සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීමට ආණ්ඩුවේ ඇති සැලසුම නීති විරෝධී සහ ප්‍රකාශනයේ අයිතියට තුරු එකක් ලෙස රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයන් විසින්
හෙලා දැක තිබේ.

 ආණ්ඩුව හා එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසත් සමාජ මාධ්‍යයෙන් ඔස්සේ රජය විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට නිකුත් කෙරුණු නවතම චක්‍රලේඛය සම්බන්ධයෙන් විරෝධය පලකරන සෞඛ්‍ය සහ ගුරු සංගම් නායකයෝ එම නියෝග කඩන බවට අනතුරු අඟවති.

 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සමාජ මාධ්‍ය වේදිකා හරහා රජය සහ එහි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවකයන් වෙත නියෝගයක් නිකුත් කිරීමට පියවර ඇති බව කොළඹින් පලකෙරෙන ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි.




සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රශ්න කරන්නේ සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් අවස්ථාවක් ලබා නොදෙන  ආණ්ඩුව විවේචනය නොකර වෙන කුමක් කරන්නද යන්නයි.



''ආණ්ඩුව හා බොහෝ පාලකයන් තම කාර්ය මණ්ඩලවල සිටින සේවකයන්ගේ ප්‍රශ්න හා වෙනස් අදහස් සම්බන්ධයෙන් අනුගමනය කරන සාකච්ඡා නොකිරීමේ ක්‍රමවේදය අනුව, විවේචනය විතරයි අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ. මොකද සාකච්ඡා නැත්තන්, තීරණ ගන්න තැන්වල අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැත්නම්, විවේචන නොකර වෙන මොනව කරන්නද? එතකොට අපි කරන විවේචන නිසා විතරයි සමහර දේවල් නිවැරදි වෙන්නේ”



 විසඳන්න බැරි ප්‍රශ්න:


රවී කුමුදේශ් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ සිදුකළ යුත්තේ චක්‍රලේඛ නිකුත් කර විවේචන නැවැත්වීම නොව, මේ විවේචන මොනවාදැයි සොයා බැලීම බවයි.

 “ඒ වෙනුවට කටහල් වහන්න හදනව කියන්නේ මේ පාලකයන්ට බැහැ සිය කාර්ය මණ්ඩලයේ උවමනාවන් පිළිබඳව, ඔවුන්ගේ වෘත්තීය සමිති සමඟ එහෙම නැත්නම් පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා කරන්න. දැන් බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ එදා මෙදා හිටපු ඇමතිවරු, ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු විශේෂයෙන්ම වෘත්තීය සමිති එක්ක යාවජීවව, මොන ගැටළුව තිබ්බත් රෑ 12 ට හරි සාකච්ඡා කරමින් ප්‍රශ්න විසඳන්න උත්සාහ කළා. එතකොට අපි ඔවුන්ගේ ප්‍රශ්න දැනගන්නව. ඔවුන් අපගේ ප්‍රශ්න දැනගන්නව. අවසාන වශයෙන් හැමෝටම එකඟ වෙන්න පුළුවන් තැනින් වැඩ කරන්න පටන් ගන්නව. ප්‍රශ්න විසඳුනේ නැති උනත් අඩුම තරමේ මේ මනුස්සයට මේ ප්‍රශ්නය විසඳන්න බෑ කියන අවබෝධයක් ඇතිවෙනව. සමහර ඒවයෙදි අපි එහෙමම ඉඳල තියෙනව.”



එසේ වුවද වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයාගේ මෙන්ම තවත් නිලධාරීන් කිසිදු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරිපත් නොවන බවට ඔහු චෝදනා කරයි. වෘත්තිය සමිති නායකයා තව දුරටත් පෙන්වා දෙන්නේ  සාකච්ඡා නොකිරීමේ ක්‍රමවේදය යටතේ, ඇමතිවරු නැතිනම් තීරණ ගතයුතු ප්‍රධාන නිලදරන්නන් රටේ සියළු ප්‍රශ්න අමු අමුවේම ජනාධිපති වෙත ගෙන යන තත්වයක් මතුවී තිබෙන බවයි.



ජනපතිට වරදින්නේ ඇයි ?


“එතකොට එතනින් කියන එක අරගෙන ඇවිල්ල ඒක මොක උනත් ක්‍රියාත්මක කරන විදියක් තමයි තියෙන්නේ. ඒකෙන් තමයි ජනාධිපතිතුමා ගත්ත තීරණ වරදින්නේ. එතකොට තමයි මිනිස්සුන්ට විවේචන කරන්න වෙන්නේ.”

 සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයෙක් තීරණ ගන්නේ ඊට මෙහා සාකච්ඡා වල ප්‍රතිඵල සලකා බලා, සාකච්ඡා කර එන අවසාන ඵලය හැටියට විය යුතු වුවත්, අද වන විට එම ක්‍රියාපටිපාටිය කඩා වැටී ඇති බවයි.

 “නමුත් දැන් අද වෙලා තියෙන්නේ ඕන දෙයක් ගැන පළමුවෙනි තීරණය ගන්න ජනාධිපතිවරයාට සිද්ධවෙන එක. උදාහරණයක් හැටියට ගත්තොත්, අපේ රටේ කෝවිඩ් සම්බන්ධයෙන් ගත්ත බොහෝ තීරණ ජනාධිපතිවරයා ගන්නේ පළවෙනි තීරණ විදියට. එතකොට ඒ තීරණ විවේචනය කරන්න හේතුවෙන බොහොම කාරණා එලියට එනව.”




 ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයාට මෙන්ම අද සිටින බොහෝ අමාත්‍යාංශ ලේකම් වරුන්ට, නිලධාරීන්ට කිසිම සාකච්ඡාවක් “සාර්ථකව ප්‍රතිඵල ලබාගන්න පුළුවන් තීරණාත්මක තැනකට ගෙනියන්න තරම් දක්ෂකමක්, නිලයට ගැලපෙන ස්වාධීන තීරණ වලට එළඹිමේ හැකියාවක්, ආත්ම විශ්වාසයක් නැති බව” පෙනී ගොස් ඇති බවයි.



 "එහි තේරුම වන්නේ අදාල පාර්ශවයන් සමග සාකච්ඡා මගින් තමන් එළඹෙන නිගමනයන් සම්බන්ධයෙන් අදාල ඇමතිවරයාව හෝ ජනාධිපතිවරයාව හෝ ඒත්තුගැන්වීමේ ධෛර්යයක් නැතිකම, කැපී පෙනෙන දුබලතාවයක් ව තිබෙන බවයි."




නීති විරෝධී චක්‍රලේඛ:



ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය හා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් යන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයන් දෙදෙනාම තරයේම අවධාරණය කර සිටින්නේ, මේ අයුරින් රජයේ සේවකයන්ගේ භාෂණයේ නිදහසට අකුල් හෙලන චක්‍රලේඛ නීති විරෝධී වන බවයි.

රජයේ සේවකයන්ට අදහස් දැක්වීමේ හා තමන්ට හානිකර පාලන ප්‍රතිපත්ති වලට විරුද්ධව උද්ඝෝෂණයේ යෙදීමේ අයිතිය අධිකරණ තීන්දු වලින් පවා තහවුරු කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

 ඒ ජනමාධ්‍යයට අදහස් දැක්වීම සම්බන්ධයෙන් මර්ධනයට ලක්වූ ගුරුවරියක (2012) ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවක දී, රජයේ සේවකයන්ට තමන් කැමති අදහසක් දැක්වීමට හැකියාව ඇති බවට දුන් අධිකරණ තීන්දුව හා කොරෝනා නීති උපයෝගී කරගනිමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට විරුද්ධ උද්ඝෝෂණ නැවැත්වීමට පොලිසිය මගින් අධිකරණ නියෝග ඉල්ලූ අවස්ථාවේ දී, එසේ නියෝග දීම මූලික නීතියට පටහැනි බව පෙන්වමින් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම යන අවස්ථා මතක් කර දෙමිනි.

 “අධිකරණය පොලිසියට කිව්වේ ඒ උද්ඝෝෂණය කරන අයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පැහැදිලි කරල දෙන්න කියලයි” සමන් රත්නප්‍රිය අවධාරණය කළේය.

 ඒ අතර සමන් රත්නප්‍රිය වැඩි දුරටත් කියා සිටියේ, “මේ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී වැඩ පිලිවෙල නිසා රජයේ සේවකයනුත් ආණ්ඩුවේ මතවාදයෙන් ඉවත් වෙමින් සිටිනවා. මේ කාරණය තුළ ඒ අය මර්ධනය කරල, ඒ අයගේ හඬ යටපත් කරන්න මේ වගේ චක්‍රලේඛයක් නිකුත් කරන බව පැහැදිලියි. මෙවැනි නීති ගෙනාව කියල රජයේ සේවකයන් බය කරල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳින්න ආණ්ඩුවට බෑ. කොහොම උනත් අපි මේ නියෝග අනිවාර්යයෙන්ම කඩනව. කඩල මේ අනීති වලින් රජයේ සේවයකයන්ගේත්, පුරවැසියන්ගේත් අයිතිය අපි ආරක්ෂා කරනව, වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට” යනුවෙනි.



“එන්න එන්නම ප්‍රජා අයිතිවාසිකම් පුළුල් වෙනව ලෝකයේ. ලංකාවේ මේක අකුලගෙන අකුලගෙන යනව. ඒකයි මේ වෙමින් තියෙන්නේ,” යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්  ජෝසප් ස්ටාලින් අවධාරණය කළේ ය.



ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වෘත්තිය සමිති නායකයකු වන එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක පෙන්වා දෙන්නේ මෙවන් වූ චක්‍රලේඛ මගින් කරන්නේ රජයේ සේවකයන්ගේ දේශපාලන හා වෘත්තීය සමිති අයිතිවාසිකම් මුල් කරගෙන, 1947-48 වසර වලදී දියත් කළ මහා වැඩවර්ජන මගින් ඉදිරියට ගත් ජයග්‍රහණ, ඉන් වසර 75 කට පසු යලිත් අභියෝගයට ලක් කිරීම මෙන්ම කණපිට හැරවීමට ප්‍රයත්න දැරීම බවයි.

 “ඒ අතීත ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණ ගිලගන්න ඉඩ නොදී රැක ගැනීම අද අපගේ වගකීමයි,” යනුවෙන් ලීනස් ජයතිලක අවධාරණය කළේය.

THE  LEADER  TV
 
 
ගොංකම කියන්නෙ පුපුරණ එකක් ! | මොණරවිලගේ ලියමන
 

 
 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්