පිටවුණු සැණින් එසැණින් එනම් පසුගිය එකොළොස් වෙනිදා රාත්‍රී 8.45 ට මහරගම ඇමිටි ශාලාවේදී Father නැරඹූවේ එය මා කැමති political crime thriller genre චිත්‍රපටයක් හා Gen Z නියෝජනයක් වූ මගේ පුතුගේ උවමනාව මතය.
මේ මට දැනුණු Father ය. මං වින්ද Father ය. මට පෙනුණු Father ය.
චිත්‍රපට ශාලාවට යන තෙක්ම මං ඔස්මන්ගේ පැටිකිරිය දන්නේ නැත. ඩෙස්මන්ගේ පැටිකිරියද දන්නේ නැත. නමුත් සත්‍ය මත පදනම් වූ කතාවක් බව දැන සිටියෙමි. මුල් රූප රාමු කිහිපය තිරයේ දිග ඇරෙන විට, කණ අසලින් ශබ්දයේ දෝංකාරය ඇසෙන විට චිත්‍රපටයේ ප්‍රොඩක්ෂන් කොලිටිය පිළිබඳව හොඳ සහතිකයක් හදවතේ ලියවුණි. චිත්‍රපටයේ අතීත සිද්ධි ගෙනහැර දැක්වීම තෙක් ළඟ ළඟ ඡේදනය වූ රූප රාමු කියාපෑවේ සංස්කරණ ශිල්පියාගේ දක්ෂතාවයයි. එතෙක් කැමරාව හැසිරුණු ආකාරය , සෞම්‍යගේ මුහුණේ හැඟීම් නිරූපණ සහිත සමීප රූප රාමු, කැමරා කෝණ මගින් චිත්‍රපටයට කැමරාවේ ආලෝකය කෙතරම් බලපා තිබේදැයි ප්‍රේක්ෂකාගාරයට දැනේ. දිල්හානිගේ රංගනය කෙටි වුවද මා හදවතින් කෙඳුරුවේ " වාව් දිල්හානි නියමයි " ලෙසින්ය. අතීතාවර්ජනයට පෙර රූප රාමු, පසුබිම් කථන හා ශබ්දයන් හරහා අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාට ත්‍රාසජනක අත්දැකීමකට ආරාධනා කරයි.
පවුල් සංස්ථාවට ආදරය කරන පවුල හා බැඳුණු පොහොසත් ඩෙස්මන් ( පොහොසත් වූ අන්දම චිත්‍රපටයේ නැත ) අතීතයට පියමන් කරයි. ග්‍රාමීය ජන ජීවිතය තුළ සහෝදර බැඳීම්, දූ දරු මාපිය සබඳතා , තරුණ කල්ලි ගැසීම් හරහා මානවීය සබඳතා වෙනුවෙන් රූප රාමු කීපයක් වැය වී ඇත. හමුදාවට යන්නට "පපුව මදි " ලෙසින් සිතන අහිංසක ඩෙස්මන් ඥානේ නම් දේශපාලන හයිය සහිත චණ්ඩියෙක් නිසා මිනීමරුවෙක් වී සිපිරි ගෙට නියම වේ. සිපිරි ගෙදරදී සමලිංගික සුරාජ් මාපාට ගේම ඉල්ලන ඩෙස්මන් හිරෙන් නිදහස් වූයේ කෙසේද යන්න මට ඇති වූ ප්‍රශ්නයකි. තිර රචකයාට ඩෙස්මන්ව හිරෙන් එළියට ගැනීමට හදිස්සියක් තිබුණා යැයි මට සිතුණි. එය ප්‍රේක්ෂක විශ්වාසය තිර රචකයාගෙන් බැහැර වූ අවස්ථාවකි.
අසූ තුනේ කළු ජූලිය පෙන්වයි. UNP පාක්ෂිකයකු වූ ඥානේ "බුදු සරණ " බෝඩ් ගැසූ ලොරියක මංකොල්ල කෑ වස්තුව UNP මන්ත්‍රී වූ මයිකල්ට ගෙනවිත් දෙයි. ඩෙස්මන්ගේ මව වූ චාන්දනී සෙනෙවිරත්න "තාත්තා තවම ආවේ නෑ" ලෙසින් පවසන විටම, ඩෙස්මන්ඩ් හමුවීමට තවත් පියෙක් පැමිණේ. ඒ ද්‍රවිඩ පියෙකි. ඔහු එන්නේ මල්වර වූ දියණිය සුරාජ් මාපාගෙන් බේරාදෙන ලෙස ඉල්ලීම් කිරීමටය.කතා දෙකක් නැත. ඩෙස්මන් අතින් සුරාජ් මාපා පරලොව යැවේ. යාන්තමින් ඉන්ටවල් එකෙන් පසුව ( මතක ලෙස) වවුල් කැලේ සිද්ධියට ප්‍රේක්ෂකයාව යොමු කරයි.
සමස්ත චිත්‍රපටය පුරාම මට දැනුනේ මා චුන් පාන් ත්‍රී විලරය පසුපස හඹා යනවා වැනි හැඟීමකි. මට හිතන්නට කාලයක් නැත. එකිනෙකට මනා ලෙස සම්බන්ධතා නැති රූප රාමු වේගයෙන් දිවේ. මා හතිලමින් චිත්‍රපටය අල්ලා ගැනීමට වෙහෙසුණෙමි. නතර විය යුත්තේ කොතනදැයි නිශ්චිත නැත. ඥානේ මැරෙන තෙක් චිත්‍රපටයේ වැඩි ඉඩක් ලබාදී තිබුණේ ඩෙස්මන්ට නොව ඥානේටය. අවසානයේ යුක්තිය ඉටු නොවනා තැන නීත්‍යානුකූල නොවන අන්දමින් වැරදිකරුවන්ට දඬුවම් දෙමින් අලුත් චරිතයකට ද ඉඩ දෙමින් සුන්දර රූප රාමුවකින් හා ප්‍රේක්ෂකයා ෆෝම් කරන දෙබසකින් චිත්‍රපටය අවසන් වේ.
චිත්‍රපටයේ මා දකින උසස්ම ගුණය පසුතල නිර්මාණයයි. අතීතකාමය අවුස්සමින් 1976 සිට අනූව දශකයේ මුල දක්වා අප කැඳවාගෙන යාම ප්‍රශංසනීය බව කිව යුතුය. මයිකල්ගේ ග්‍රාමීය මධ්‍යම පාන්තික නිවස, ජේ. ආර්. ගේ විසල් කටවුට්, මයිකල්ගේ නිවසේ එක පෙළට ගැසූ UNP පින්තූර, අශෝක වීදුරු, අලියා ගිනිපෙට්ටි, තීරෝස් දුම් වැටි, දඩයම පෙන්නන ගාමිණී හෝල් එක, වතුර බොන කෝප්ප, වාද බයිලා, ගෑනු ළමයින්ගේ ගවුම් ස්ටයිල් , අසූවේ මගුල් ගෙවල්, අංක කරකවන දුරකථන මගින් පෝස්ට් ඔෆිස් වලින් ටෙලිෆෝන් කෝල්ස් ගැනීම, වාහන ආදී සියල්ල තුළින් අදාළ කාල පරාසය මනාවට නිරූපණය කර තිබුණි. පැණි පාට යටින් කට්ට සහිත වීදුරු දකින විට මා පුතුගේ කනට කර කීවේ, " අර වීදුරු ඉස්සර අපේ ගෙදරත් තිබ්බා" යනුවෙනි.
චාමරගේ ගීතය ඇසෙන විට හා ඒ හා බැඳුණු රූප රාමු දකින විට ධමනි, ශිරාවල රුධිර ගලනය වේගවත් වූ බව කිව යුතුය. සංගීතය හා background sounds චිත්‍රපටයේ ගුණාත්මක භාවය ඉහළ දමයි. සංකේත භාවිතය ප්‍රශස්තය. ඩෙස්මන් ඥාති නිවසේ සිට නැවත ගමට එන්නට සිතන මොහොතේ චිමිනි ලාම්පුවේ දැල්ල අඩු වැඩි කරමින් අවසානයේ ලාම්පුව නිවා දමයි. ඔහු සිතුවිලි අතර ගැටෙමින් අවසන් තීන්දුව ගනියි. ඥානෙට විචිත්‍රවත් ඇඳුම් මෙන්ම සුදු පැහැති ඇඳුම් ද අන්දවා තිබුණි. සුදු වර්ණය දෙබිඩි ව්‍යාජත්වයේ සංකේතයයි. මයිකල්ට දැන දැන බොරු ඇසෙන සෑම මොහොතකම අභ්‍යන්තර සිතුවිලි ගැටුම නාසය හකුළුවාලෙමින් පෙන්වයි. අසූ තුනේ මංකොල්ල කෑ භාණ්ඩ ප්‍රවාහනය වන්නේ "බුදු සරණයි "ලෙස බෝර්ඩ් ගැසූ ලොරියකිනි. ප්‍රතිවිරුද්ධ සංකල්ප ගෙනහැර දැක්වේ. ඩෙස්මන්ගේ ආගමික භක්තිය හා චිත්ත අභ්‍යන්තරයේ සංසුන් බවත්, පසුතැවිල්ලත් නිරූපණයට ප්‍රබලව සංකේතාර්ථයෙන් අවැසි තැන පෙනෙන ආගමික මුහුණුවරක් ගත් මනෝමය කුඩා දරුවාගෙන් නිරූපණය වන බව මට හැඟේ.
චිත්‍රපටයේ පසුබිම් කථනය සහ දෙබස් ප්‍රබලය.
" දෙමාපියන්ගේ වලට පස් ටික දාන දවස වෙනකල් දරුවෝ යහතින් හුස්ම ගන්න ඕනි මයේ පුතේ "
දැණුනු මාතෘත්වයයි.
සුරාජ් මාපා හිතන තැන ගැන ඩෙස්මන්ගේ වචන හරහා සුරාජ්ගේ චරිතයේ ස්වභාවය වචන කීපයකින් කියවේ. සීරියස් ෆිල්ම් එකක් ඇතුලේ comedy dialogues එකතු වීමද ප්‍රශස්තය.( චිත්‍රපටයේ කලාත්මක ගති ලක්ෂයන් ද සහිතය. ) පොලිසියේ තණකොළ නැත. ඒවා සනත් විමලසිරි වේලාසන ගලවා දමා ඇත.
චිත්‍රපටයේ සංවේදනා දනවයි. වවුල් කැලේ සිද්ධියේදී මා දෑස පියා ගතිමි. නැවත දෑස් විවර කළේ රතුගාමිණී ( රතු ගාමිණී යනු බේරුණු නිදහස් පාක්ෂිකයෙකි. ඔහු ප්‍රදීප් හපන්ගමගේ ආධාරකරුවෙක් බව චිත්‍රපටයේ කියන්නට අධ්‍යක්ෂවරයාට අමතක වී තිබුණි ) ගසට නගින දර්ශනයේදීය. පසුබිමෙන් පාර්ලිමේන්තු ප්‍රශ්න කිරීම් අතරතුර රතු ගාමිණී ගසට බඩ ගාන දර්ශනය මා චිත්‍රපටයේ දුටු සංවේදීම දසුන වේ.
චිත්‍රපටයේ තරුණ ඩෙස්මන්ට මල් මිටකි. අනාගතය සුභය. පැහැදිලිය. ඥානේ මලයාලම් දුෂ්ටයාගේ සෙවනැලි මවමින් රඟයි. බිමල්, සෞම්‍ය ලියනගේ, සරත් කොතලාවල, ශ්‍යාම්, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, දිල්හානි යන පරිණත නළු නිළි පෞරුෂයද එතරම් පරිණත නැති නමුත් චරිත තුළ පරිණත බව පෙන්වූ සෙසු චරිතද සිනමා පටයේ සාර්ථකත්වය වෙනුවෙන් මහත් වූ දායකත්වයක් සපයයි.
production quality ඉතා ඉහළය. නමුත් ඉහත සඳහන් සියලු ගුණාංගයන් රඳා පවතින්නේ තිර නාටකය නම් අත්තිවාරම මතය. මට තිරරචනය සෙට් නැත. father එල්ලය දෙන්නේ වවුල් කැලේට නොවේ. father එහෙ මෙහේ දුවයි. වවුල්කැලේ සිද්ධිය ඒම් කෙරුවා නම් ඔයිට වඩා ප්‍රබලව ඩෙස්මන්ගේ චරිතය සංවර්ධනය විය යුතුය.
වවුල් කැලයට එන්නට පෙර සිද්ධි දාමයක් පෙන්වයි. ඒ අධ්‍යක්ෂවරයාගේ, තිර රචකයාගේ කැමැත්ත, අභිලාශයන් විය හැකිය. ඒවා එකිනෙක සමඟින් ලින්ක් වෙන ගතිය ඉතා දුර්වලය. ප්‍රේක්ෂකයා අවධානය දිය යුත්තේ වවුල් කලේ සිද්ධියට ද? නොඑසේ නම් UNP දේශපාලන මඩගොහොරුවටද ? ඩෙස්මන් දේශපාලන මඩ ගොහොරුවකට අයත් නැතිද? ඔහු එතරම් අහිංසක ද? සුදුම සුදු පාටද ? මේ සුදු ළූණු පොඩි කරන්නේ බුද්ධිමත් ප්‍රේක්ෂකයාටද? මුල් කාලයේ දාමරිකයකු බිහිවන්නට තරම් ඩෙස්මන්ට ප්‍රබලව අකටයුතුකම් සිදු වූයේද? ඩෙස්මන්ගේ පවුලේ කෙනෙකු මිය යන්නේ මඟුල් ගෙදරින් පසුවය. ඒ දක්වා එන විට ඔහු දාමරිකයෙකු වී අවසන්ය. ඩෙස්මන්ට දාමරිකයයෙක් වන්නට තරම් ප්‍රබල අසාධාරණකම් චිත්‍රපටය තුළ මතු නොවේ. ඩෙස්මන්ගේ character එක තව දුරටත් සංවර්ධනය විය යුතුය. UNP යේ පැටිකිරිය ඔබන්නට ගොස් ඩෙස්මන්ට තිබූ අවස්ථා මඟ හැරී ඇත. එහෙයින් චිත්‍රපටයෙන් කුතුහලය පලා ගොස් ඇත. සියලු නම් ගම් සත්‍ය ලෙස යොදා ඔස්මන් පමණක් ඩෙස්මන් වූයේ මන්දැයි නොදනිමි. නමුත් තිරයේ දුටු ඩෙස්මන් ගම්පහ ඔස්මන්ම නොවන බවත් ගම්පහ ඔස්මන් යනු අධ්‍යක්ෂවරයා පෙන්නූ ඩෙස්මන්ම නොවනා බවත් පැහැදිලිය.
චිත්‍රපටයේ සාමාජීය බලපෑම
මෙම චිත්‍රපටය සියයට සීයක්ම ප්‍රොපගැන්ඩාය. අධ්‍යක්ෂවරයා දරණ දේශපාලන මතවාදය සමාජය තුළ ස්ථාපිත කිරීම උදෙසා ඒ වෙනුවෙන් කිසියම් බලපෑමක් කිරීමට නිර්මාණය තුළින් දායකත්වය සැපයීම අධ්‍යක්ෂකවරයාගේ අරමුණ වේ. ඔහු රූපය හරහා දේශපාලන අන්තයක සිටිමින් නිර්මාණයක් ප්‍රේක්ෂකාගාරයට තිළිණ කර ඇත. එය ඔහුගේ නිර්මාණාත්මක අයිතියයි. එහි තර්කයක් නැත.
ප්‍රේක්ෂකාගාරය කණ්ඩායම් ගත කළහොත් මා අයත් වැඩිහිටි ප්‍රේක්ෂාගාරය හා මගේ පුතු අයත් Gen z කණ්ඩායම මෙම චිත්‍රපටය වැළඳ ගනී.
චිත්‍රපටය මා අයත් කණ්ඩායම හැත්තෑව අග සිට අනුව දශකය හරහා ඔස්මන් මරා දමන්නට තැත් කරවූ නූතන අවස්ථාව දක්වා කැඳවාගෙන එයි. අපේ අතීත මතකය අලුත් කරවයි. අතීත කාමය අවුස්සවයි. ඉහතින් මා කීවාක් මෙන් කලා අධ්‍යක්ෂකවරයා එකී කාර්ය ඉහටත් උඩින් සිදු කර තිබේ. පුද්ගලිකව මට ඇත්තේ අසු අට අසූ නමය ගැන මිශ්‍ර හැඟීම් සමුදායකි. ඒ මා දුටු මා කියවූ දේ හරහා ගොඩනැගුනකි. හය වසරේ කුඩා දැරියක ලෙස වේල්ස් කුමරි විද්‍යාලයේ මල් ගසකට මුවා වී කුමර කුමරියෝ වේල්ස් කුමාර පිට්ටනියේ " අපේ චාමර අපිට දියව් " "අපේ කමල් අපිට දියව් " යනුවෙන් සටන් පාඨ කියවමින් පිට්ටනිය වටා අරගල කළ අයුරු නැරඹුවෙමි. ටයර් සෑ උඩ මිය ගිය තරුණ සිරුරු දුටිමි. කටුබැද්ද ඩිපෝවේ කළුවී අඟුරු වූ ලංගම බස් රථ දුටිමි. පාසැල් නොගොස් මාස ගණන් ගෙදරට වී සිටියෙමි. සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ විජය කුමාරතුංග, ප්‍රේමකීර්තිද අල්විස්, රිචඩ් ද සොයිසා වැනි මා ආදරය කළ කලාකරුවන් කවුරුන් හෝ මරා දමද්දී කම්පා වූයෙමි. අනූව දශකයේ දිවයිනේ පළ වූ ඇඹිලිපිටියේ පාසල් සිසුන් තිස්එක් දෙනා මැරූ විශේෂාංග ලිපිය ඇතුළු ඒ භීෂණ යුගය පුවත්පත් අකුරු මතින් කියවද්දී කම්පා වූයෙමි. වධකාගාරවල සැබෑව හෙළි කළ "එළියකන්ද වද කඳවුර " වැනි කෘතීන් කියවා කම්පා වූයෙමි. ඒ සියල්ල තුළින් මා තුළ ගොඩනැගී ඇති මිශ්‍ර මතවාදයට මෙම චිත්‍රපටය තුළින් කිසියම් බලපෑමක් කිරීමේ හැකියාවක් නැත. එසේම මා මෙන්ම මේ අතීතය දන්නා, ඒ අතීතයේ වින්දිතයන් වූ දෙපිරිසටම මේ චිත්‍රපටය හරහා විසල් බලපෑමක් සිදු නොවේ.
ඔවුන් නියෝජනය කරන්නා වූ දේශපාලන අන්ත වෙනස් කිරීමට තරම් චිත්‍රපටයේ බලපෑම අඩුය. එක් අන්තයක් හුරේ දමන විට අනෙක් අන්තය චිත්‍රපටයට පලු යන්න බනී.
චිත්‍රපටය තුළින් කිසියම් බලපෑමක් සිදුවන්නේ තරුණ පරම්පරාවටයි. ඔවුන් ඩිජිටල්කරණය වූ පරපුරයි. අතීතය හාර අවුස්සා, පොතපත කියවා මේ පිළිබඳව ගවේෂණය කරන්නට නම් එක්කෝ දේශපාලන උණ තදින් ඇත්තෙකු විය යුතුය. නැතිනම් සාමාජීය කරුණු සොයා යාමේ උණ තදින් වැළඳී ඇති තරුණයකු විය යුතුය. නව පරපුරේ එවැනි පිරිස් අල්පය.
චිත්‍රපටය තුළින් එක් අන්තයක සිට මජර දේශපාලන සන්දර්භය විවරණය කිරීම හරහා තරුණ ප්‍රේක්ෂකයා දකින්නේ එම අන්තයේ වැරැද්දයි. මේ නිසාවෙන් මධ්‍යස්ථව තම මතය තීරණය කිරීමේ හැකියාව ඔවුන්ගෙන් දිලිහී යයි. චිත්‍රපටියේ අසූ තුන කළු ජූලිය ඉතා කෙටි රූප රාමු පෙළක් වෙතින් පෙන්වා එහි අතුරු ප්‍රතිඵලය ඥානේ හා මයිකල් අතර දෙබසින් පෙන්වයි. අසූ තුන කළු ජූලිය නොවිය යුත්තක් බව සැබෑය. චිත්‍රපටයේ එය පෙන්වීමෙන් වරදක් නැත. එකී මංකොල්ලේ විවේචනය කළ යුතුය. නමුත් Gen z දැකගත යුත්තේ ප්‍රතිඵලය පමණක් නොවේ. එයට හේතු සාධකයි. කෙටි කාල පරාසයකට එය සිදු කළ නොහැකිය.
වවුල් කැලේ වධකාගාරය අතිශය සංවේදීව පෙන්වයි. එවැනි අනීතික සමයක බලය අනිසි ලෙස පාවිච්චි කරමින් මිනිස් ඝාතන සිදු කළ අන්දම Gen z දකී. නමුත් එවැනි නීතියෙන් තොර සමයක් නිර්මාණය වූයේ ඇයි? එයට බලපෑ සාමාජයී හේතු දේශපාලන තීන්දු චිත්‍රපටයේ ගැඹුරින් කතා නොකරයි . නමුත් ප්‍රතිඵල පෙන්වයි. හේතු නො පෙන්වයි. Gen z දකින්නේ ප්‍රතිඵල මිස හේතු නොවේ කේවල සිද්ධියක් මත තරුණ අරගලයක හේතු නිවැරදිව ප්‍රක්ෂේපණය කළ නොහැකිය . නමුත් එය ඩෙස්මන් පටලවාගෙන සූක්ෂමව දෙන්නට අධ්‍යක්ෂවරයා උත්සාහ දරා ඇත.
චිත්‍රපටයේ එක් තැනක ඩෙස්මන් මෙසේ කියයි.
"කපන්න ඕනා ඥානෙට පිටුපසින් තියෙන කන්ද"
එහි අදහස ඥානේ යැපෙන ඥානේ සුරකින බලවේගය දේශපාලනය බලය හිමි මයිකල් බවයි. අහිංසක ඩෙස්මන් ( චිත්‍රපටයට අනුව ) පාතාලය නියෝජනය කරන්නේ UNP දේශපාලන බලය හිමි පන්තිය නිසාය . අසාධාරණයට භාජනය කරන සමාජ ක්‍රමය නිසාය. ඩෙස්මන් සැබැවින්ම අහිංසක බව ප්‍රේක්ෂකයා සිතයි. Gen z කණ්ඩායම සිතයි. චිත්‍රපටයේ අවසානයේදීත් ප්‍රේක්ෂකයාට ඩෙස්මන් ගැන දැනෙන්නේ අනුකම්පා සහගත සිතුවිල්ලකි. ඥානෙට දේශපාලන බලය හිමිය. ඩෙස්මන්ට දේශපාලන බලය අහිමිද ? ඔහු ජපන් ගියේ කෙසේද ? ඔහු පාතාල නියෝජිතයෙක් වූයේ කෙසේද? අධ්‍යක්ෂකවරයා අපට පෙන්වන ජරා ජීර්ණ දේශපාලනයේ රැකවරණය ඩෙස්මන්ට නොලැබුණේද? ඥානෙට රැකවරණය දුන් දේශපාලන හස්තය පෙන්වන අධ්‍යක්ෂකවරයා ඩෙස්මන්ට දේශපාලන රැකවරණය දුන් දේශපාලන හස්තය අපෙන් සඟවයි. Gen z ට මඟ හරවයි.
චිත්‍රපටයේ සමස්තය මට දැනෙන්නේ ඩෙස්මන් පෙරට ගනිමින් වවුල් කළේ ඝාතනය පෙරට ගනිමින් දශක දෙකක UNP ආණ්ඩුවේ පැටිකිරිය එළියට දැමීමක් ලෙසය . ඒ හරහා තමා අයත් තමාගේ දේශපාලන කුලකයේ බලය තව තවත් තර කර ගැනීමයි. තර්කයක් නැත . ඒ නිර්මාණාත්මක අයිතියයි.
අධ්‍යක්ෂකවරයාගේ යූ ටියුබ් සාකච්ඡාවක හා ප්‍රවීණ චිත්‍රපට විචාරක විදර්ශන කන්නංගරගේ වොයිස් කට් එකක පැහැදිලි ස්ථාන දෙකක මම නතරවීමි.
" අසූතුන මට තදින් දැනුන මචං. ආගම ජාතිය මොකක් වුණත් අපි මිනිස්සු මචං."
ඒ අධ්‍යක්ෂකවරයාගේ හඬයි. ඔව්... ආගම ජාතිය මොකක් උනත් අපි මිනිස්සු. අපි හැමෝම හෝමෝ සේපියන්ස් සේපියන්ස් . අපි හැමෝටම මේ ලෝකෙ ජීවත් වීමේ අයිතියක් හිමියි. ඒ හිමිකම නැති කිරීමේ අයිතිය කිසිවෙකුටත් හිමි නැත. රන්ජන් විජයරත්නටත් අයිති නැත. ආර්. ප්‍රේමදාසටත් අයිති නැත. ප්‍රේමදාස උඩුගම්පලටත් අයිති නැත. කෙසෙල් බද්දර පත්මෙටත් අයිති නැත. රෝහණ විජේවීරටත් අයිති නැත. ධම්මික ප්‍රසන්න චන්ද්‍රසේනටත් අයිති නැත. ඔස්මන් ගුණසේකරටත් අයිති නැත. මනුෂ්‍ය ඝාතනයක් කිසිවෙක් හෝ සිදු කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය.
"මේ චිත්‍රපටය අවසානයේ අපට බල කරනවා යුක්තිය පිළිබඳව සිතන්නෙ."
ඒ විදර්ශන කන්නන්ගරගේ හඬයි.
ඔව්..... චිත්‍රපටය අවසානයේ අපට සිහි කැඳවන්නේ යුක්තිය ගැන කල්පනා කිරීමටයි. සාධාරණත්වය ගැන කල්පනා කිරීමටයි. අපි හිතමු . අපි කල්පනා කරමු. යුක්ති ගරුක සමාජයක් ගොඩනගන්නට. යුක්තිකරුක සමාජයක් ගොඩනැගිය හැක්කේ කැලෑ නීතියට නොව නීති ගරුක සමාජයටයි. ඔස්මන් නිදහසේ ෆාදර් බලන්නට ආවේ අධ්‍යක්ෂකවරයා අපට සිනමා රූප තුළින් පෙන්වූ සමාජයේ තිබූ නීතියේ හිඩැස නිසාය. එකී නීති සම්පාදනය කර තිබුණේ ඔහු පෙන්නූ දේශපාලන බල අධිකාරිය විසින්ය. නමුත් දැන් අධ්‍යක්ෂකවරයා කියන්නා සේ මහන්සි වී උදා කරගත් ආණ්ඩුවක් ජනතාව සතුය. එසේ නම් මිනීමරුවන් මෙලෙස නිදහසේ හැසිරෙන්නට ඉඩ ප්‍රස්ථා සහිත නීති රීති වෙනස් කිරීමේ බලය දැන් ඇත්තේ පවතින ආණ්ඩුවටය. යුක්තිය ඉටු නොවනා කළ නීතියෙන් පිට කටයුතු කිරීම යහපත් සමාජයක් පතන පිරිසක් අනුමත නොකරයි. ඒ සඳහා අනුබල ද නොදෙයි. දැන් ඔබේ වාරයයි.
චමින්ද ජයසූරිය, ජගත් මනුවරණ, චමත් අකලංක පොල්වත්ත, කැටපේආරච්චි, සෞම්‍ය ලියනගේ, විදර්ශන කන්නන්ගර ඇතුළු NPP සහෝදරත්වයට මේ ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවකි.
නව නීති රීති සම්පාදනය කිරීමේ අනුබලයක් වර්තමාන ආණ්ඩුවට ලබාදීමේ හැකියාව ඔවුන් සතුය. යුක්තිගරුක නීතිගරුක සමාජයක් වෙනුවෙන් එකී නීති රීති අවශ්‍ය නම් අතීතයට බල පැවැත්වෙන සේ රැගෙන ආ හැකිය . (ජේ.ආර්.ට පුළුවන් නම් මේ ආණ්ඩුවට බැරි මොකද )
"මං මේ ෆිල්ම් එකේ බොරු කියල නෑ .මං සම්පූර්ණ ඇත්ත කියලා තියෙන්නේ."
අධ්‍යක්ෂකවරයාගේ මේ ප්‍රකාශය අවැසි නම් සාක්ෂියක් ලෙස භාවිතා කර ඔස්ට්මන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකිය. චිත්‍රපටයක් හරහා එවැනි සාමාජීය බලපෑමක් කළ හැකිනම් එය සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නිසැකය.
( මං පොඩි අදහසක් කිව්වේ මට නම් කොකා ගසන්න එපා. මං අහිංසක මවක් )
චිත්‍රපටයේ සාමාජීය බලපෑම පිළිබඳව කතා කිරීමේ දී නිවසේ සිටින රසවතුන් ප්‍රේක්ෂකාගාරයට එවීමට නොමිලේ ඉදිරිපත් වන ප්‍රවර්ධකයන් ගැනද අවධානය යොමු කළ යුතුයි. මෙවැනි ප්‍රොපගැන්ඩා ෆිල්ම් එකකට පූර්ණ සහයෝගය පාක්ෂිකයන්ගෙන් හිමි වේ. ඇතැම් පෝස්ට් වලින් අධ්‍යක්ෂකවරයා දේවත්වයෙන් සලකා වැදුම් කරන අන්දමක් දක්නට ලැබුණි. ඇතැම් සමාලෝචන චිත්‍රපටයේ වැලි කැටයක් තරමින් හෝ දොසක් නොදකියි. චිත්‍රපටයකට ඇඩ්‍රස් නැති වන සේ කෙරෙන විචාරත්, සුදු පැහැයෙන් වර්ණ ගන්වන විචාරත් සුදුසු නොවන බව මගේ හැඟීමයි. විචාරය අවංක විය යුතුය මධ්‍යස්ථ විය යුතුය.
සටහන අවසානයේ මෙසේ ලියමි. තුවක්කුවෙන් එල්ලය බලා වෙඩි තැබීමේදී තුවක්කුව මඳක් පිටුපසට තල්ලු වේ. Father ට එල්ලය ගැනීමේදී පිටුපසට මඳක් තල්ලු වූයේ නම් නිර්මාණය තවත් ලස්සන වේ.
(සටහන | ජයනි ඉෂාන්ති වීරසිංහ)
උපුටා ගැනීම - සිනමාවේදීන් - The Cinema People ෆේස්බුක් පිටුවෙන්....
2026 /01 / 15
සබැඳි ලිපියක් :
කෙළියා නේද තරුණ කැළ? | චින්තන ධර්මදාස
'ෆාදර් - Father” චිත්‍රපටයේ තියෙන සෑම සිදුවීමක්ම මේ මහපොළොවේ සිද්ධ උන දේවල්..' - චමින්ද ජයසූරිය (video)








