මෙරටට ආවේණික ඇතැම් මිරිදිය මත්ස්‍ය විශේෂ විදේශ රටවලට බහුල වශයෙන් අපනයන කිරීම හේතුවෙන් එම විශේෂවල වර්ණකාර ගණනාවක් මේ වන විට වඳ වී ගොස් ඇතැයි පරිසරවේදී සජීව චාමිකර පැවසිය.
තල් කොස්සා, බුලත් හපයා, ලේ තිත්තයා, හල්මල් දණ්ඩියා වැනි මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ මේ අයුරින් වාණිජ්‍ය අරමුණු උදෙසා විදේශ රටවලට අපනයනය කෙරෙන බව ද ඔහු කියා සිටියේය.

අපනයනය සඳහා ස්වභාවික පරිසරයෙන් මෙම මත්ස්‍යයන් අල්ලා ගැනීමේදී එම සත්ත්වයන්ගේ දීප්තිමත් වර්ණකාර රටා සහිත පිරිමි මසුන් තෝරා ගැනීමට වඩාත් ප්‍රමුඛතාවයක් ලබා දෙන බවට ඔහු චෝදනා කළේ ය.
මේ හේතුවෙන් ස්වභාවික පරිසරයේ ගංගා ද්‍රෝණි ආදී ජලජ පරිසර පද්ධතිවල විසිරි සිටින දීප්තිමත් වර්ණකාර රටා සහිත ශක්තිමත් ජාන ඇති මසුන් මෙරටින් ඉවත් වී යන බව හෙතෙම පෙන්වා දුන්නේ ය.
අවසානයේදී මෙරට පරිසර පද්ධතියේ ඉතිරි වන්නේ දුර්වල ජාන සහිත එතරම් දීප්තිමත් නොවන වර්ණකාර සහිත මත්ස්‍ය විශේෂ බව ද ඔහු අවධාරණය කළේය.

හල්මල් දණ්ඩියා, ලේ තිත්තයා වැනි මත්ස්‍ය විශේෂවල දීප්තිමත් වර්ණාකාර ගණනාවක් ගංගාවල, ද්‍රෝණිවල, අතු ගංගාවල දක්නට ලැබුණ ද, මේ වන විට එම වර්ණකාර විශේෂ බොහොමයක් අපනයනය කිරීමට අල්ලා ගැනීම නිසා ස්වභාවික පරිසරයේ දීප්තිමත් වර්ණකාර සහිත මසුන් දක්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකින් බව ද සජීව චාමිකර පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ බොහෝ මිරිදිය මසුන්ට නීතිමය රැකවරණයක් නොලැබෙන නිසා මෙරටට ආවේණික මසුන්ගේ වර්ණකාර ආරක්ෂා කර ගැනීම තරමක අභියෝගයක් වී ඇති බව ය.
මානව කේන්ද්‍රීය බවට එහා ගිය ජෛව කේන්ද්‍රීය අවශ්‍යතාවලට මුල් තැන දෙමින් සංරක්ෂණ අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි දැන්වත් අවධානය යොමු කළ යුතු බව ත් එසේ නොවුණ හොත් දුර්වල ජාන ඇති සත්ව විශේෂ පමණක් ස්වභාවික පරිසර පද්ධතිවල දැක ගැනීමට ඉතිරි වනු ඇති බව ත් ඔහු අවධාරණය කළේ ය.
( mawbima | Savani Sheshadhi )








