*ජගත් කඩොලාන දිනයට සමගාමීව හෙක්ටයාර් 162කට අධික භූමි ප්‍රමාණයක් අලුතින් ගැසට් කිරීමට පරිසර අමාත්‍යාංශය සැරසෙයි
*මෙරට පවතින හෙක්ටයාර 12,500ක කඩොලාන භූමි ආරක්ෂා කරමින් අනාගත පරම්පරාවට දායාද කිරීමේ ජාතික පියවරක්
මෙරට කඩොලාන පරිසර පද්ධති සුරක්ෂිත කරමින් අනාගත පරම්පරාව වෙත දායාද කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන කඩොලාන පද්ධති 08ක් අලුතින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව ක්‍රියාත්මක වන 'කඩොලානට දලුලන්න ඉඩදෙන්න' ජාතික වැඩසටහනේ මීළඟ තීරණාත්මක පියවර ලෙස මෙය ක්‍රියාවට නැංවේ.
ජගත් කඩොලාන දිනය සහ නව ගැසට් නිවේදනය
ජූලි මස 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව, මෙම කඩොලාන පද්ධති 08 සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ නිල ගැසට් පත්‍රයට අත්සන් කිරීම ජූලි 27 වනදා සිදුකිරීමට නියමිතය.
මෙම අලුත් ප්‍රකාශනයත් සමඟින් පුත්තලම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 162.72ක අතිරේක භූමි ප්‍රමාණයක් නීත්‍යනුකූලව රක්ෂිත භූමි බවට පත්වනු ඇත.
මෙරට කඩොලාන පද්ධතියේ වර්තමාන තත්ත්වය
පරිසර අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාව තුළ මේ වන විට වාර්තා වන සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වේ. ඉන් විශාලතම සහ සාරවත්ම කඩොලාන ව්‍යාප්තිය දැකිය හැක්කේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ සහ කලපු ආශ්‍රිතවය.
මීට අමතරව, දිවයිනේ නිරිතදිග, දකුණ සහ ඊසානදිග වෙරළබඩ තීරයේ පිහිටි කලපු ආශ්‍රිතව ඝනව වැඩුණු කඩොලාන ශාක පද්ධති තැනින් තැන විසිරී පවතී. පර්යේෂණාත්මක සොයාගැනීම්වලට අනුව මෙරට වෙරළබඩ පරිසර පද්ධතියෙන් කඩොලාන ශාක විශේෂ 11ක් පමණ හඳුනාගෙන තිබේ.
වෙරළ කෂදනය වැළැක්වීම, සාගරික ජෛව විවිධත්වය සුරැකීම, කුණාටු හා සුළං බාධක ලෙස ක්‍රියාකිරීම සහ කාබන් තැන්පත් කරගැනීමේ ඉහළ හැකියාව වැනි පාරිසරිකමය සහ ආර්ථිකමය වැදගත්කම් රැසක් සැලකිල්ලට ගනිමින් මෙම කඩොලාන පද්ධති නීතිමය ආරක්ෂාව යටතට පත් කිරීමට පියවර ගෙන ඇත.
ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති ප්‍රධාන කරුණකි. විශේෂයෙන්ම ඉස්සන් වගාව සහ නාගරික සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අතීතයේදී තර්ජනයට ලක්වූ පුත්තලම කලපු තීරයේ කඩොලාන නැවත යථා තත්ත්වයට පත්කර සුරක්ෂිත කිරීම, මෙරට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමෙහිලා ගත් වැදගත් පියවරක් ලෙස පරිසරවේදීහු පෙන්වා දෙති.








