leader s

මන්නාරමේ වෙරළබඩ තෙත් බිම් මතින් දහස් ගණනින් පියාසර කරන සියුම් රෝස පැහැති ‘මහා සියක්කාරයන්’ (Greater Flamingos) දැකබලා ගැනීම ශ්‍රී ලංකාවේ වනජීවී සංචාරක ක්ෂේත්‍රයේ වඩාත්ම ආකර්ෂණීය දසුනකි.

වාර්ෂිකව දුරබැහැර රටවල සිට මෙරටට සංක්‍රමණය වන මෙම පක්ෂීන් මන්නාරම් කලපුව සුන්දරත්වයෙන් පුරවාලන මුත්, මෑතකදී වාර්තා වූ සිදුවීම් මාලාවක් හේතුවෙන් මෙම ස්වභාවික ආශ්චර්යයේ අනාගතය පිළිබඳව දැඩි අවිශ්වාසයක් මතුව තිබේ.

මන්නාරම ප්‍රදේශයෙන් මෑතකදී සියක්කාරයන් තිදෙනෙකු මියගොස් සිටියදී හමුවීම පරිසරවේදීන්ගේ සහ වනජීවී ලෝලීන්ගේ දැඩි කනස්සල්ලට හේතු විය. මුල් අවස්ථාවේදී ඔවුන් විදුලි සැර වැදීමෙන් මියගිය බවට සැක පළ කෙරුණද, වනජීවී පශු වෛද්‍යවරුන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ උඩුගුවන් විදුලි රැහැන්වල ගැටීමෙන් සිදු වූ දරුණු තුවාල හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.
 
1234399
ජාත්‍යන්තර පරිසර සඟරාවක් වන ‘මොංගාබේ’ (Mongabay) වෙබ් අඩවිය සඳහා පරිසරවේදී මලක රොද්‍රිගෝ විසින් සම්පාදනය කරන ලද වාර්තාවකට අනුව, මෙම සිදුවීම සංක්‍රමණික පක්ෂීන්ට එල්ල වී ඇති, එහෙත් වැඩි අවධානයක් යොමු නොවන බරපතල තර්ජනයක් ඉස්මතු කරයි.

පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සියක්කාරයන් වැනි විශාල පක්ෂීන් උදෑසන සහ සන්ධ්‍යා කාලයේදී රංචු වශයෙන් පියාසර කරන බවයි. ඔවුන්ගේ ශරීර ප්‍රමාණය, පියාසර රටාව සහ අහසේදී ක්ෂණිකව දිශාව වෙනස් කිරීමට ඇති සීමිත හැකියාව හේතුවෙන්, ඈතට නොපෙනෙන විදුලි රැහැන්වල ගැටීමේ අවදානම ඉතා ඉහළය.

මන්නාරම යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පක්ෂි සංක්‍රමණික මාර්ගයක පිහිටි සුවිශේෂී කලාපයක් වන අතරම, එය මෑතකාලීනව මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඉලක්ක කරගත් කලාපයක්ද වේ. මේ හේතුවෙන් සංරක්ෂණ කලාප සහ සංවර්ධන සැලසුම් අතර ගැටුමක් නිර්මාණය වී ඇත.

මෙම ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. ඉන්දියාව, ස්පාඤ්ඤය සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින්ද විදුලි රැහැන් හේතුවෙන් සියක්කාරයන් සිය ගණනින් මියගිය බව පර්යේෂණ මඟින් සනාථ වී තිබේ.
 
1567uy
කෙසේ වෙතත්, මෙය වළක්වා ගත හැකි තර්ජනයක් බව පර්යේෂකයෝ පවසති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර සංවිධාන අවධාරණය කරන්නේ තමන් සංවර්ධනයට විරුද්ධ නොවන නමුත්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පක්ෂීන්ට සිදුවන හානිය අවම වන පරිදි විදුලි රැහැන්වල ‘පක්ෂි පරාවර්තක’ (Bird Diverters) සවි කිරීම, රැහැන් භූගත කිරීම හෝ විකල්ප මාර්ග භාවිත කිරීම වැනි තාක්ෂණික විසඳුම් වෙත යා යුතු බවයි.
 
මන්නාරමේ පක්ෂි පාරාදීසය රැකගැනීම යනු වනජීවීන් රැකගැනීම පමණක් නොව, එයින් යැපෙන දේශීය සංචාරක කර්මාන්තය සහ ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමකි. එබැවින් අනාගත සංවර්ධන ව්‍යාපෘති අනුමත කිරීමට පෙර නිසි පාරිසරික බලපෑම් ඇගයීමක් (EIA) සිදුකිරීමේ අත්‍යවශ්‍යතාවය මෙම සිදුවීම හරහා නැවත වරක් රටටම මතක් කර දී ඇත.

(සටහන | කුමුදු කුමාර නාදුගල)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්