leader s

මහ වනයේ සිටින අලි ඇතුන් මිනිස් ජනාවාස වෙත කඩා වැදී මිනිස් ජීවිත, දේපළ මෙන්ම ඔවුන් විසින් වගා කරන බෝග ද වනසා දමන පුවත දැන් අප රටේ කිසිවකුටත් අමුතු දෙයක් නොවේ.


එහිදී මිනිසුන් ද එම අලි ඇතුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී ඔවුන්ට ද ජීවිත හානි මෙන්ම බරපතල ශරීර ආබාධ ඇති වන බව ද නොයෙක් වර අසන්නට ලැබේ.

එමෙන්ම මෙම සමස්ත සංසිද්ධිය හඳුන්වනු ලබන ප්‍රසිද්ධ වදනක් ද මේ වන විට සමාජගත වී තිබේ. එනම් “අලි මිනිස් ගැටුම” යන්නය. වන අලින් හා මිනිසුන් අතර පවතින මෙම ගැටුම ජාත්‍යන්තර වශයෙන් මිනිස්-අලි ගැටුම වශයෙන් විස්තර වන අතරේ අප රටේදී පමණක් එය අලියා ඉදිරියට දමා අලි මිනිස් ගැටුම ලෙස සමාජගත කිරීම ද සුවිශේෂ තත්ත්වයක් බව සියල්ලට පළමුව කිව යුතුය.

elephant 111

අතීතයේ අප රටේ සුවිසල් වන අලි ඇතුන් ගහනයක් සිටි බවටත්, අද මෙන් යන්ත්‍ර සූත්‍ර බහුල නොවූ එකල ඔවුන්ගෙන් කොටසක් මිනිස් ශ්‍රමයෙන් කළ නොහැකි සුවිශේෂ කටයුතු සඳහා ශක්ති ප්‍රභවයක් ලෙස යොදා ගත් බවටත් ඉතිහාසයෙන් ඕනෑ තරම් තොරතුරු ගොනු කර ගත හැක. එමෙන්ම වන අලි ඇතුන් හීලෑ කොට විදේශයන්ට අලෙවි කළ බවටත් ඉතිහාසගත තොරතුරු තිබේ. නමුත් වර්තමානයේ මෙන් නොව, සමස්ත ශ්‍රී ලාංකේය ජනගහනයෙන් සියයට හැත්තෑවකටත් වඩා කෘෂිකර්මය පදනම් කරගත් ජීවනෝපායන්හි යෙදුණු අතීතයේ පවා වර්තමානයේ මෙන් අලි මිනිස් ගැටුමක් තිබූ බවට තොරතුරු සොයා ගත නොහැක.


ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දෙවුන්දර ඉපිද මුල් ළමා විය ගත කළ මා, අප රටේ වැඩිම වන අලි ගහනයක් දක්නට ලැබෙන ගල්ගමුවේ වෙසෙන මගේ ඥාතිවරයකු සමීපයේ පදිංචියට පැමිණියේ 1973 වසරේ මගේ පාසල් අධ්‍යාපනයේ ඉතිරි අඩ සම්පූර්ණ කිරීමටය. එදා සිට මේ දක්වාම මගේ ස්ථිර පදිංචිය ගල්ගමුව වීම මත එය මගේ ජීවිතය හා වඩාත්ම සම්බන්ධ ගම්වරය බවට පත්ව තිබේ.

නමුත් ඉතා පැහැදිලිව කිව හැකි පරිදි එදා මෙදා තුර වන අලි ඇතුන් විශාල පිරිසක් වෙසෙන වන අලි කලාපයන් හා සබැඳි ගම්වරයක් වන ගල්ගමුවේ වෙසෙන මා හට ද මෙම අලි මිනිස් ගැටුම යන වදන මුල් වරට අසන්නට ලැබුණේ එක් දහස් නවසිය අනූ ගණන්වලදී පමණය. මේ වන විට පුවත්පත් ඇතුළු ජන මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම යන වදන ඊට පෙර කිසිදු පුවත්පතක හෝ තිබෙනු මා නම් දැක නැත. එනිසා ඇතැමුන් පවසනුයේ මෙම ජාත්‍යන්තර මුදල් ආධාර අපේක්ෂාවෙන් වන අලින්ගේ හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන කෘත්‍රිමව ගොඩනගාගත් ආටෝපකාරී වදනක් බවය. එහෙත් එම මතයට ද මම පෞද්ගලිකවම එකඟ නොවෙමි.

 

Human and Elephant

ගල්ගමුව ආශ්‍රිත අතීතයේ පැවති වන ගහණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් වගා බිම් ඇතුළු මිනිස් ජනාවාස සඳහා වෙන් කෙරෙන භූමි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ නැංවුණු බව සැවොම දන්නා සහ පිළිගන්නා සත්‍යයකි. මගේ පෞද්ගලික විමසුමට අනුව එම ජනාවාසකරණය ප්‍රධාන වශයෙන් අදියර කිහිපයකින් සිදුවී තිබේ. ඒ සම්බන්ධයෙන් මූලිකව විමසා බැලීමේදී පෙනී යනුයේ අනුරාධපුර, පොලොන්නරු රාජධානී යුගවල පවා මෙහි මිනිස් ජනාවාස පැවති බවකි. මෙම ප්‍රදේශය පුරා අදත් දක්නට ලැබෙන බෞද්ධ පුරාවිද්‍යා උරුමයන්ගෙන් අතීතයේ මෙහි ඉතා දිශිෂ්ඨාචාරයක් හා සභ්‍යත්වයක් තිබූ බව පෙනී යයි.

පසු කලෙක වන්නියාර්වරුන් නම් වන ප්‍රාදේශීය පාලකයන් යටතේ පාලනය වූ මෙම ප්‍රදේශයේ දුරාතීතයේ සිට යක්ෂ ගෝත්‍රික වශයෙන් සැලකෙන ජන කොටසක් ද සිටි බව මෙම ප්‍රදේශය හා සබැඳි කුවේණි ආදී යක්ෂ ගෝත්‍රික රැජිනන් සම්බන්ධ පුරාවෘත්තයන්ගෙන් පැහැදිලි වේ. ඒ අතරේ මෙහි පැරණි වැව් ආශ්‍රිතව ද්‍රවිඩ සම්භවයකින් යුතු ජනතාවක් ද සිටි බවට ගල්ගමුව හා ආශ්‍රිත කුලම් ආදී ද්‍රවිඩ ඌරුවේ නම් සහිත ගම්මාන වලින් පෙනී යයි. කුලම් යන වදනින් ද්‍රවිඩ භාෂාවෙන් වැව යන්න හැඳින්වෙන බැවින් ඔවුන් ද අතීතයේ මෙහි ජීවත් වූ සිංහල ජනතාව සේම කෘෂිකාර්මික කටයුතු වලින් දිවි පෙවෙත සරි කර ගත් බව පෙනේ.


එමෙන්ම ඊට පසුව 1815 වසරේ අප රට ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වීමෙන් පසු ආරම්භ වූ 1817 ඌව වෙල්ලස්ස විමුක්ති සටන මෙහෙය වූ සිංහල ජන ප්‍රධානීන්ගේ පවුල් පිටින් ඝාතනය කිරීමට ඉංග්‍රීසි පාලකයන් කටයුතු කිරීම මත එම සංහාරයට බියෙන් කන්ද උඩරටින් පළා ආ එම ප්‍රභූන්ගේ ඥාති මිත්‍රාදීන් මෙම ප්‍රදේශවල පුරාණ වැව් ගම් ආශ්‍රිතව ජනාවාස පිහිටුවා ගෙන ඉතා සරල කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ බව පෙනේ. අදත් මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් බහුතරයකට කන්ද උඩරට රාජ්‍යයේ විවිධ නිලතල දැරූවන්ගේ පෙළපත් නම් හිමි වීම මත මේ වන විට ද එම ජන කොටස වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවක් පවතී.

 

wellassa1817 ඌව වෙල්ලස්ස විමුක්ති සටන

ඉන්පසුව විසි වන සියවස මැද භාගයේ මෙම ප්‍රදේශ ආශ්‍රිතව අරඹන ලද රාජාංගනය, උස්ගල, සියඹලංගමුව වැනි මහා පරිමාණ වාරි යෝජනා ක්‍රම මුල් කොට එවක පැවති රජයන් විසින් අප රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි සැලකිය යුතු ජනතාවක් මෙම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි කරවන ලද්දේ බලපත්‍ර ක්‍රමයට ඔවුන් සඳහා වන කෘෂිකාර්මික ඉඩම් ද ලබා දෙමිනි. ඒ අනුව අතීතයේ මෙහි තිබූ ගම් අතරට ‘යාය’ නම් වන සංකල්පයක් පිවිසවන ලදී. ‘යාය’ යන වදන සිංහල බසට නුහුරු නුපුරුදු වදනක් නොවේ. එක්ව පිහිටි ගොඩ හෝ මඩ වගා බිම් රාශියක් හැඳින්වීම පිණිස අතීතයේ යෙදූ මෙම ‘යාය’ යන වදන මිනිස් ජනාවාස සඳහා ද යෙදීම ආරම්භ වන ලද්දේ මෙම වාරි මාර්ග යෝජනා ක්‍රම නිසාය.

එමෙන්ම 1970 දශකයේ ඇරඹි මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ එහි එච් කලාපය වශයෙන් නම් කරන ලද කොටසක් ද මෙම ප්‍රදේශය හා බද්ධව ස්ථාපිත වීම මත සම්බන්ධ නව මිනිස් ජනාවාස සහ වගාබිම් සඳහා තවත් සුවිසල් බිම් ප්‍රමාණයක් වෙන් කරන ලදී.

ඊට අමතරව තවත් අනේක විධ හේතු මුල් කොට ද මෙහි මිනිස් ජනාවාස බිහි වීම මෙන්ම ඒවා ව්‍යාප්ත වීම ද අඛණ්ඩව සිදු වූ අතර එම ක්‍රියාදාමය මේ වන විටත් එලෙසින්ම සිදුවෙමින් පවතී.

එහෙත් මේ සියලු මිනිස් ජනාවාස හා වගා බිම් පැතිර යාම නිසා සිදුවූ අතිශය ප්‍රබල සංසිද්ධියක් පිළිබඳව මේ දක්වා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී නැත. එනම් කාලාන්තරයක් තිස්සේ මිනිසුන් විසින් විවිධ ක්‍රම මගින් අත්පත් කර ගත් සෑම බිම් අඟලකම ස්වභාවික හා පරම අයිතිය මෙම වන කලාපයන් තුළ ජීවත් වූ වන අලින් සතු වීමය.

 

www.hdfinewallpapers.com

මෙය වඩාත් පැහැදිලි ලෙස විස්තර කළහොත් වන අලි ඇතුන් ඇතුළු සියලු වන සතුන්ගේ ජල මූලාශ්‍ර ද සහිත ස්වභාවික නිජබිම් කාලාන්තරයක් තිස්සේ නොයෙක් ක්‍රම මගින් අත්පත් කරගත් මිනිසා, වන අලින් ගම්වැදී තමන්ගේ ජීවිත, දේපල හා වගා බිම් වනසා දමන බවට ස්වභාවික යුක්තියට පටහැනි තර්කයක් ගොඩනගා ගෙන, වන අලින් තම පාරම්පරික නිජ බිම් වලින් පලවා හැරීමේ නොයෙක් මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබේ.

වර්තමානයේ අලි මිනිස් ගැටුම ලෙසින් හැඳින්වෙන මෙන්ම මේ වන විටත් නිසි විසඳුමක් සොයා ගත නොහැකි අලි මිනිස් ඛේදවාචකය හා සබැඳි ඛේදවාචකයේ මට වැටහෙන එක් පැතිකඩක් වනුයේ මෙයයි.

මෙහිදී මෙම ප්‍රදේශවල ජීවත් වූ අතීත ගැමියා වන අලි ඇතුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ අතිශය සහනශීලී සහ සංයමශීලී ක්‍රියා පිළිවෙත් මේ වන විට මුළුමනින්ම පාහේ අතුරුදන් වෙමින් තිබේ. අලි ඇතුන් යනු උතුම් සත්ව විශේෂයක් බැවින් එවුන්ට නොනිසි බලපෑම් නොකළ යුතුය යන පාරම්පරික චින්තනය මුල් කොට වර්තමානයේ උද්ගත වී ඇති අලි මිනිස් ගැටුමට මුල් වන සියලු හේතු ක්‍රියා කළ ආකාරය විස්මය ජනකය.

elephant gaman

තමන්ගේ වාසස්ථාන සහ වගා බිම් සකසා ගැනීමේදී වන අලින්ගේ පාරම්පරික සංචරණ මාර්ග අවහිර නොකිරීම, මිනිසුන්ටත් වඩා ජලය අවශ්‍ය සත්ව විශේෂයක් වන අලි ඇතුන් හට ජල පහසුව ලබා ගත හැකි වැව්, ජලාධාර ප්‍රදේශ සහ තෙත් බිම් ඔවුන් සඳහා වෙන් කර දීම, තම ගොඩ මඩ වගා බිම් සහ වන කලාපයන් අතරේ යම් අවකාශයක් ඉතිරි කිරීම මෙන්ම බැරිවීමකින් හෝ මිනිස් ජනාවාසයකට හෝ වගා බිමකට පිවිසෙන වන අලින් කුපිත කරවීමකින් තොරව ඉන් ඉවත් කරවීමේ පාරම්පරික ක්‍රම අනුගමනය කිරීම ඉන් කිහිපයකි. මෙහිදී මෙම වන කලාපයන් සම්බන්ධ වන අලින් සතුව තිබූ අයිතිය අතීත ගැමියා විසින් කෙතරම් සාධාරණ ලෙස පිළිගත්තේ ද යන්නට අප කුඩා කල අසා ඇති ගමරාල සහ අලියා කතාව කදිම නිදසුනකි.


එක්තරා උදෑසනක ගමරාල තම හේනට එන විට ඊට වැදී සිටින වන අලියෙකු දක්නට ලැබේ. “මොකද ගොන් අලියෝ උඹ මගේ හේන පාලු කරන්නේ?” එවිට කෝපයෙන් යුතු ගමරාල අලියාට කෑගසා කියයි. එවිට අලියා ද මිනිස් බසින්ම “ඉතින් මොකද ගමරාලේ උඹ අපේ ගොදුරු බිම් වල හේන් කොටන්නේ” යනුවෙන් එසැනින් පිළිතුරු දෙයි. ඉතා සරල ලෙස පබැඳී ඇති මෙම ජන කතාව මඟින් එවක ජන සමාජය තුළ ස්වභාවික යුක්තිය සම්බන්ධ කෙතරම් ගැඹුරු දැනීමක් හා වැටහීමක් තිබුණි දැයි සිතා ගන්නට අපට පුළුවන. නමුත් අදට සාපේක්ෂව වන අලි ඇතුන් ගම් වැදීම ඉතා දුලබ වූ අතර එය දේව කෝපයක ලකුණක් සේ ද එවක සමාජය විසින් පිළිගන්නා ලදී.

 

elephant fire

නමුත් අද වන විට වන අලින්ගේ නිජ බිම් ආක්‍රමණය කරගෙන සිටින මිනිසා තම ප්‍රවේණිගත ජානමය උරුමයන් ඔස්සේ එම නිජබිම් වෙත පැමිණෙන වන අලි ඇතුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග අතිශය බිහිසුණුය. ඔවුන්ගේ පාරම්පරික සංචරණ මාර්ග වලට බාධා කෙරෙන වැව් බැමි ඉදිකිරීම, අලි වෙඩි යෙදීම වැනි පාරම්පරික නොවන නව උපාය මාර්ග මගින් වන අලි ඇතුන් පලවා හැරීමේ සොබාදහමට පටහැනි ක්‍රියාදාමයන්හි යෙදෙන බව පෙනේ. එමෙන්ම වෙඩි තැබීම, හක්ක පටස් යෙදීම වැනි අතිශය අමානුෂීය ක්‍රියා මාර්ග ද ඒ අතර තිබේ.


නමුත් මේ සියලු අහිතකර තත්වයන් පිටු දැකිය හැකි තිරසාරම උපාය මාර්ගය ලෙස මා දකිනුයේ මිනිසුන් වන අප, වන අලින්ගේ නිජබිම් වෙත සංක්‍රමණය වූවන් බව සිතා සොබාදහමින් අලි මිනිස් දෙපාර්ශවයට හිමි වූ පොදු උරුමය අලි ඇතුන්ට ද උපරිම හිමිකම් ලැබෙන සේ අතිශය සාධාරණ ලෙස බෙදා ගැනීම පමණි. ඒ සඳහා තිරිසන් සතුන් වන වන අලි ඇතුන්ට නොමැති හැකියාවක් ලොව බුද්ධිමත්ම සත්වයා වන මිනිසාට ලැබී ඇති අතර අලි මිනිස් සහජීවනය නම් වන එම පැරණි උපාය මාර්ගය වෙත යළි යොමු වීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවක් බව මගේ වැටහීමය. නොඑසේ නම් මෙම අලි මිනිස් ගැටුම නිමා වනුයේ දෙපාර්ශවයට දරුණු පරාජයන් අත්වන යුද්ධයක් වශයෙනි.

 


vimalarathne 184x320 1
(සටහන | එච්.කේ විමලරත්න)
හිටපු ගල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති

උපුටා ගැනීම් -vinivida


 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්