රාවණා ඇල්ල රක්ෂිතයට අයත් ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව ඇල්ල පොලිසිය පවසයි.
ඇල්ල නගරය සහ ඇල්ල රොක් කඳු පන්තිය මෙරට සංචාරය කරන විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ඇති ස්ථානයක් ලෙස සැලකෙයි.
ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 13) දහවල් 2.00ට පමණ ආරම්භ වූ මෙම ගින්න පාලනය කිරීමට ආපදා කළමනාකරණ සේවකයින්ට සහ ආරක්ෂක අංශවලට දින 02කට අධික කාලයක් ගත විය.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්. උදය කුමාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, ඇල්ල රොක් කඳු පන්තිය ආශ්‍රිතව හටගෙන තිබු ගින්න පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව ය.
| ඇති වූ ගින්නෙන් ඇල්ල රොක් රක්ෂිතයට හානි සිදුව අතින් අයුරු
'කවුරුන් හෝ ගිනි තියලා'
ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න ස්වභාවිකව ඇති වූ ගින්නක් නොව යම්කිසි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක් නිසා සිදුවූවක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එල්.එම්. උදය කුමාර පැවසුවේය.
''කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් මේ ගින්න තියලා තියෙනවා. ඇල්ල වනජීවී රක්ෂිතයක් මේක. එකේ සෑහෙන ප්‍රමාණයක් ගිනි අර ගත්තා. මේ ගින්න නිවන්න යුද හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව වගේ ම වන සංරක්ෂණ නිලධාරීන් යොදා ගත්තා.''
''මේ ගින්න ඇති වුණේ කඳු පන්තියේ ප්‍රපාතයේ. එතනට එක පාරට ම ළඟා වෙන්න බැරි වුණා. අවදානමත් එක්ක විශාල පරිශ්‍රමයක් යොදන්න වුණා.''
''කැලෑ ගින්නෙන් පස්සේ වෙන වෙන ගැටලු මතු වෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයට ගල් කඩා වැටෙන්න පුළුවන් පාරට, ඒ වගේ ම නාය යාම් වගේ දේවල් වෙන්න පුළුවන් අධික මෝසම් වර්ෂා කාල සීමාවේදී.''
''මේ ගින්නෙන් කැලෑවේ කොච්චර අක්කර ප්‍රමාණයක් විනාශ වෙලා ද කියලා කියන්න විදිහක් නැහැ අපිට. මොක ද අපිට ඒක නිශ්චිතව කියන්න හැකියාවක් නැහැ,' බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේය.
සංචාරකයින්ගේ අවධානය
ඇල්ල රොක් රක්ෂිතයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විදේශික සංචාරකයින්ගේ ද අවධානය යොමු වී තිබිණි.
ඇතැම් සංචාරකයින් ඇල්ල රොක් කඳු පන්තියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විමසා තිබෙන අයුරු දක්නට ලැබිණි.
| ඇල්ල රොක් ගින්න පිළිබඳව සංචාරකයින් තොරතුරු විමසා තිබු ආකාරය'ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා ගැනීම සාර්ථක නැහැ'
''මම මේ ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් වගේ ම දියතලාව ගුවන් හමුදාවේ අණ දෙන නිළධාරිගෙන් සාකච්ජා කළා. ඇත්තට ම පසුගිය කාලය පුරාවට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට ගත්ත උත්සහයන් අසාර්ථක යි කියල යි අදහස තම යි පළවුණේ.''
''දැන් අපි එක සම්පූර්ණ තෙල් ටැංකියක් පුරවලා හෙලිකොප්ටරයක් උඩට ගත්ත ම බකට් දෙකක් වගේ තමයි දාන්න පුළුවන්. ඒකත් ඉලක්කයට දාගන්න බැහැ හුළඟත් එක්ක.''
''මෙන්න මේ කාරණාවත් එක්ක පහුගිය අවුරුදුවල තිබුණු අසාර්ථක අත්දැකීම සහ අධික වියදම කියන කාරණා එක්ක තම යි අපි මෙවර ඒ ගැන විශාල වශයෙන් සාකච්ජා කරලා තම යි අපි මේ සඳහා ප්‍රවේශ වුණේ නැත්තේ. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යොදා නොගත්තේ පසුගිය අවුරුදුවල තිබුණු අසාර්ථක අත්දැකීමත් එක්ක,' නියෝජ්‍ය සංචාරක අමාත්‍යවරයා පැවසුවේ ය.
''මේ දිනවල දින කිහිපයක් මුළුල්ලේ කැලෑ ගිනි වාර්තා වෙලා පවතිනවා. සෑම වසරක ම මේ වගේ තත්ත්වයන් වාර්තා වනවා. විශේෂයෙන් මේ සඳහා අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වන සංරක්ෂණ නිලධාරීන් වගේම ගම්වාසින් ඇතුළු සියලු දෙනා යොදා ගනිමින් මෙම ගිනි ගැනීම් නිවා දැමීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් බිම් මට්ටිමින් සහ ප්‍රාදේශීය වශයෙන් අඛණ්ඩව කටයුතු කරනවා.''
''විශේෂයෙන් පසුගිය දිනවල කුරුණෑගල, බදුල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ගණනාවක මෙවැනි සිදුවීම් වාර්තා වුණා. විශේෂයෙන් ජනතාව කැලෑවලට ගිනි තබන එක මේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ. අප මේ ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකරනු ලැබුවා. මේකෙන් අතිවිශාල පරිසර හානියක් සිද්ධ වෙනවා.''
''ඇල්ල ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරාවට ඇති වුණු ගිනි ගැනීම් තත්ත්වය පාලනය කිරීමට විශාල පිරිවැයක් සහ පිරිස් බලයක් යෙදීමට සිද්ධ වුණා.''
''මේ වගේ කැලෑවලට ගිනි තබන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය වගේ ම වන සංරක්ෂණ නිලධාරීන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා,' සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.
| BBC සිංහල සේවය







