කඩොලාන යනු ගොඩබිම හා සාගරය අතර පිහිටි අතිරමණීය පරිසර පද්ධතියකි.මෙම කඩොලාන පරිසර පද්ධතිය දුර්ලභය. ඉස්සන්,කකුළුවන් වැනි සතුන්ට ජීවය සපයනවා මෙන්ම පෘථිවි
වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රනය අඩුකිරීමටත්,දේශගුණික විපර්යාසයන් පාලනය කිරීමටත් කඩොලාන පරිසර පද්ධතිය නිහඬව ඉටුකරනු ලබන මෙහෙවර රුපියල්වලින් මිල කළ නොහැකිය.
ශ්‍රී ලංකාව සිව්දෙසින්ම සාගරයෙන් වටවූ දූපතකි. ගොඩබිම ගිලගැනීමට පැමිණෙන චණ්ඩ මුහුදු රළ පහරෙහි "චණ්ඩිකම" මට්ටුකරන දැවැන්ත ආරක්ෂක පවුර කඩොලානය. එබැවින් දූපත් වාසීන්වන අපට,අපගේ පැවැත්ම තහවුරුකරන අත්‍යාවශ්‍යම සාධකයකි කඩොලාන පරිසර පද්ධතිය.

නමුත් කණගාටුවට කරුණ නම් ජීවයට අත්‍යාවශ්‍යම පරිසර පද්ධතිය මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩිව විනාශයට පත් වීමේ තර්ජනයට මුහුණ දී තිබීමය.
සීදුව, ලියනගෙමුල්ල සංරක්ෂිත කඩොලාන වනාන්තරය,එලෙස තර්ජනයට ලක් වූ තවත් එක් පාරිසරික කලාපයකි.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019.10.19 දින අංක 2145/37 දරන විශේෂ ගැසට් පත්‍රයක් මගින් හෙක්ටයාර 10.43 භූමි ප්‍රදේශයක් "ලියනගෙමුල්ල කඩොලාන සංරක්ෂිත වනාන්තරය ලෙස නම්කරනු ලැබීය.
එහෙත් කණගාටුවට කරුණකි.විශේෂ ගැසට් පත්‍රයක් මගින් නම් කර තිබූ මෙම ලියනගෙමුල්ල කඩොලාන සංරක්ෂිත වනාන්තරය, ආසන්නයේම ඉදිකිරීම් කේෂ්ත්‍රයට සම්බන්ධ මෙරට සුප්‍රසිද්ධ සමාගමක් විසින් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කිරීමය.
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ඔවුන් ඊට අදාළ පරිසරික බලපත්‍රය ද මොනයම් ක්‍රමයකින් හෝ ලබාගෙන ඇති බවය. එයින් පැහැදිලි වන්නේ යහමින් සල්ලි වීසි කළ හැකිනම් එය එතරම් අමාරු දෙයක් නොවන බවය.
"මෙම යෝජිත සිමෙන්ති කර්මාන්තශාලාව ඉදි වෙමින් පවතින්නේ අධිවේගී මාර්ග පිවිසුමට සහ මීගමුව කලපු රක්ෂිතයට සෘජුව මායිම් වෙමින්. ඒ කියන්නේ කඩොලාන සංරක්ෂිත වනාන්තරයේ සිට මීටර දෙසීයකටත් වඩා අඩු දුරකින්ය.
වන සංරක්ෂණ පනතට අනුව සිංහරාජයේ හෝ හෝටන්තැන්න වැනි ජාතික උරුමයන්ට හිමිවන ඉහළම නීතිමය ආරක්ෂාව සහ පාරිසරික වටිනාකම මෙම කඩොලාන පද්ධතියට හිම්ය.
යම් හෙයකින් මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කළහොත් මෙහි සෘජු බලපෑම වර්ග කිලෝමීටර් පහකට වැඩි ප්‍රදේශයකට බලපානු ඇත. ඒ කියන්නේ මුතුරාජවෙල සංරක්ෂිත තෙත්බිම් කලාපයටත් මේ සෘජුවම බලපානු ඇත.
මෙම කර්මාන්තශාලාව ආසන්නේ 4000කට අධික ළමුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන ප්‍රධාන පාසල් තුනක් තිබෙනවා. (ශාන්ත තෝමස් හා ලයිසියම් පාසල් ඇතුළුව)මෙම සිමෙන්ති කර්මාන්තශාලාව ආරම්භ කළහොත් සිමෙන්ති සිමෙන්ති දූවිලි හේතුවෙන් එම දරුවන්ගේ පමණක් නෙවෙයි නෙවෙයි. මීගමු කලපුව ආශ්‍රිතව ජීවත් වන මසුන් හා පරිසර සංවේදී තවත් බොහෝ සතුන්ගේ පැවැත්මට තර්ජනයක් වෙනවා යැයි අප සමග පැවසුවේ මේ පරිසර තර්ජනය සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ලියනගෙමුල්ල කඩොලාන උරුම සුරැකුම් සංවිධානයේ කැඳවුම්කරු රවින්ද්‍ර පුෂ්පකුමාර ජයවීර මහතාය.
කටුනායක සීදුව සීදුව නගර සභා සීමාව වෙන්ව ඇත්තේ මිශ්‍ර හා නේවාසික වෙළද කටයුතු සඳහා වන ආයෝජනවලට පමණකි.

මෙම ප්‍රදේශයේ තිබෙන එකම ආයෝජන කලාපය වන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපය පමණකි. එයද වෙන් කර ඇත්තේ ඇඟලුම් ඉලෙක්ට්‍රොනික හා සියුම් ඉංජිනේරු නිෂ්පාදන සඳහාය.
ජාත්‍යන්තර ගුවන්තොටුපළක්, නිදහස් වෙළඳ කළාපයක් පිහිටි ආර්ථික මර්මස්ථානයක් ආසන්නයේ මෙවැනි සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අවසර දීම අතිශයින්ම ගැටලු සහගතය.
මේ සම්බන්ධයෙන් අප දිර්ඝව කළ සොයා බැලීමේදී අණාවරණය වූයේ ලියනගෙමුල්ල, සංරක්ෂිත කඩොලාන වනාන්තරය ආසන්නයේ මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීමට අවසර ලබාගෙන ඇත්තේ හොටෙල් හා රිසෝට් ව්‍යාපෘතියක් සඳහා මිස සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා නොවන බවය.
එනම් මේ සදහා අවසර ලබාගෙන ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයාටත් වංගුවක් ගැසීමෙන් බව සක්සුදක් සේ පැහැදිලිය.
සාමාන්‍යයෙන් මෙවැනි මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේදී,
වනජීවි දෙපාර්තමේන්තුව,
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
ජලජීවී වගා අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ අධිකාරිය යන රාජ්‍ය ආයතනවලින් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගත යුතුය.
නමුත් හාස්‍යයට කරුණනම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අදාළ කිසිඳු ආයතනයකින් අවසර ලබාගෙන නොමැති බවය.සරලව කිවහොත් අදාළ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීමට කිසිදු පරිසර ඇගයීම් වාර්තාවක් (EIA) ලබාගෙන නැති බවය.
නාගරික සංවර්ධන අධිකාරිය (UDA) මඟින් පිළියෙල කරන ලද "කටාන නගර සංවර්ධන සැලැස්ම (2024-2033)" කෙටුම්පතට අනුව, මෙම ප්‍රදේශය නම් කර ඇත්තේ 'මධ්‍ය ඝනත්ව සේවා කර්මාන්ත කලාපයක් වශයෙනි. එහි 6.2.4 වගන්තියට අනුව, කොළඹ - පුත්තලම (A03) ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව දැනට පවතින ගුදම් (Warehouses) සහ බහාලුම් (Containers) අංගන තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත්, හිස් ඉඩම් බහාලුම් සේවා කලාප ලෙස සංවර්ධනය කිරීමටත් යෝජිතව ඇත. මෙය කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර මට්ටමේ සැපයුම් දාම (Logistics Hub) සංවර්ධන ව්‍යාපෘතියකි.
නමුත්, සංවර්ධනයේ නාමයෙන් මහජනතාව මුළා කරමින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2025.05.09 දින පැවැති දිස්ත්‍රික් සැලසුම් කමිටු තීරණයකට අනුව තනි මහලකින් යුක්ත වර්ග මීටර 3857 කින් සමන්විත කර්මාන්ත භාවිතය සදහා "මූලික සැලසුම් නිරාකරන සහතිකයක්" ලබා දී ඇත.(සිමෙන්ති නිශ්පාදන කර්මාන්ත ශාලා වැඩ පොල සදහා)
ඉන් පසුව 2025 දෙසැම්බර් මස 25 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාළ සමාගම වෙත වර්ග මීටර් 12,923 කින් යුත් මහල් පහකින් සමන්විත සිමෙන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවකට CEA/17/WE/GQ/UKS/058/2020 හා 2020/12/10 දිනැති ලිපියේ කොන්දේසි වලට අනුව කටයුතු කරන ලෙස දන්වා සංවර්ධන බලපත්‍රය පසු ගිය නත්තල් දිනයේදීම ලබා දී ඇත.
ඉන්පසුව එම බලපත්‍රයේම 20 වන කොන්දේසිය අමු අමුවේ උල්ලංඝනය කොට ඉදිකිරීම් ආරම්භ කිරීමට ප්‍රථම ඉදිකිරීම් පරිශ්‍රය ඉදිරිපිට අනුමැතිය ලබා ගන්නා ලද බලපත්‍ර අංකය හා දිනය අයිතිකරු, ඉදිකිරීම්කරු, ගෘහ නිර්මාණ ශිල්ප විස්තර දුරකථන අංක සහිත මීටර් 2.5 x මීටර් 1.5 දැන්වීම් පුවරුවක්වත් නොමැතිව හොටලයක් සාදන මුවාවෙන් මෙම අත්තනෝමතික ඉදි කිරීම මාස 06 කට වැඩි කාලයක් මහජනතාව මුලාකොට ඉදිකරගෙන ගොස් ඇත.එබැවින් අලුතින් ඉදිවන හෝටලයේ රැකියා ලබා ගැනීම සදහා සිහින දුටු යෞවන යෞවනියන්ද මේ අතර සිටින්නට නැතැයි කිව නොහැකිය.
අංක 722/22 ජාතික පාරිසරික පනතේ ACT 47 OF 1980 ආකාරයට, මෙවැනි කර්මාන්තයක් සඳහා අනිවාර්ය පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් (EIA - Environment Impact Assessment) ලබාගත යුතු බව පැහැදිලිවම සඳහන් වේ.
කෙසේ වුවද, අංක 2264/18 දරණ 2022 ජනවාරි මස 27 දිනැති සංශෝධිත ගැසට් පත්‍රයේ 'A' කොටසේ 22 වගන්තිය යටතේ, සිමෙන්ති කර්මාන්ත සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් (EPL) පමණක් ප්‍රමාණවත් බව පවසමින්, ආයෝජකයා සැනසීම සඳහා EIA වාර්තාවක් ලබා ගැනීම මඟහැර යාමට බලධාරීන් කටයුතු කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ආයෝජකයා විසින් සපයන ලද සාවද්‍ය තොරතුරු පදනම් කරගෙනය. EPL අයදුම්පතෙහි අඩංගු මූලික කොන්දේසි දෙකක්ම මෙහිදී සිතාමතාම මඟ හැර ඇත.
අයදුම්පතේ 1.4 වගන්තිය:
මෙම කලාපය කර්මාන්ත කලාපයක පිහිටා ඇද්ද යන්න විමසා ඇත.පිලිතුරු විය යුත්තෙ (නැත) යන්නය.
මෙම කලාපය ඒකල කාර්මික ජනපදයක් මෙන් කර්මාන්ත සදහා වෙන් කර නොමැත.

එය එසේ උවත් යෝජිත කටාන නගර සංවර්ධන සැලැස්මට අනුව මෙය 'මධ්‍ය ඝනත්ව සංවර්ධන කලාපය ලෙස සදහන් උවද මෙය ගුදම් (Warehouses) හා බහාලුම්( Containers yard) ප්‍රවර්ධන කලාපයක් බවට නම් කර ඇති අතර මෙය කිසි සේත්ම නිෂ්පාදන කර්මාන්ත කලාපයක් නොවේ.
අයදුම්පතේ 1.10 වගන්තිය:
ව්‍යාපෘති භූමියේ සිට කිලෝමීටර් 05 ක් ඇතුළත පිහිටි පරිසර පද්ධති පිළිබඳව නිවැරදි තොරතුරු සැපයිය යුතුය. නමුත් ආයෝජකයා විසින් තමන්ට මායිම්ව ඇති සංරක්ෂිත කඩොලාන පද්ධතිය සහ මසුන් බෝවන අති සංවේදී පුංචි කලපුව පිළිබඳ නිසි දත්ත ඉදිරිපත් කර නැත.(මීටර් 100 සීමාව ගොඩනැගිලි සීමාව ලෙස සලකා ඇත )
යම් හෙයකින් සාවද්‍ය තොරතුරු සැපයීම මත ලබාගෙන ඇති ඕනෑම බලපත්‍රයක් අවලංගු කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතී.
ලොව ඕනෑම රටක ආර්ථිකය දියුණුවී, මිනිසුන්ගේ ආර්ථිකය දියුණුවීමට මෙවන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අත්‍යාවශ්‍ය බව අප තර්කයකින් තොරවම පිළිගනිමු. නමුත් ප්‍රශ්න සහගත කරුණ වන්නේ අතිශයින්ම සංවේදී පරිසර පද්ධති කලාපයක පරිසරයට පමණක් නොව සමස්ථ ජීවී පද්ධතියකටම අහිතකර ආකාරයෙන් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමය.
ස්වභාදහම පරාජය කිරීමට හැකියැයි මිනිසා සිතීම මුලාවකි.අප ජීවත්වන පරිසරයේ මනා පැවැත්ම රඳා පවතිනුයේ එම පද්ධතියේ වෙසෙන ජීවි, අජීවි සංඝටකවල තුලනාත්මක පැවැත්ම මතය. මින් දශමයක හෝ වෙනසක් සිදුවුවහොත් ඒ මහා විනාශයකි. මිනිසාට රුපියල් ශත මගින් ලෝකය දිනුවද, පරිසරය ජයගත නොහැක. එහෙත් මොණර කොළවලින් මනස වැසිණු මිනිසුන්ට මේවා නොපෙනේ.මේ සටන රටේ අනාගතය භාරගැනීමට පෙරට එන උපනූපන් පරපුර වෙනුවෙනි. එබැවින් මෙවනි අධම වැඩ නතර කිරීමට අප පෙරට ආ යුත්තේ කොන්දේසි විරහිතවමය.

(සටහන | චමින්ද කරුණාරත්න )
Chaminda Karunarathne








