leader s

මානුෂික ක්‍රම මඟින් සත්ව ගහන කළමනාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ (Association of Veterinarians for Humane Management of Animal Population) සහ Vets for Future සංවිධානයේ නිර්මාතෘවරයා වන වෛද්‍ය චමිත් නානායක්කාර, සත්ව සුබසාධන සංසදයේ විධායක කමිටු සාමාජිකයෙකි.

සත්ව ගහනය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව කලක සිට අවධාරණය කරන ඔහු ඇතුළු එකමුතුව, පරිසරයේ සමතුලිතතාවට හානිකර ලෙස හිතුමතයේ ක්‍රියාත්මක කරන විසඳුම්, ගැටලුවට වඩා බිහිසුණු ප්‍රතිඵල ඇති කිරීමට හේතු වනු ඇති බවද පෙන්වා දෙයි.

ප්‍රශ්නය :
රිළා-මිනිස් ගැටුම පසුගිය දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත් වුණා. ඔබ දකින විදියට මේ අර්බුදයේ සැබෑ ස්වරූපය මොකක්ද?

 

වෛද්ය චමිත් නානායක්කාර jpegවෛද්‍ය චමිත් නානායක්කාර
මේක හදිසියේ ඇති වුණු ප්‍රශ්නයක් නෙවෙයි. දිගු කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වුණු එකක්. ලාල්කාන්ත ඇමතිවරයා කළ ප්‍රකාශයක් නිසා තමයි මේක උණුසුම් මාතෘකාවක් හැටියට මතු වුණේ. මීට කලින්, මහින්ද අමරවීර ඇමතිවරයා රිළවුන් චීනයට යැවීම ගැන කතා කරපු වෙලාවෙත් මේ වගේ සංවාදයක් ඇති වුණා. එතනදි ඔහු කිව්වෙ, ලංකාවෙ රිළව් මිලියන තුනක් ඉන්නවා කියලා. දෙදහස් විසි තුන වෙනකොට ලංකාවේ රිළව් ලක්ෂ තිහක් නම් හිටියෙ නැහැ; ඒක තනිකරම නිර්මාණය කරපු බොරුවක්. වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව නම් ලංකාවේ ඇත්තටම රිළව් ඉන්නෙ ලක්ෂ තුනයි. ඒ ලක්ෂ තුනෙනුත් ලක්ෂ දෙකහමාරක්ම ඉන්නෙ වනාන්තර ආශ්‍රිතව. එතකොට ජනාවාස ආශ්‍රිතව ජීවත් වන රිළව් පනස්දාහක් තමයි මේ ප්‍රශ්නෙට මුල් වෙන්නෙ.

මේ පනස්දාහ මේ විදියට එන්න හේතු වෙන්නෙත් මිනිස් ක්‍රියාකාරකම්. අපේ මිනිස්සුන්ට වගා කටයුතු සඳහා අක්කරයක් දෙකක් එළිපෙහෙළි කරන්න අවසර දුන්නම මිනිස්සු අක්කර විසි පහක් තිහක් එළි කරනවා. මේ විදියට සත්තුන්ගෙ නිජබිම් ආක්‍රමණය කරලා සත්තුන්ට යන එන මං නැති කළාට පස්සෙ උන් විශාල වශයෙන් ගම්වලට එන්න පටන් අරගෙන තියෙනවා. වන අලි ගම් වැදීමටත් හේතු වෙලා තියෙන්නෙ මේ කාරණයම තමයි.

ප්‍රශ්නය :
ජනාවාස ආශ්‍රිත රිළා ගහනය අසාමාන්‍ය විදියට වර්ධනය වන බවට අදහසක් තියෙනවා. මොන වගේ සාධකද ඊට හේතු වී තිබෙන්නෙ?

 

රිලා ප්‍රශ්නය: ඇත්තටම සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
ස්වභාවික පරිසරයේ උපදින රිළා පැටවුන්ගෙන් සියයට 15ක් විතර තමයි ජීවත් වෙන්නෙ. ඉතිරි සියයට 85ම මිය යනවා පෝෂණ ප්‍රශ්න නිසා. උන් සාමාන්‍යයෙන් දළු, කොළ, කෘමී සතුන් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් ස්වාභාවික පරිසරයෙදි මේ ආහාර හිඟවීමෙන් උන් විශාල වශයෙන් මියයන නිසාම ඔවුන්ගේ ගහනය වේගයෙන් වැඩි වෙන්නෙ නැහැ. ඒ වගේම ස්වාභාවික පරිසරයෙදි දිවියො, පිඹුරො වැනි විලෝපිකයන් නිසාත් ඔවුන්ගේ ගහනය පාලනය වෙනවා. වනයෙදි ඔවුන්ට පැය අටක් විතර ගතවෙනවා දෛනිකව අවශ්‍ය ආහාර ප්‍රමාණය සොයාගන්නත්. නමුත් නාගරික ප්‍රදේශවල අපි ඉවත දාන ආහාර ප්‍රමාණය අධික වීම නිසාම උන් බොහොම කෙටි කාලයක් ඇතුළත ඒ ආහාර ප්‍රමාණය සපයාගන්නවා. මේ විදියට පෝෂණය ලැබෙනකොට ඔවුන්ට සරු ඩිම්බ නිර්මාණය වෙනවා, උපදින පැටව් නිරෝගී වෙනවා. 

පැටවුන්ට ප්‍රමාණවත් තරම් කෑම ලැබෙනවා. ඒ නිසාම සියයට 15ක් වගේ අවම අගයක තිබුණු ඔවුන්ගේ ජීවත් වීමේ සම්භාවිතාව සියයට තිහත් ඉක්මවා යනවා. ඒක මූලික හේතුවක් උන්ගේ ගහනය අසීමාන්තිකව වැඩි වෙන්න. ඒ වගේම නාගරික පරිසරයෙ විලෝපිකයොත් නැහැ. ඉතින් අවුරුදු දහයකට ආසන්න කාලයක් මේ තත්ත්වය ක්‍රමානුකූලව වර්ධනය වෙලා තමයි අපි අද මේ දකින අර්බුදය නිර්මාණය වුණේ.

ප්‍රශ්නය :
ඔබ කියන විදියට මේ ප්‍රශ්නයට හේතු වෙලා තියෙන්නෙ මිනිස් ක්‍රියාකාරකම්. ඒ විදියටම මේකට විසඳුම් හැටියට ගන්නා ක්‍රියාමාර්ග පවා තවත් අර්බුදවලට හේතු වෙන්න පුළුවන් නේද?

 

ජනපති, අගමැති නිජභුමියේ අලි ඇතුන්ගේ වාසභූමි කොල්ලය ගැන රාජපක්ෂවරයකුට චෝදනා

මම මේ ගැන උදාහරණයක් කියන්නම්. බගවන්තලාව ප්‍රදේශයේ වත්තක මිනිස්සු හුරු වෙලා හිටියා වත්තට පිටින් තිබුණු කැලෑවකට කුණු විසි කරන්න. ඒ කුණු කන්න හුරුවුණා කැලෑවෙ හිටපු වල් ඌරො. මේ නිසාම වල් ඌරන්ගෙ ගහනය ශීඝ්‍රයෙන් වැඩිවෙන්න ගත්තා. මේක දිවියන්ට ඉව වැටුණා. දිවියො ඌරන් දඩයම් කරලා ඌරු ගහනය අඩු වෙනකොට, උන් ඊළඟට වත්තෙ හිටපු එළුවො ටික කාලා ඉවර කළා. ඊට පස්සෙ වත්ත ආශ්‍රිතව හිටපු බල්ලො දඩයම් කරන්න ගත්තා. සියය ඉක්මවා තිබුණු බල්ලන්ගේ ගහනය පස් හය දෙනෙක් දක්වා පහත වැටුණා. මිනිස්සු දැන් කෑගහනවා දිවියන්ගෙ ගහනය වැඩියි කියලා. දිවියන්ට වෙඩි තියනවා, මදු ගහනවා, වැඩ වර්ජන කරනවා... නමුත් කොතනින්ද මේ ප්‍රශ්නය පටන්ගත්තෙ? මිනිස්සු කැලෑවට කුණු දාපු ප්‍රශ්නෙ තමයි මේ තරම් දික්ගැස්සලා තියෙන්නෙ.

පරිසරයෙ සමතුලිතතාවයෙ වැදගත්කම ගැන මම තව කතාවක් කියන්නම්. කළුතර දිස්ත්‍රික්කයේ කැළෑබද ප්‍රදේශයක ජලභීතිකාව හැදිච්ච නරි ගම් වැදිලා හරක්, එළුවො, මිනිස්සු පවා හපා කෑවා. ඒ සතුන් විශාල ප්‍රමාණයක් ජලභීතිකාව හැදිලා මැරුණා. මිනිස්සුත් මැරුණා. අපි සමීක්ෂණයක් කළාම තේරුම්ගියේ මේ ගමේ බල්ලන්ගෙ ගහනය අසාමාන්‍ය විදියට අඩුවෙලා තිබුණු බව. හේතුව මිනිස්සු බල්ලො වැඩියි කියලා නිදැල්ලෙ හිටපු බල්ලන්ව වස දීලා මරලා. බල්ලො හිටියා නම් නරි ගමට එන එක වළකිනවා. මිනිස්සු නේද මේ ප්‍රශ්න ගොඩක් නිර්මාණය කරලා තියෙන්නෙ?

 

සල්ලි අහේනිය ලංකාවේ අලි වෙඩිවලටත් ගිනි තියන ලකුණු

අලි මිනිස් ගැටුම ගත්තත් වැව් පිටිවල හෝටල් හදලා අලින්ගෙ ගමන් මාර්ග අවහිර කරලා උන්ට සංක්‍රමණය වෙන්න විදියක් නැහැ. ඒ විදියට තමයි අලි ගම් වදින්නෙ. අලි මිනිස් ගැටුම නිසාත් වැඩිපුර මිය යන්නෙ පිරිමි සත්තු. හොඳම තේජස් තියෙන අලි ඇත්තු මේ විදියට මිය ගියාම දීර්ඝකාලීනව අලින්ගෙ ජාන සංයුතියේ ගුණාත්මක බව බාල වීමක්, දුර්වල සහ රෝගී පැටවුන්ගේ වැඩි වීමක් කාලානුරුපීව සිද්ධ වෙනවා. තව අවුරුදු පනහකින් හැටකින් අපිට අලි ගහනය සම්බන්ධව බරපතළ ගැටලුවකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න හරිම සංකීර්ණයි. විසඳුම් දෙන ක්‍රියාවලිය ඇමති කෙනෙකුටවත් කාටවත් හිතුමතේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ප්‍රශ්නය :
ලෝකයේ වෙනත් රටවල, මේ ගැටලුව ලබා දුන් සාර්ථක විසඳුම් පිළිබඳ උදාහරණ තිබෙනවාද?

 

ඉන්දියාවේ රිළවුන් එළවන අළු වඳුරු හමුදාව
මේ ගැන හොඳම උදාහරණය හම්බවුණේ අපේ අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියාවෙ ලංකාවටත් වඩා දරුණු විදියට රිළා ගහනය වැඩි වෙලා තිබුණා. ඉන්දියාවේ පාර්ලිමේන්තුවට පනතක් පවා ඉදිරිපත් වුණා රිළවුන් විනාශ කර දැමිය යුතුයි කියලා. නමුත් ඉන්දියාවේ මිනිස්සු හනුමාව දේවත්වයෙන් සලකන නිසාම ඒ යෝජනාව ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා ඉන්දියාව රිළා ගහනය පාලනය කරන විකල්ප ක්‍රමවේද ගැන සොයන්න ගත්තා. ඒ ආශ්‍රිතව ‌කෙරිචිච පර්යේෂණ ගණනාවක් තියෙනවා.

එක් ප්‍රාන්තයක් ආශ්‍රිතව සොයාගත් කාරණයක් තමයි, මේ මිනිස් වාසස්ථාන ආශ්‍රිතව රිළා ගහනය වැඩි වීමට මූලිකම හේතුව, වන ගහනය සීමා වීම බව. ඉතින් ඔවුන් රිලවුන් වනාන්තරවලට පලවාහැරීමට සීමා නොවී සියයට දහතුනකට පමණ සීමා වෙලා තිබුණු වන ගහනය සියයට විසි එකක් දක්වා වැඩි කරන්න පියවර ගත්තා. ඔවුන් හඳුනාගත්තා ප්‍රශ්නය වගේම ප්‍රශ්නයට පිළිතුරත් තියෙන්නෙ මෙතන කියලා.

සාමාන්‍යයෙන් රිළා රංචුවක නායකයා තමයි මුලින්ම බිමට බැහැලා රංචුවෙ අනිත් සත්තුන්ට ගොඩ බහින්න කියලා සංඥාව නිකුත් කරන්නෙ. ඉන්දියාවෙ නිෂ්පාදිත තාක්ෂණික උපකරණයක් තියෙනවා ඒ සංඥාව අවහිර කරන. එතකොට උන් ඒ භූමියට ගොඩබහින්නෙ නැහැ. ඒ වගේම අළු වඳුරන්ව පුහුණු කරනවා රිළවුන්ව පලවාහරින්න. රිළව් අළු වඳුරන්ට බයයි. තව එක්තරා ශාකයක් තියෙනවා ඒ ගහට රිළව් බයයි. ඒ ගහ වගාභූමි ආශ්‍රිතව වවනවා. මේ වගේ විවිධ දේවල් ඉන්දියාව අත්හදා බලලා තියෙනවා. ඊට අමතරව හිමාචාල් ප්‍රදේශ් කියන ප්‍රාන්තයේ වන්ධ්‍යරණය ක්‍රියාත්මක වෙනවා; වන්ධ්‍යකරණය තමයි එකම විසඳුම දීර්ඝකාලීනව ගහනය පාලනය කරන්න. අපිට ඉන්දියාවෙ ඉන්න මේ විශේෂඥයන්ගෙ උපදෙස් අනුව මේ වැඩසටහනම ක්‍රියාත්මක කරන්න පුළුවන් ලංකාවෙත්.

අළු වඳුරන් යොදාගෙන රිළවුන් පලවාහරින්නෙක්

ප්‍රශ්නය :
දැනට ලංකාවේ මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙන සාධනීය පියවර මොනවද?


වනජීවී දෙපාර්තමේන්තුවෙ පශු වෛද්‍ය ඒකකය දැනටමත් මේ ගැන පර්යේෂණ රැසක් කරලා තියෙනවා. ඒ ඒකකයෙ සේවය කරන පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහත්මයා එක්කත් මම මේ ගැන සාකච්ඡා කළා. මුලතිව් පැත්තෙ පාසලක දරුවො කෘෂිකර්ම විෂය වෙනුවෙන් කරපු වගාවලට රිලව් හානි කරද්දි, පිටරටින් ආනයනය කරපු රිලව් පලවාහරින උපකරණයක් අත්හදා බැලුවාම ප්‍රතිඵල ඉතාම හොඳ බව එතුමා සඳහන් කළා. 

අපි වන්ධ්‍යකරණයෙ වැදගත්කම ගැන කතාකරන්නෙ 2019 ඉඳලා. ඇත්තටම මේකට ක්‍රමවේදයන් ඇති තරම් තියනවා. ඒත් ලංකාවේ මේ දක්වා පත්වුණු කිසිම රජයක් මේ විෂය සම්බන්ධ වෘත්තිකයන්ට අවකාශයක් දීලා නැහැ, තමන්ගෙ විසඳුම් ක්‍රියාත්මක කරන්න. 

 
කොටින්ම 2019දි මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණු රැස්වීමකදී ඒ විසඳුම් ගැන කතා කළාම නිලධාරීන් කියලා තිබුණෙ “ඕකට ඔච්චර වියදම් කරන්න ඕන නැහැ, අපිට නම් යන්නෙ රුපියල් පනහයි” කියලා. රුපියල් පනහයි කියලා අදහස් කළේ වෙඩි උණ්ඩයක මිල! ඒ සත්තුන්ට වෙඩි තියනවා කියන තැන තමයි 2019දිත් මේ නිලධාරීන් ඉඳලා තියෙන්නෙ. ඉතින් 2019දි පශු වෛද්‍යවරු කියපු දේට ඔවුන් ඇහුම්කන් දුන්නා නම් 2024 වෙද්දි මෙහෙම අර්බුදයක් ඇති වෙන්නෙ නැහැ. 

ප්‍රශ්නය :
සත්තු මරන්න කතා කළාට, ලංකාව වගේ රටක ඒක ක්‍රියාත්මක කරන්න අමාරුයි නේද?

 


ඔව්. ඇමතිතුමාගෙ ප්‍රකාශයෙන් පස්සෙ මුහුණුපොතේ පවා ලොකු හා හෝවක් ගියානෙ. සමහරු වෙඩි තියනවා කිව්වා, තව සමහරු වස දෙන්න කතා වුණා, ඒත් දැන් ඒ ගැන කිසිම කතාවක් නැහැ. ගොවියො මේ සත්තු එලවලා දෙන්න කියලා රජයෙන් ඉල්ලන්නෙ, වස ටිකක් දාලා සත්තු ටික මරලා දාන්න බැරිකමට නෙවෙයිනෙ. අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ඇතුළෙ ගොවියො වුණත් බහුතරය සත්තුන්ට ආදරෙයි. සත්තු මරන්න ඒ අය කැමති නැහැ.
 
ඒ නිසා රජයක් විදියට දැන්වත් මේ ගැටලුවට විසඳුමක් දෙන්න ඕන. ඒ විසඳුම අතීසාරයට අමුඩ ගැසීමක් වෙන්න බැහැ. රිළව් වගේම මොනරුන්, දඬු ලේනුන් හා ඉත්තෑවන් ගහනයත් වැඩි වෙලා තියෙනවා. මේ සියල්ල රටේ විද්‍යාඥයො, සත්ව සුබසාධන ක්‍රියාකාරීන් එකතු වෙලා සාකච්ඡා කරලා, ජනතාව එක්ක කතා බහ කරලා කෙටි කාලීන සහ දීර්ඝකාලීන විසඳුම් එක්ක ජාතික ප්‍රතිපත්ති රාමුවක් කෙටුම්පත් කරලා තිබුණා නම් මෙහෙම ප්‍රශ්න මතු වෙන්නෙත් නැහැ.
 
ප්‍රශ්නය :
රිළවුන් වන්ධ්‍යකරණය පිළිබඳ නියමු ව්‍යාපෘතියක් පසුගියදා රජයේ මැදිහත්වීමෙන් ආරම්භ වුණා. ඒ වැඩපිළිවෙළ සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවාද?
 
රිලවුන් අපනයනය - (වික්ටර් අයිවන්)
වඳ සැත්කම් කරන්න කියලා මාතලේ සත්තු ගිරිතලේ ප්‍රදේශයට අරන් යනවා. එතකොට ව්‍යාපෘතියට වෙන් කරපු මුදලෙන් වැඩිම වියදම යන්නෙ සත්තු ප්‍රවාහනය කරන්න. අනිත් කාරණය ගැහැනු සතෙකුට සැත්කමක් කළාම දිග කාලයක් රැක බලාගන්න ඕන; නැත්නම් මැහුම් කඩාගන්නවා. බල්ලො පූසොන්ට සැත්කම් කරනවා වගේ නෙවෙයි. ඒ සතාගෙ තුවාල සනීප වෙනකම් කන්න බොන්න දීලා බලාගන්න ඕන. කූඩු තියෙන්නෙ සීමිත ප්‍රමාණයයි.

අපි කියන්නෙ අදාළ ස්ථානයේම කූඩාරමක් ගහගෙන පිරිමි සත්තු ටිකට vasectomy (වාහිච්ඡේදනය) කරලා මුදාහැරියා නම් ඉවරයි. වැඩි සැත්කම් ප්‍රමාණයක් කරන්න පුළුවන්, මැහුම් කඩාගැනිල්ලක් නැහැ, සැත්කමකින් පස්සෙ ඇතිවෙන සංකූලතා නැහැ; සරලයි. 

ප්‍රශ්නය :
රිළවුන් දූපත්වලට ගිහින් දාන්නත් යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ ගැන මොකද හිතන්නෙ?

ඒක නම් සාපේක්ෂව හොඳ යෝජනාවක්. හැබැයි අපි සොයාබලන්න ඕන: ඒ දූපත්වල තියෙන පරිසර පද්ධතීන් මොනවාද, ඒවායේ සතුන් කී දෙනෙකුට ප්‍රමාණවත් තරම් ආහාර තිබෙනවාද, මේ සත්තු ගෙනත් දැම්මොත් ඒ පරිසර පද්ධතිලට විය හැකි බලපෑම් මොනවාද  වගේ කාරණා. ඒ සත්තු ටික වඳ සැත්කම් කරලා තමයි ගිහින් දාන්න ඕන. එතකොට එතන බෝ වීමක් වෙන්නෙ නැහැ.
 
රිලා ප්‍රශ්නය: අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්
 
සත්තු සිය දෙනෙක් ගිහින් දැම්මාම උන් කාලයත් එක්ක ස්වභාවිකව මිය ගිහින් ගහනය ක්‍රම ක්‍රමයෙන් අඩු වීගෙන ගියාම අපිට ආයෙමත් සැරයක් තව සත්තු ටිකක් ගිහින් දාන්න පුළුවන්. මේ කිසිවක් නොසලකා කටයුතු කළොත් වෙන්නෙ පරිසර පද්ධතියත් විනාශ වෙනවා, සත්තු ටිකත් විනාශ වෙනවා. විවිධ ප්‍රදේශවලින් රිළා රංචු ගොඩක් ගෙනත් දැම්මාම උන් උන් ගහගෙන මැරෙනවා. මේ සියලු කරුණු ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් අවශ්‍යයි.
 
ප්‍රශ්නය :
මේ රිළා ගහනය සාර්ථකව කළමනාකරණය කරන්න ඔබ යෝජනා කරන කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් මොනවාද?


ඇත්තටම අමාත්‍යවරයා ඒ ප්‍රකාශය කළ වහාම අපි වැඩපිළිවෙළක් සකස් කරලා අමාත්‍යවරයාට බාර දුන්නා. රිළා ප්‍රශ්නයට සීමා නොවී, වනජීවීන් සම්බන්ධ ගැටලුව පුළුල්ව ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළක් තමයි අපි යෝජනා කරන්නෙ. අපට වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතක් තියෙනවා. ඒ යටතේ පුළුවන් ලේකම් කාර්යාලයක් ස්ථාපනය කරන්න. පරිසර අමාත්‍යංශය මූලික කරගෙන පිහිටුවන එම ලේකම් කාර්යාලයට වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඉන්න පශු වෛද්‍යවරු, මේ පීඩාවට ලක්වුණු ගොවීන් නියෝජනය කරන කෘෂිකර්ම අමාත්‍යංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කාමිෂන් සභාව වැනි ආයතන සම්බන්ධ කරන්න අවශ්‍යයි. 
 
අලි-මිනිස් ගැටුම් අවම කිරීමට නවීන තාක්ෂණය !
අලි ගම්වදින්න හේතුව අලි මංකඩවල් අවහිර කරලා ගම්මාන ඉදිවීම නම්, ඒ ගම්මාන ඉවත් කරලා මිනිස්සු වෙන ප්‍රදේශවල පදිංචි කිරීම සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සහාය අවශ්‍යයි. ඒ වගේම පරිසරවේදීන්, සත්ව සුබසාධන ක්‍රියාකාරීන්, පශු පර්යේෂණ ආයතනය, විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සහ විද්‍යා පීඨ සම්බන්ධ කරගන්න ඕන.
 
ඒ වගේම ජනතාවටත් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න යම් කාලයක් දෙන්න ඕන. ඒ අතර පරිසරවේදීන්ගේ යෝජනා, සත්ව සුබසාධන ක්‍රියාකාරීන්ගේ යෝජනා, ගොවීන්ගේ යෝජනා තියෙන්න පුළුවන්. ඒ සියලු යෝජනා කමිටුවක් වෙත යොමු කරලා මේ ගැටලුව සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අපි මාස හයක්, අවුරුද්දක් වගේ කාලයක් ඇතුළෙ අත්පත් කරගන්න අපේක්ෂා කරන ඉලක්ක මොනවද, වගා හානිවලට ලක්වුණු ගොවීන්ට සහාය දෙන වැඩපිළිවෙළ මොකද්ද කියලා එහි සඳහන් විය යුතුයි.
 
ප්‍රශ්නය :
සතුන්ගෙ හානිකර පැත්ත පමණක් දකින සමාජ ආකල්පයේත් වෙනසකුත් සිදුවිය යුතුයි නේද?
 
සත්ව සුබසාධන සංසදයේ ප්රවෘත්ති සාකච්ඡාවක්
අනිවාර්යයෙන්ම ඔව්. ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. සංචාරකයන්ගෙන් සියයට හැත්තෑවක් විතර මේ රටට එන්නෙ අලි ඇතුන් සහ ස්වභාව සෞන්දර්යය බලලා යන්න. අපේ ආර්ථිකයට මේ සත්තු දක්වන විශාල දායකත්වය කිසිසේත්ම  අමතක කරන්න හොඳ නැහැ. ඔවුන්ගෙන් සිදුවන වගා හානියට වඩා සිය දහස් ගුණයක විදේශ විනිමයක් රටට උපයා දෙන්න මේ සතුන් උදව් වෙනවා.

අනිත් අතට අපි විසින්ම නිර්මාණය කරපු අර්බුදයක් නිසා මේ සත්තුන්ගෙ ගහනය වැඩි වුණාට පස්සෙ උන්ව විනාශ කරන්න හදනවා නම් එතන අපේ සදාචාරය සහ මනුස්සකම ගැන ගැටලුවක් මතු වෙනවා.
 
මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපි තමයි උන්ගෙ නිජභූමි ආක්‍රමණය කරලා උන්ට යන එන මං නැති කළේ. දැන් උන් වැරදිකාරයො කරලා අපි නිවැරදිකාරයො වෙන්න හදනවා. මිනිස්සුන්ටත් සත්තුන්ටත් නිදහසේ ජීවත් වෙන්න අවකාශය තිබිය යුතියි. මිනිසා බුද්ධිමත් නිසා, මනසින් උසස් නිසා මානුෂීය විසඳුම් සෙවිය යුතුයි. ශ්‍රී ලාංකික සංස්කෘතිය ඇතුළෙ සමූලඝාතනයෙන් විසඳුම් සොයන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නෙ නැහැ.
 
(සංවාදය | අරුන්දි ජයසේකර)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්