leader s

'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ ප්‍රකට කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ නවතම කාව්‍ය සංග්‍රහය 'හූනා ලැග්ග බාල්කේ' එළිදැක්වීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe Institut) පැවැත්වේ.

වසර 25කට පෙර පළ වූ ඇගේ පළමු කෘතිය වන ගෝත්‍රික ප්‍රේමය නව මුද්‍රණයක්ද එදින එළිදැක්වීමට නියමිතය.

 

කල්පනා ඇම්බ්‍රෝස්, ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්, ප්‍රියංවදා පෙරේරා, සුරේඛා සමරසේන, අශෝක හඳගම, ළහිරු කරුණාරත්න, විකුම් ජිතේන්ද්‍ර, සිවලිංගම් අනු, ෆාතිමා ෂානාස්, දීපිකා කොඩිකාරගේ සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂාවලින් අනෝමාගේ කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරති. 

කවිය, සිනමාව, ඡායාරූපකරණය, ජනමාධ්‍යකරණය ආදී ක්ෂේත්‍ර කිහිපයකටම කැපීපෙනෙන දායකත්වයක් පිරිනමා ඇති අනෝමා, Agenda 14 කෙටි චිත්‍රපට උළෙලෙහි නිර්මාතෘවරියද වෙයි. 

Anoma 251205

 

මගේ සටහන් කියවපු අය ඒවා කවි හැටියට බාරගත්තා  -  අනෝමා රාජකරුණා

 

ඔබේ පළමුවැනි කවි පොත 'ගෝත්‍රික ප්‍රේමය' එළිදකින්නෙ වසර 2000දි. ඒක පාඨකයන්ගේ වගේම විචාරකයන්ගේත් විශේෂ අවධානයට ලක් වුණ පොතක්. අලුත් කවි පොත ගැන කතා කරන්න කලින්, මම කැමතියි අවුරුදු 25කට ඉස්සර ඒ පොත බිහි වුණු පසුබිම ගැන අහන්න.

 

ගෝත්‍රික ප්‍රේමය කවි පොතක් කියලා වෙන අය කිව්වට, දෙදාහෙ අවුරුද්දෙ පළ කරද්දිත් මම ඒක කවි පොතක් කියල කිව්වෙ නෑ. මම ඒක හැඳින්නුවෙ සටහන් පෙළක් කියලා. මොකද කවිය, කවියෙ හැඩය, කවි කියන්නෙ මොනවද කියන කාරණාවලට තිබුණු සම්මත පිළිතුරු එක්ක මේවා පෑහුණේ නෑ. මේවා සාමාන්‍යයෙන් ආත්මීය කතන්දර, සමහර ඒවා අඳෝනා. සමහර ඒවා විරෝධාකල්ප. ඒත් බොහෝ දෙනෙක් ඒවා කවි හැටියට බාරගත්තා. ඒවා පළ වෙද්දී මගේ වයස 35යි. 

 510804044 10162773635752559 3288437665723070903 n

 

මම ඒ වගේ දේවල් ලියන්න ගත්තෙ අවුරුදු 10, 11 ඉඳලා. ඒ කාලෙ ළමා පිටුවල, කාන්තා පත්තරවල, සඟරාවල, ජාතික පුවත්පත්වල ආදී විවිධ තැන්වල ඒවා පළ වෙලා තියෙනවා. විශේෂයෙන් මම ඉංග්‍රීසියෙන් කවි ලිව්වා, ඉංග්‍රීසි සඟරාවලටත් පුවත්පත්වලටත්. සමහර මාසවල කවි දෙක තුනක් පළ වුණා. හැබැයි ඒවා එක තැනකට එකතු කරන්න මට ඕන කමක් තිබුණෙ නෑ. මම ඇය සඟරාවේ සංස්කාරක මණ්ඩලයේ හිටියා. චරිත දිසානායක තමයි පිටු සැලසුම් කළේ. අග පිටුවට මොනවද දාන්නෙ කියලා කතාබහක් ඇති වුණ වෙලාවකදි මම කිව්වා මම ගන්න ඡායාරූපයක් එක්ක, ඒකට කවියක් ලියන්නම් කියලා. ඒක සාර්ථක වුණා. ඒ කවි වරින්වර කතා බහට ලක් වුණා, විශේෂයෙන්ම කාන්තාවො එකතු වෙන තැන්වල. කාන්තා සාකච්ඡා මණ්ඩපවල ඇතැම් කවිවලට තනු යොදලා ගැයුවා. ඒවත් එක්ක තමයි 2000දි මට හිතුණෙ මේ ටික එකතුවක් විදියට පළ කරන්න ඕන කියලා. මං අතින් ලියවුණු ඒවායින් ස්ත්‍රීන් පිළිබඳ ලියවුණු 25ක් විතරයි මම ගෝත්‍රික ප්‍රේමයට එකතු කළේ.

 

 ඊට පස්සෙත් දිගටම කවි ලිව්වද?  

595853219 10163601932027559 6252225906788861787 n2000 ඉඳන් 2025 වෙනකල් ඒ විදිහටම මම කවි ලියනවා. කවි ලියවෙනවා. හැබැයි මම ඒ කවි එකතු කරලා පළ කරන්න උත්සාහයක් දරලා නෑ. මම සමාජ සමීක්ෂණවල යෙදෙන, විශේෂයෙන්ම කාන්තාව හා අවතැන් වීම පිළිබඳ කටයුතු කරන කෙනෙක්. යුද කලාපයේ මායිම් ගම්මානවල අවතැන් වුණ, තනි වුණ කාන්තාවන්ගේ ජීවිත මගේ කවි බොහොමයකට නිමිති වෙලා තියෙනවා. සිනමාකාරියක් විදිහට, මට කැමරාවක් අරන් යන්න බැරි තැන්වල මගේ අත්දැකීම් කවි බවට පත් වෙනවා.

 

ඒවා වරින්වර වාර ප්‍රකාශනවල පළ කරන්න සමහර අය ඉල්ලන් ගිහින් තියෙනවා. නමුත් මම නිරන්තරයෙන් කවි ලියන කෙනෙක් නෙවෙයි. මට යම්කිසි කම්පනයක් ඇති වෙන්න ඕන කවියක් ලියන්න. එහෙම නැත්නම් ඒක වෙනස් අත්දැකීමක් වෙන්න ඕන. එහෙමත් නැත්නම් යම්කිසි දේකට මගේ විරෝධය, සමහර විට මම යම්කිසි දෙයක් විඳදරා ගන්නා ආකාරය කවියක් බවට පත් වෙනවා. නමුත් ඒ ලියන කවි පළ කරන්නෙ නැහැ. ඒවා බොහෝ විට මිතුරන් අතරෙ තමයි හුවමාරු වෙන්නෙ.

 

ඔබ දිගටම කවි ලිව්වත්,  'හූනා ලැග්ග බාල්කේ' කියන අලුත් පොතට ගොනු වෙන්නෙ කොරෝනා කාලෙ, යම් සීමිත කාල පරාසයක් ඇතුළෙ ලියපු කවි එකතුවක්. ඒක කොහොමද සිද්ධ වෙන්නෙ?

 

577593421 25846454251619254 1601772594850524110 n

 

මම දිගු කාලයක් සිනමා කටයුතු එක්ක කාර්ය බහුල වෙලා හිටියේ. නමුත් කෝවිඩ් සමයේ ලැබුණ මඳ විවේකයේදි පුවත්පතක් සඳහා සම්මුඛ සාකච්ඡාවකට පැමිණි තරුණ මාධ්‍යවේදිනියක වන සෝබා කෝලියවංශ, දැන් කවි නොලියන්නේ ඇයි කියලා මගෙන් ප්‍රශ්න කළා. ඒ විතරක් නෙවෙයි, කවි ලියන්න කියලා නැවත නැවතත් කරදර කළා. ඒ පෙළඹවීම මත මම මාසයක් එක දිගට මුහුණුපොතට කවි ලිව්වා. හරියටම මාසයක්, දිනපතා එක කවිය බැගින් කවි තිහක් මම ලිව්වා. විදර්ශන පොත් ගෙදරට අවුරුදු 25ක් පිරෙන වෙලාවෙ ඒ කවි ටික පළ කරමු කියලා ජනක ඉනිමංකඩ යෝජනා කළත් ඒ වෙලේ මට විවේකයක් තිබුණෙ නෑ. පසුගිය කාලයේ ශල්‍යකර්ම කීපයක් නිසා මාස කීපයක විවේකයක් ලැබුණා. ඒ කාලෙ තමයි අර කවිවල මුද්‍රිත පිටපත් අරගෙන, දැන්වත් පොත කරන්න ඕන කියලා හිතුවෙ. කෝවිඩ් කාලයක් තිබුණද කියලවත් අපිට දැන් මතක නැති වෙමින් යද්දී ආපසු හැරී බැලීමක් එක්ක තමයි පොත මුද්‍රණය වෙන්නෙ.

ඒකත් එක්කම ගෝත්‍රික ප්‍රේමය දෙවැනි මුද්‍රණයත් නොවැම්බර් 29 වැනිදාට එළිදක්වනවා. 2000 අවුරුද්දේදි ඒ පොතෙන් මුද්‍රණය කළ පිටපත් 1200ම මාස කිහිපයකින් විකිණිලා ඉවර වුණා. අවුරුදු 25ක් තිස්සේ නැවත මුද්‍රණයකට යමුද කියලා අහපු කීප දෙනෙක් හිටියා. විශේෂයෙන්ම උපුල් ශාන්ත සන්නස්ගල, තරිඳු ශ්‍රී ලොකුගමගේ වගේ අය. 

ලාංකීය සමාජය තුළ ඔබ වඩාත්ම සලකුණු වෙලා තියෙන්නෙ සිනමාවේදිනියක් හැටියට. විශේෂයෙන් ජාත්‍යන්තරයත් එක්ක සමීපව කටයුතු කරන, නව පරපුරටත් පුළුල් ලෝකයට පිවිසෙන්න ලොකු උත්තේජනයක් සපයන කෙනෙක් හැටියට. සිනමාව එක්ක ඔබේ බැඳීම ඇති වුණේ කොහොමද?

 

Anoma Rajakarunananyake

 

 මගේ මුල්ම කෙටි චිත්‍රපටය හදනකොට මට අවුරුදු 17යි. අපිට චිත්‍රපටි හදන්න කවුරුත් සහයෝගයක් දුන්නෙ නැහැ. පොකටි මනි එකතුකරලා, යාළුවො එකතු කරගෙන තමයි මේව කළේ. රඟපෑවෙ ළඟපාත ඉන්න නැන්දල මාමලා, අක්කල අයියලා. මම පළවෙනි චිත්‍රපටිය හදල තියෙන්නෙ මීට අවු. 43කට කලින්. ඒ කාලෙ මීට වඩා  ගොඩක් අමාරුයි. ගෑනු දරුවෙකුට උචිත ක්ෂේත්‍රයක් හැටියට චිත්‍රපටි කරන එක කොහොමවත් සැලකුණේ නැහැ. රූපවාහිනිය ලංකාවට ආවෙ 1979දි. මම සාමාන්‍යපෙළ කළේ ඒ අවුරුද්දෙදි. එතකොට මම ලෙස්ලි බොතේජුගෙන් තිර රචනා පාඨමාලාවක් හදාරලා, ඇන්ඩෘ ජයමාන්නගෙන් සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ හදාරලා, ඒ විදියට- උසස්පෙළ පන්තියේ ඉන්න ගමන් තමයි මේ ගමන පටන්ගත්තෙ.

 

කවිය, සිනමාව, තීරු ලිපි වගේ කවර මාධ්‍යයකදී වුණත් ඔබේ ප්‍රධාන තේමාව වෙන්නෙ කාන්තාව. ඔවුන් පෙළන ගැටලු. ඔබේ නිර්මාණ කටයුතුවලදි වගේම මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරී භූමිකාව ඇතුළෙත් මේ කාරණය කැපී පෙනෙනවා. මේක නිරායාසයෙන්ම සිද්ධවෙන දෙයක්ද?

 

මගේ ජීවිතය ගැන, ගෑනු දරුවෙක් හැටියට මට මූණදෙන්න වෙච්ච දේවල් ගැන, වෙන විදියකින් කිව්වොත් ස්ත්‍රීන් ගැන තිබිච්ච සංවේදීතාව තමයි මගේ කවිය වුණේ, චිත්‍රපටි වුණේ. මගේ ගම පානදුරේ. මම ඉගෙනගත්තෙ පානදුර බාලිකා මහා විද්‍යාලයේ. ඒ කිට්ටුව තමයි පානදුරේ ප්‍රසිද්ධ හින්දු කෝවිල තියෙන්නෙ. 83දි මේකට ගිනි තියනවා. පානදුර නගරයේ බොහෝ තැන් ගිනිගන්නවා. ඒකත් එක්ක ආපු සසලවීම, මගේ ජීවිතේ පුරාවටම ආවා. නිර්මාණවලටත්, සමාජ ක්‍රියාකාරිත්වයටත් බලපෑවා. සමාජ විද්‍යාව හදාරලා, සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන්ගත්තට පස්සෙ, අවතැන්වීම කියන එක ප්‍රධාන මාතෘකාවක් වුණා. ඒ අත්දැකීම් තමයි මගේ නිර්මාණවලට ආවෙ.

 

unnamed 5

ලංකාවෙ ජනාධිපතිවරයෙකුගෙ නියෝගයෙන් තහනම් කරපු පළවෙනි චිත්‍රපටිය තමයි, 1988දි රූපවාහිනියෙ ප්‍රචාරය වෙන්න නියමිතව තිබුණු මගේ 'අම්මා' කියන චිත්‍රපටිය. ඉන් පස්සෙ අපි ඒ චිත්‍රපටය කුඩා කණ්ඩායම් අතරට අරගෙන යනවා. ඒ ගැන සාකච්ඡා කරනවා. ඒ විදියට- ලංකාවෙ විවිධ නීති සංශෝධනවලදි මමත් චිත්‍රපටිකරුවෙක් විදියට මැදිහත් වෙලා තියෙනවා. මම හිතන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙට කෙළින්ම සම්බන්ධ වෙන තැනක් ඒක. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පනත කෙටුම්පත් කරන ක්‍රියාවලිය තුළ, ඒ සම්බන්ධයෙන් කරුණු එකතු කිරීම අරමුණු කරගෙනත්, ඊළඟට මේ සංශෝධනය අවශ්‍ය ඇයි කියන එක ගැන බලපෑමේ කණ්ඩායම්වලට පෙළඹවීම් කිරීම සඳහාත් මම චිත්‍රපටි කරලා තියෙනවා. මේ නීති සංශෝධනය වුණාට පස්සෙ, ඒවා ක්‍රියාත්මක කිරීම ගැන විශේෂයෙන් පොලිසියේ සහ නීති ක්ෂේත්‍රයේ අය දැනුවත් කිරීම සඳහාත් චිත්‍රපටිවලට මැදිහත්වෙලා තියෙනවා. ඒ වගේම කාන්තා ප්‍රඥප්තිය පිළිබඳ අදහස් ප්‍රධාන ධාරාවට ගෙන යෑම සඳහාත් මම චිත්‍රපටි කරලා තියෙනවා.

 

මේ වගේ නිර්මාණාත්මක මැදිහත්වීම්වලින් සමාජයේ අවබෝධය පුළුල් වුණත්, ඒ සාධක වෙනස් කරන එක අසීරුයි නේද? මේ ගැන මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නෙ?

 

පහුගිය දවසක අපි, අවුරුදු 22කට විතර පස්සෙ මගේ 'බෝඩිමක් සහ පස් දෙනෙක්' කියන චිත්‍රපටිය නැරඹුවා වැඩමුළුවකදි. චිත්‍රපට දර්ශනයෙන් පස්සෙ පැවැත්වුණු සාකච්ඡාවෙදි බොහෝ දෙනෙක් කිව්වෙ, මේ චිත්‍රපටියෙ කතා කරපු කිසිම දෙයක් ලංකාව ඇතුළෙ වෙනස් වෙලා නැති බව. එ් කියන්නෙ ඒ චිත්‍රපටය තාමත් වලංගුයි. ඒ වගේම තමයි ගෝත්‍රික ප්‍රේමයෙ මගේ කවියක් තියෙනවා ‘අපේ පරපුර’ කියලා. ඒකෙදි කියන්නෙ, සංඝමිත්තා අරන් ආපු බෝධියේ උඩමළුවට කාන්තාවන්ට යන්න බෑ. එතකොට හේමමාලා කෙස්සේ සඟවාගෙන ආපු දන්තධාතුවට කවදාවත් දියවඩන නිලමෙලාට මිස කුමාරිහාමිලාට පත් වෙන්න බැහැ. ඒවා මෙහාට අරගෙන ආවෙ කාන්තාවන් වුණාට, දැන් ළං වෙන්න බැහැ. ඉතින් කවිය ලියවිලා අවුරුදු 25කට පස්සෙත් ඒක එහෙමමයි. ඒ නිසා අපි මේ මොහොතේ ඒ කවිය, අපි ගීතයක් බවට පත් කළා, හේෂාන් කුරුප්පු සංගීතය නිර්මාණය කළේ. සමනලී ෆොන්සේකා ගීතය ගායනා කළේ. දැනට මම කරමින් ඉන්න වාර්තා චිත්‍රපටයක තේමා ගීතය වශයෙන් තමයි අපි ඒක නිර්මාණය කළේ. ඉතින් ඔයා අහපු දේට කියන්න තියෙන්නෙ,  ඒක තමයි මං හිතන්නෙ ඇත්ත.

599093859 10163607059402559 4172005545550313293 n

 

සංවාදය

ප්‍රමෝද්‍යා සිරිවර්ධන

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්