අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා නීති විරෝධී ලෙස ඉදිකර තිබු විදුලි වැටවල් ඉවත් කිරීම ඇතුළුව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග
කුමක්දැයි අධිකරණය හමුවේ පෙනී සිට පැහැදිලි කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාට අභියාචනාධිකරණය අද නියෝග කළේය .
අලි මිනිස් ගැටලුවට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක් බැවින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයෙකු මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම් සිදු කළ යුතු බවට නියම කෙරිණි.
අලි ඇතුන් පොදු දේපලක් මෙන්ම ජාතික වස්තුවක් වශයෙන්ද හඳුනාගෙන ඇති හෙයින් ඔවුන් ආරක්ෂා කිරීමට බලධාරීන් වග බලා ගත යුතු බව අදාළ නියෝගය ලබා දෙමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු විනිසුරුවරයා අවධාරණය කළේය.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඉදිකර තිබු නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අලි ඇතුන් සුරැකීමේ සංගමය විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදි.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කරමින් නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර ඇති නමුත් පෙත්සමෙන් මතු කරන ලද ප්‍රධාන ගැටළු විසඳීමට පියවර ගත් බවක් එහි සඳහන් ව නැති බව පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය සදහන් කළාය.
විදුලි වැටවල් වල අවසර ලත් වෝල්ටීයතාවයක් නොමැතිකම මෙන්ම නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කිරීමේ ගැටළු ද විසඳී නැති බව ඇය සඳහන් කළාය.
එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ අලි මිනිස් ගැටලුවට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක් බවය.
ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමුවිය යුතු අතර අලි ඇතුන් පොදු දේපලක් මෙන්ම ජාතික වස්තුවක් වශයෙන්ද හඳුනාගෙන ඇති හෙයින් ඔවුන් ආරක්ෂා කිරීමට බලධාරීන් වග බලා ගත යුතු බවද සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.
| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී








