අවතාර් චිත්‍රපටයේ තුන්වන කොටස මේ දිනවල ලෝකය පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙමින් පවතී. සිව් මාන (4DX) අත්දැකීමක් විදියහැකි මෙහි, චලිතය, සුවඳ, සුළඟ, ජලය සහ මීදුම ආදිය ඇතුළත් වන අතර එමඟින් නරඹන්නන් පැන්ඩෝරා ලෝකය තුළ ගිල්වනු ලබයි.
අවතාර් චිත්‍රපටියේ (පලමු කොටස) මුලින්ම තිරගතවූයේ 2009 වසරේදීය. වාර්තා ගනනාවක් පිහිටවූ මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාණ තුනක් දිනාගත් අතර ලෝකයේ විවිධ රටවලදී තවත් සම්මාන 80 කට වඩා දිනාගන්නා ලදී. විශේෂයෙන් එහි දෘශ්‍ය ප්‍රයෝග සහ ත්‍රිමාණ තාක්ශණය වර්ණනාවට ලක්විය. මෙම චිත්‍රපටිය ඩොලර් බිලියන 2.9 ක පමන දළ ආදායමක් උපයාගන්නා ලදී.
වියදම්කල මුදල ඩොලර් මිලියන 237 කි. අවතාර් චිත්‍රපටියේ දෙවන කොටස වන "ද වේ ඔෆ් වෝටර්" නිශ්පාදනය කිරීමට ඒ වගේ දෙගුණයක පමන මුදලක් වැය කරන ලදී. එය 2022 වසරේදී ප්‍රදර්ශනය විය. මේ දිනවල තිරගතවන්නේ එහි තුන්වන කොටස වන අවතාර් "ෆයර් ඇන්ඩ් ඈශ්" නොහොත් ගිනි සහ අලු යන්නයි.
අවතාර් චිත්‍රපටිය පුරා පෙන්වන්නේ පෘතුවියේ ජීවත්වන මනුෂ්‍යයන් වටිනා ඛනිජ ද්‍රව්‍යය, ධනය, අමරණීය බව ලබාගැනීමට අවශ්‍ය ජීවවිද්‍යාත්මක ද්‍රව්‍ය යන ආදිය කෙරෙහි ඇති කෑදරකම නිසා විශ්වය පුරා කරන විශාල විනාශයයි. චිත්‍රපටයේ ප්‍රදාන චරිතය වන ජේක් සලී ඇමරිකන් නාවික බලඇනියක සටන් කල කෝප්‍රල් වරයෙකි.
පෘතුවියේ නිමක් නැති විවිධ යුද්ධයන්හි සටන් කොට ශරීරයේ පහල කොටස සම්පූර්ණයෙන්ම අක්‍රීය වූ සොල්දාදුවකි. ඔහු රෝදපුටුවකට සීමාවී සිටින අතර අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිකාර ලබාගැනීමට මුදල් නොමැතිව අසරණවූවෙකි. සියල්ල පාලනය වන්නේ මුදල්වලට කෑදර සමාගම් විසිනි. වැඩකරන පංතියෙන් පැවත එන ජේක් වැන්නන් මිලිටරි ගැටුම් ආදිය සදහා පාවිච්චිකර, තවදුරටත් ප්‍රයෝජනවත් නොවන විට ඉවත දමනු ලබන සමාජ ස්තරය නියෝජනය කරයි. ඔහුගේ කොඳු ඇට පෙළ නැවත පනගැන්වීමට අවශ්‍ය තාක්ශණය තිබුනත් එය ලබාගැනීමට ඔහුට හැකියාවක් නොමැත. පැන්ඩෝරා මෙහෙයුමට සම්බන්ධ වීමට ජේක්ගේ මෙම ආර්ථික මංමුලා සහගත බව හේතුවේ. පැන්ඩෝරා යනු වෙනත් ජීවින් කොටසක් ජීවත්වන සඳකි. “නාවි” යනු මේ මනඃකල්පිත චන්ද්‍රයා වන පැන්ඩෝරාගේ ස්වදේශික මානවරූපී විශේෂයයි. ඔවුන්ට පැන්ඩෝරා හි සතුන් සහ ශාක සමඟ භෞතිකව හා අධ්‍යාත්මිකව සම්බන්ධ වීමට ඉඩ සලසන ස්නායුක අවයවයක් (ගෙත්තම් වැනි උපග්‍රන්ථයක්) ඇත. නාවිවරු ස්වභාවධර්මය සමඟ සමීප එකඟතාවයකින් ජීවත් වෙති. සියල්ල පැන්ඩෝරා හි සංවේදී ජීව බලවේගය වන අයිවා විසින් මෙහෙයවනු ලැබේ.
![]()
පැන්ඩෝරා හි ජීවත්වන ගෝත්‍ර කිහිපයක් තිබේ. අවතාර් මුල් චිත්‍රපටිය පාදකකොට ගත්තේ වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ඔමාටිකායා ගෝත්‍රයයි (වනාන්තර වංශය). අවතාර් දෙවන කොටස නිර්මානය කලේ මෙට්කායිනා (ගල්පර/සාගර වංශය) යන ගෝත්‍රය සම්බන්ධ කරගැනීමෙනි. තුන්වන කොටසට මන්ග්ක්වාන් (ගිනි සහ අළු වංශය) වංශය සම්බන්ධ කොට ඇත. මේ සියලු ජන කොටස් නාවි ජාතිකයින්ය. නාවිවරු උතුම්, අධ්‍යාත්මික වශයෙන් සම්බන්ධ වූ සහ පරිසර හිතකාමී ජීවීන් වන අතර, ඔවුන් පැන්ඩෝරා හි සම්පත් සූරාකෑමට පැමිනෙනන මිනිසාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය.
පෘතුවියේ ඇතිවන විශාල පාරිසරික විනාශයත් සමග ඊට අවශ්‍යය නොයෙකුත් වටිනා ඛනිජ ලබාගැනීම සදහා පැන්ඩෝරා නැමති මේ චන්ද්‍රයා ආක්‍රමණය කිරීමට තීරණය කරන්නේ "සම්පත් සංවර්ධන පරිපාලනය" (RDA- Resources Administration Authority) නැමති අන්තර් තාරකා පතල් කැණීම් සහ යටත් විජිත මෙහෙයුම් සඳහා පිහිටුවා ඇති බලවත් නිලධාරිවාදී ආයතනයයි. පැන්ඩෝරාවට යෑමේ මූලික අරමුණ වන්නේ පෘථිවියේ බලශක්ති අවශ්‍යතා සඳහා වැදගත් වන ඉතා වටිනා ඛනිජයක් වන යුනොබ්ටේනියම් නිස්සාරණය කිරීමටයි.
![]()
අවතාර් යනු "නාවි"කෙනෙකුගේ පෙනුමට සමාන ජානමය වශයෙන් නිර්මාණය කරන ලද ශරීරයක් වන අතර එය මිනිස් මනසකින් දුරස්ථව පාලනය කරයි. මේ මිනිස් අවතාර නොයෙකුත් මෙහෙයුම් සදහා යොදවාගනී. පැන්ඩෝරා මෙහෙයුම සඳහා ජේක් බඳවා ගනු ලබන්නේ අවතාර් ශරීරයක් ක්‍රියාත්මක කිරීමට පුහුණු කරන ලද විද්‍යාඥයෙකු වූ ඔහුගේ නිවුන් සහෝදරයා මිය ගිය නිසාය. අවතාර් සිරුරු ජානමය වශයෙන් ගැලපියයුතු සහ අතිශයින් මිල අධික බැවින්, විද්‍යාත්මක පුහුණුවක් නොමැති වුවද, ජේක් ලාභ ආදේශකයක් බවට පත්වේ. ඔහුගේ භූමිකාව ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කරමින් හමුදාවට සහ පතල් සංස්ථාවට (RDA) වාර්තා කිරීමයි.
කතාවේ ආරම්භයේ දී, ජේක් දේශපාලනික වශයෙන් උදාසීන ය. ඔහු ප්‍රධාන වශයෙන් තමාගේ පැවැත්ම සඳහා මේ මෙහෙයුම පිළිගන්නා අතර සහයෝගයෙන් කටයුතු කළහොත් ඔහුගේ පාද නැවත භාවිතා කළ හැකි බවට විශ්වාස කරයි. ඉතා කෙටි කාලයකදී පැන්ඩෝරාවේ "නාවි" වරුන් අතර ලබන ජීවමාන අත්දැකීම් ඔහුව රැඩිකල් ලෙස පරිවර්තනය කරයි. ඔහු අධිරාජ්‍යයන් ඉවත දමන ලද සොල්දාදුවෙකුගේ සිට මිලිටරිවාදය, ආයතනික නිස්සාරණය (corporate extraction) සහ යටත් විජිත තර්කනය ප්‍රතික්ෂේප කරන සටන්කාමී චරිතයක් බවට පත්වේ. ජේක්ව නිරූපනය කරන්නේ පසුකාලීන ධනවාදයෙන් (late capitalism) ඈත්කරන ලද (alienated), සහ අධිරාජ්‍යය විසින් බිඳ දමන, මිනිස් සංකේතයක් ලෙසයි. අවසානයේ එයින් බිඳී තම ගෞරවය සහ ජීවිත අරමුණ සොයා සටන් කරන කෙනෙකු ලෙසයි.
![]()
පැන්ඩෝරාවේ ජීවත්වන නාවි ගැහැනියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගන්නා ජේක් මනුෂ්‍යය ලෝකයේ බල අධිකාරයට අවනත නොවෙමින් නාවි වැසියන් ආරක්ශා කිරීමට තීරණය කරයි. එහි ප්‍රතිපලයක් ලෙස මනුෂ්‍යය ලෝකයේ බල අධිකාරිය විසින් ඔහු ද්‍රෝහියෙකු සහ පාවාදෙන්නෙකු ලෙස හංවඩු ගසන අතර ඔහු අල්ලාගැනීමට කර්නල් මයිල්ස් ක්වාරිච්ගෙන් සමන්විත බට කණ්ඩායමක් පෘතුවියේ සිට පැන්ඩෝරාවට එවනු ලබයි.
චිත්‍රපටිය පුරා දිවා යන්නේ පරිසරය සමග බද්ධව ගස් කොල සතා සීපාවා සමග සාමකාමීව අධ්‍යාත්මික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන නාවි ගෝත්‍රිකයන් සහ පෘතුවියෙන් පැමිනි යටත් විජිතවාදී මනුෂ්‍යයන් අතර වන ඝට්ටනයයි. ඉතා බිහිසුනු සහ අමානුෂික ලෙස තමන්ට අවශ්‍යය දේ ලබාගැනීමට මනුෂ්‍යය හමුදාව ක්‍රියා කරති. ඊට හරස්වන ස්වදේශීකයන් විශාල වශයෙන් ඝාතනයට ලක්වේ. නමුත් ජේක් ගේ නාවික සටන් පුහුණුව "නාවි" ජනයාට ජයග්‍රහණය ලබාගැනීමට උපකාරීවේ.
![]()
මනුෂ්‍යය හමුදාවට දුර සිට සන්නිවේදනය කිරීමට නවීන තාක්ෂණය අවශ්‍යවූවත් නාවි වැසියන්ට ස්නායුක ජාල හරහා සෘජුවම සම්බන්ධ වීමට ජීව විද්‍යාත්මකව හැකියාවක් ඇත. ඒ වගේම පියාසර කිරීම සදහා ටෝරුක් සතුන් පාවිච්චි කරති. ටොරුක් යනු පැන්ඩෝරා හි යෝධ පියාඹන විලෝපිකයා වන අතර, නාවි ජාතිකයින් විසින් පූජනීය ලෙස සලකනු ලබයි. එය පැදවීමට දක්ශ කෙනා ජනප්‍රිය වීරයෙකු (ටොරුක් මක්ටෝ) ලෙස පිලිගනිති.
අවසානයේ නාවි ජාතිකයින් පෘතුවි හමුදාව පරාජයකොට එලවා දැමීමට සමත්වේ. කුඩා විද්‍යාඥයින් කණ්ඩායමක් හැර, දිවි ගලවා ගත් මිනිසුන් පැන්ඩෝරා වෙතින් නෙරපා හරිනු ලැබේ. නෙයිට්රි (ජේක්ගේ බිරිඳ) විසින් කර්නල් ක්වාරිච් මරා දමයි. පැන්ඩෝරාවේදී උපතලැබූ කර්නල් වරයාගේ පුතාවන “ස්පයිඩර්” පැන්ඩෝරාවේ අතහැරයාමට සිදුවේ. ඒ කුඩා ළමයි දීර්ඝලෙස නිදිගන්වා අභ්‍යවකාශ යන්ත්‍රයන්හි ගෙන යා නොහැකි නිසාය. ජේක් නාවි චාරිත්‍රයක් හරහා ඔහුගේ විඥානය මිනිස් සිරුරෙන් ඔහුගේ අවතාර ශරීරයට ස්ථිරවම මාරු කරයි. එමගින් ඔහු සම්පූර්ණයෙන්ම මිනිස් යටත් විජිතවාදීන්ගෙන් වෙන්වෙයි.
අවතාර් දෙවන කොටස (The Way of Water)
මෙම කොටසෙන් නිරූපණය වන්නේ නිස්සාරණ කාර්මික ධනවාදයේ (unobtanium පතල් කැණීම) සිට පසුකාලීන මූල්‍ය ධනවාදය දක්වා වන මාරු වීමයි, එහිදී වටිනාකම තවදුරටත් ප්‍රධාන වශයෙන් සම්පත් හෝ ශ්‍රමය තුළ නොව, කුලිය, සමපේක්ෂනය සහ ජීවිතය තුළම පවතින බව පෙන්නුම් කරයි. මෙය තීරණාත්මක පරිණාමයකි, සහ දේශපාලනිකව, එය වඩාත් අඳුරු ය. ප්‍රධාන වෙළඳ භාණ්ඩය වන්නේ "අම්රිතා" වන අතර එය තුල්කුන් නැමති තලමසුන් වැනි මුහුදේ ජීවත්වන විශාල ශරීරයක් ඇති බුද්දිමත් ජීවියාගේ මොළයෙන් උපුටා ගන්නා ලද දියරයකි. එය මිනිසාගේ වයසට යාම නැවත්වීමට නොහොත් අමරණීය වීමට යොදාගතහැකි වටිනා ජීව විද්‍යාත්මක ද්‍රවයකි. පෘතුවියේ ධන කුවේරයන්ගෙන් ඊට විශාල ඉල්ලුමක් ඇත. මෙය සම්භාව්‍ය සූරාකෑමේ සිට ජෛව ධනවාදයට මාරුවීමක් නියෝජනය කරයි. එහිදී ජීව විද්‍යාව, දීර්ඝායුෂ සහ විඥානය පවා සමුච්චය වීමේ ස්ථාන බවට පත්වේ.
![]()
ජේක් තම පවුලේ ආරක්ශාව සදහා වනාන්තරය අතහැර යාමට තීරණය කරන්නේ තමන් අල්ලාගෙන යෑමට තවත් හමුදා ඛණ්ඩයක් පෘතුවියේ සිට පැමිනීමත් සමගයි. ඔහු සාගරය පදනම් කරගෙන ජීවත්වන නාවි ජන කොටසක්වන “මෙට්කයිනිනා” වංශයේ ආධාර පතයි. ජේක්ට ආරක්ශාවදීම තුලින් තම ජන කොටසද විශාල අවදානමකට ලක්වන බව දන්නා මෙට්කයිනා නායකයා මුලදී ඊට අකැමැත්ත පලකලද පසුව ජේක්ට සහ ඔහුගේ පවුලට එහි පදිංචිවීමට ඉඩ සලසයි. වනාන්තර ආශ්‍රිතව ජීවත්වූ ජේක් සහ පවුලේ අයට ජලයේ ජීවත්වීම විශාල අභියෝගයක් බවට පත්වේ. එහෙත් ඉතා කෙටි කාලයකින් ජලයේ ජීවත්වීමට අවශ්‍ය කුසලතා දියුනු කරගැනීමට ඔවුන් සමත්වේ. මේ අතර පැන්ඩෝරාවේ අතහැර ගිය “ස්පයිඩර්” ජේක්ගේ ළමයින් සමග මිතුරු වේ. ඔහු නාවි චාරිත්‍ර ගරු කරන අතර ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳ දැඩි කුතුහලයක් පෙන්නුම් කරයි. ස්පයිඩර් ජේක්ගේ පවුලේ හදාගත් දරුවකු ලෙස ජීවත්වේ. ඔහු පවුලේ රැස්වීම්, වික්‍රමාන්විතයන් සඳහා සහභාගී වන අතර ජේක් සහ ඔහුගේ පවුලේ අය විසින් පවුලේ කෙනෙකු මෙන් ආරක්ෂා කරනු ලැබේ.
තුල්කුන් යනු ටොරුක් (පළමු චිත්‍රපටයේ අහස් විලෝපිකයා) ට සමාන නමුත් මෘදු, වඩා අද්භූත සහ ජල නාවි සංස්කෘතියට ගැඹුරින් බැඳී ඇති සත්වයෙකි. මුහුදේ සිටින සාමකාමී බුද්ධිමත් තුල්කුන්වරුන් සමග සමීපව ජීවත්වන මෙට්කයිනා වාංශිකයින් ඔවුන්ගෙන් ආරක්ශාවද ලබති. තම වර්ගයෙන් පිටමං කරන ලද "පයාකන්" නැමති එක් තුල්කුන් කෙනෙකු ජේක් සුලීගේ පුත්‍රයාවන ලෝක් සමඟ බැඳීමක් ඇති කරගනී. පයාකන් පිටමං කරන්නේ ඔහු තම වර්ගයේ අවිහිංසාවාදය කඩකරමින් මනුෂ්‍යය ඝාතනයකට සම්බණ්ධවූ බවට ලැබූ චෝදනාවක් නිසාය. ලෝක් සමග මිත්‍රවන පයාකන් තමා ඒ මිනීමැරුමට සම්බන්ධ නොවන බව පහදාදෙයි. ලෝක් ඒ බව මෙට්කයිනා නායකත්වයට පහදාදුන්නත් ඔවුන් එය පිලිගැනීමට මැලිවේ. කෙසේවෙතත් ලෝක්ට සාගරවල සැරිසැරීමට පයාකන් උදව් කරන අතර අවසානයේ මිනිසුන්ට එරෙහි සටන්වලට සහාය වේ.
ජේක්ව සොයාගෙන පැමිනෙන මිනිස් හමුදා කණ්ඩායම මෙහෙයවන්නේ මුලින් පැමිනි කර්නල්වරයාවන මයිල්ස් ක්වාරිච්ය. පලමුවන කොටස අවසානයේදී මියගිය කර්නල් වරයා නැවත පැමිණෙන්නේ ප්‍රතිසංයෝජකයෙකු ලෙසයි. මේ මුල් ක්වාරිච් නොව, නැවත නැඟිටුවනු ලැබූ ජානමය සහ මතක පිටපතකි. මිනිස් ක්වාරිච් මිය ගිය නමුත් ඔහුගේ පිටපත ජීවමානය. ඔහු තවදුරටත් දුරස්ථව පාලනය නොවීම විශේෂය. කර්නල් මයිල්ස් ක්වාරිච්ගේ පුත්‍රයා වන ස්පයිඩර් නිරූපණය කරන්නේ ලෝක දෙකක් අතර සිරවී සිටින මිනිස් යෞවන පරම්පරාවයි. මේ විනාශයේ නිරීක්ශකයන් වන ඔවුන් සාමකාමී සහජීවනයක් සදහා මැදිහත්වීමට උත්සාහ දරති.
![]()
මෙට්කායිනාවරුන් පොදු දේ මත පදනම් වූ සමාජයක් නියෝජනය කරයි. සාගරය කිසිවෙකුටත් අයිති නැත. එය බෙදාගෙන, නියාමනය කරන්නේ සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් මගිනි. නමුත් මූල්‍ය ධනවාදයට පොදු දේ ඉවසිය නොහැක. සියල්ල මිල කළ යුතුය. සියල්ල වෙළඳාම් කළ හැකි විය යුතුය. සියල්ල ප්‍රතිලාභ ජනනය කළ යුතුය. ජේක් තවදුරටත් විප්ලවවාදී නායකයෙක් නොවන අතර ඔහු නිරන්තරයෙන් පලා යන අවතැන් වූ යටත්වැසියෙකි. මෙය නව යථාර්ථයක් පිළිබිඹු කරයි. මූල්‍ය ධනවාදයට විරුද්ධ වන අයට පවා ස්ථිර අනාරක්ෂිත බවක් ඇති කරයි. සතුරා භූමිය අත්පත් කර නොගෙන ප්‍රාග්ධනය මෙන් ගලා යන විට විප්ලවය දුෂ්කර වේ. අවතාර් දෙවන කොටස වඩාත් අශුභවාදීය. මූල්‍ය ධනවාදය පහසුවෙන් බිඳ වැටෙන්නේ නැත. එය ඉදිරියට යයි, නව මායිම් සොයා ගනී, සහ සම්පත් සූරා කෑම දිගටම කරගෙන යයි. සතුරා තවදුරටත් ධජයක් හෝ හමුදාවක් නොවේ, මධ්‍යස්ථානයක් නොමැති පද්ධතියකි.
අවතාර් තුන්වන කොටස
අවතාර් තුන්වන කොටසේදී පැන්ඩෝරාවේ වෙසෙන තවත් ජනකොටසක් වන "අළු ජනතාව" නොහොත් "ගිනිකඳු පරිසරයකින් හැඩගැසුණු" නාවි ජනකොටසක් හඳුන්වා දෙයි. ඔවුන් සදාචාරාත්මකව අපැහැදිලි සහ කෲරත්වයට නැඹුරුවක් ඇති අයයි. ඔවුන් වනාන්තර හෝ මුහුදු වංශ මෙන් නොව විනාශය, ගින්න, අලාභහානි වැනිදේ මගින් හැඩගස්වා ඇති ජන කොටසකි. දේශපාලනිකව, මෙය ඉතා වැදගත් වේ. එය රොමැන්ටික් සහ හැඟීම්බර ප්‍රතිරෝධයෙන් ඉවත් වී ගැටුම පිළිබඳ වඩාත් භෞතිකවාදී අවබෝධයක් කරා තල්ලුවී යෑමකි.
![]()
සතුරා යුධමය වශයෙන් පරාජයකලත් තම වැඩිමහල් පුතු සටනේදී මියයාම නිසා ජේක්ගේ පවුල ශෝක වෙමින් සිටී. එය පවුලේ සමගියට බාධා ඇතිකරයි. ඒ සමග මෙට්කයිනා වංශිකයන් ජේක් සහ පවුලේ අය තම වාංශිකයින් ලෙස පිලිගනී. ජේක් තවදුරටත් පලායෑම විසදුමක් නොවන බව තේරුම් ගෙන මෙට්කයිනාවල ජීවත්වීමට තීරණය කරයි.
ජේක් අල්ලාගෙනයෑමට නැවත පෘතුවියෙන් හමුදාවක් පැමිනෙන අතර එහි නායකත්වය ගන්නේද මයිල්ස් ක්වාරිච් කර්නල් වරයාගේ අවතාරයයි. ඉතා කපටිලෙස අළු ජනතාව සමග ගිවිසුමක් ඇතිකරගන්නා ඔහු ඔවුන්ට අවි ආයුධ සැපයීමට පොරොන්දුවන අතර ජේක් අල්ලාගැනීමට සහ තුන්කුන් දඩයමට ඔවුන්ගේ සහයෝගය ඉල්ලා සිටී. මෙම සන්ධානය නිසා මෙවර සටන බාහිර සතුරා සමග කරන සටනෙන් ඔබ්බට ගිය බිහිසුනු අභ්‍යන්තර සටනක් බවට පරිවර්තනය වේ. අවසානයේ ඒකාබද්ධ බලවේගය පැරදවීමට මෙට්කයිනා වරුන්ට හැකිවුවත් ප්‍රචණ්ඩත්වයේ කෙලවර කුමක්ද යන්න ප්‍රශ්නයට ලක්කෙරේ. යුධෝපකරණ මගින් භෞතිකව බේරීමට හැකි නමුත් යුද්ධයෙන් වන අධ්‍යාත්මික හානිය සහ එහි සදාචාරාත්මක බව ප්‍රශ්න කෙරේ. මර්දනය ස්වයංක්‍රීයව ගුණධර්ම ඇති නොකරන අතර යටත් විජිත ප්‍රචණ්ඩත්වය සමාජ අභ්‍යන්තරව බිඳ දමන බව පෙන්වයි. සම්පත් හිඟය සහ සමාජ කම්පනය පීඩිතයන් අතර පවා ඒකාධිපති සංස්කෘතීන් ජනනය කරයි. සතුරා තවදුරටත් "මිනිසුන්" පමණක් නොව, විවිධ ජනකොටස්, සංස්කෘතීන් හරහා ප්‍රචණ්ඩත්වය ඇති කරන පද්ධතියකි.
![]()
"ගිනි නාවි" ජනකොටස ධනවාදයේ කක්ෂයෙන් පිටත සිටින කොටසක් නොවේ. ඔවුන් හැඩගස්වා ඇත්තේ පාරිසරික බිඳවැටීම, සම්පත් හිඟය, ස්ථිර යුද්ධ යනාදියෙනි. මෙය ධනවාදය පරිධියේ ප්‍රතිගාමී බලවේග වන යුධ නායකයින්, මිලීෂියා, ජනවාර්ගික ජාතිකවාදීන් ආදිය ඇතිකරන ආකාරය පිළිබිඹු කරයි. අධිරාජ්‍යය තවදුරටත් තමන්ගේ මැදිහත්වීම සාධාරණීකරණය කිරීමට මේ බලවේග යොදා ගනී.
පීඩකයාට එරෙහිවන ප්‍රතිරෝධයම ප්‍රචණ්ඩකාරී සහ විනාශකාරී වේ. ජේක්ට මේ අපහසුකාරී සත්‍යයට මුහුණ දීමට සිදුවේ. මෙය සැබෑ අධිරාජ්‍යය විරෝධී සටනේදී පොදු සතුරා දුර්වල වූ පසු බිඳෙන සැබෑ ලෝකයේ අරගලය පිළිබිඹු කරයි. ප්‍රශ්නය ප්‍රතිරෝධයෙන් පසු අධිරාජ්‍යය ප්‍රතිස්ථාපනය කරන්නේ කුමක්ද යන්නයි ? පැවැත්මට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නම්, ශිෂ්ටාචාරයකට තවමත් තමන් සාමකාමී යැයි කිව හැකිද? නව ආචාර ධර්ම පද්ධතියක් මතු නොවන්නේ නම්, ධනවාදය ප්‍රතිරෝධයම විෂ කරන බවත්, වින්දිතයින් ප්‍රචණ්ඩත්වයේ නියෝජිතයන් බවට පත් කරන බවත් අපට පවසයි.
ඇමරිකානු අධිරාජ්‍යයේ පරිහානිය සඳහා බලගතු උපමාවක් ලෙස අවතාර් කියවිය හැකිය, ඒ හදිසි බිඳවැටීමේ අර්ථයෙන් නොව, සදාචාරාත්මක, ආයතනික සහ ආධිපත්‍යවාදී පිරිහීමක් ලෙසයි. සම්භාව්‍ය ඇමරිකානු මිථ්‍යා කථා වල, බලය සාධාරණීකරණය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසි අයිතීන් සහ නීතියේ ආධිපත්‍යය හරහා ය. අවතාර් හි, එම පරමාදර්ශ නොමැත. කොංග්‍රසයක් නැත, උසාවි නැත, මහජන විවාදයක් නැත. RDA විසින් පැන්ඩෝරා සෘජුවම බලයෙන් පාලනය කරයි. මෙය ඇමරිකානු දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයේ සිට ආයතනික පාලනය දක්වා මාරුවීමක් පිළිබිඹු කරයි.
![]()
යුද්ධය, සම්පත් සහ මිනිස් ජීවිත පිළිබඳ තීරණ තවදුරටත් පොදු තේරීම් ලෙස නොව ව්‍යාපාරික අවශ්‍යතා බවට පත්වී ඇත. දේශපාලනය කළමනාකරණය කිරීමකටද, ප්‍රචණ්ඩත්වය සැපයුම් අවශ්‍යතාවයක් බවට පත්වේ. මෙය පශ්චාත් සීතල යුද්ධ ඇමරිකානු බලය පිළිබිඹු කරයි, එහිදී මිලිටරි මැදිහත්වීම් යුක්ති සහගත කරන්නේ දෘෂ්ටිවාදයෙන් (නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය) නොව වෙළදපොල සහ සැපයුම් දාම වල ස්ථාවරත්වය මගිනි. ඇමරිකානු බලය වරක් සදාචාරාත්මක ආඛ්‍යානය මත දැඩි ලෙස විශ්වාසය තැබීය (විමුක්තිය, ප්‍රගතිය, ශිෂ්ටාචාරය). අවතාර් හි මෙම ආඛ්‍යානය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත. කර්නල් ක්වාරිච් ඒ බව තවදුරටත් මවාපාන්නේ නැත. ඔහු භීෂණය, කම්පනය සහ සමූලඝාතනය ගැන විවෘතව කතා කරයි.

අද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හැසිරෙන්නේද මේ ආකාරයටය. ඔහු ජාත්‍යයන්තර සංවිධාන, නීති රීති, ප්‍රතිපත්තීන් නොතකා හිතුමතේට වැඩ කරයි. දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමෙන් ඉවත්වූ ට්‍රම්ප් පොසිල ඉන්ධන කැනීම් දිරිමත් කරයි. පරිසර විනාශය නොතකා හරී. විරුද්ධ මතදාරීන්ට විවිධ චෝදනා එල්ල කරයි, බිය ගන්වයි. තමන් වැනි ඒකාධිපතියන් වර්ණනා කරයි. වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහරගෙන යන ඔහු වෙනිසියුලාවේ ඛනිජ තෙල් තමන්ට අවශය බව එලිපිටම පවසයි. අනිකුත් අසල්වැසි රටවල් ආක්‍රමණය කරන බවට වහසි බස් දොඩවයි. ඔහුට අනුව මේ සියලුදේ ව්‍යාපාර ගණුදෙනුය. මෙම සෘජු බව අධිරාජ්‍යයේ අවසාන අදියරේ දේශපාලනය පිළිබිඹු කරයි. නීත්‍යානුකූලභාවය ඛාදනය වූ විට, ප්‍රචණ්ඩත්වය අවංක වේ. බලය තවදුරටත් කැමැත්ත සොයන්නේ නැත. එය යටත් වීම සොයයි. මෙය අධිරාජ්‍ය පරිහානියේ සම්භාව්‍ය ලකුණකි. ඇමරිකානු පරිහානිය බලය අහිමි වීම ගැන නොව එහි නීත්‍යානුකූලභාවය අහිමි වීම ගැන බවට අවතාර් අපට පවසයි. නීත්‍යානුකූලභාවය නැති වූ පසු, අතිමහත් බලය පවා බිඳෙන සුළු වේ.

(සටහන | අජිත් රාජපක්ෂ)
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)








