නත් ගැන අපි විමසිල්ලෙන් ඉන්නවා. 
 
එම පනතේ විධිවිධාන අනුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කරන සෙන්ට්‍රල් ඔතෝරොටි ආයතනය මගින් මෙවැනි විමර්ශනයකට පිටරට ආයතනවලින් වාර්තා කැඳවීමට බලය තිබෙනවා. එවැනි පනත් පාර්ලිමේන්තුවේ සම්මතවීමට පමණක් සීමා කරලා මෙවැනි වංචා දූෂණ සාමාන්‍ය ක්‍රමවේදයකට පරීක්ෂණ කරලා පැත්තකට වීසි කරන්න ඉඩදිය යුතු නැහැ. 
 
මේ ගනුදෙනුවල ඇත්ත තත්වය ජනතාවට හෙළිදරව් කරන පරීක්ෂණයක් බවට පත් කළ යුතුයි. අපි හිත්නනේ නැහැ ජනාධිපතිවරයා විසින් තමන්ගේම පවුලේ අය ගැන පරීක්ෂණ කරන්න ගන්නා ක්‍රියාමාර්ගවලින් ඇත්ත හෙළිදරව් වෙයි කියලා. 
 
තවත් කාට හරි අපහාස කරලා මඩ ගහලා විහිළු කතා කියලා පැන්ඩෝරා පේපර්ස් වැනි මහාපරිමාණ දූෂණ යටපත් කරන් ඉඩ තිබෙනවා. කොතරම් නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කළත් හොරු, දූෂතයෝ මංකොල්ලකාරයෝ ආරක්ෂා කරන ක්‍රමවේදයන් ලංකාවේ තිබෙනවා.
 
අද සිදුවෙන පොහොර වංචා, සුදු ලූණු වංචා සාමාන්‍ය කරනය කිරීමට ඉඩ දෙන්න එපා කියලා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. 
 
ඒවගේම අපි ජනතාවට පොරොන්දුවක් වෙනවා අපි විසින් බිහිකරන ජනතාවාදී පාලනයක් විසින් මේ සියලු වංචාවන් හෙළිදරව් කරනවා විතරක් නොවෙයි, ඔවුන් නීතිය හමුවට කැඳවලා අපේ රටේ ජනතාවගෙන් උදුරාගත් මේ මහජන ධනය, ජාතික ධනය නැවත අත්පත් කර ගැනීමට කටයුතු කරනවා කියලා. ඒ සහතිකය අපි දෙනවා.”
 
 
(lankatruth.com)
 
 
 
 
THE LEADER TV 
 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්