අද (13) ට යෙදී ඇති ලෝක ගුවන් විදුලි දිනය නිමිත්තෙන් නව තාක්ෂණය යොදා ගනිමින් ගීත දෙකක් නිකුත් වී තිබේ.
2011 වසරේ යුනෙස්කෝ සාමාජික රටවල් විසින් ප්‍රකාශයට පත් කර 2012 එහි මහා සම්මේලනයේ අනුමැතිය පරිදි සෑම වසරකම පෙබරවාරි 13 දා ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර තිබේ.
මෙවර එහි තේමාව කෘත්‍රිම බුද්ධිය හෙවත් ඒ. අයි. තාක්ෂණයයි. එය නවෝත්පාදන පිණිස පමණක් නොව ශ්‍රාවකයා හා ගැඹුරු බැඳීමකට මග විවර කිරීම පිණිස යොදා ගතයුතු බව යුනෙස්කෝ වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.
ඒ අනුව කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගුවන් විදුලි ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් විවර කරමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්වයෙන් එම ගීත දෙක නිකුත් කර ඇත.
හර්ෂ උදයකාන්ත පීරිස් විසින් රචිත එම ගීතයන්හි සංගීත සංයෝජනය අසංක උදිත රාජපක්ෂ විසිනි. කෘත්‍රිම බුද්ධිය මගින් නිෂ්පාදනය කරන ලද ගායකයකු සහ සංගීත කණ්ඩායමක් විසින් එම ගීත ගායනය කෙරේ.
"නුඹ නපුරු යැයි මෙතරම්" යන සිංහල ගීතයේ ගායකයා එරික් චන්ද්‍ර (Erik Chandra ) ය. "Adore you - You're mine" යන ඉංග්‍රීසි බසින් ගැයෙන ගීතය බෝයි බස් (Boy Buzz) නම් සංගීත කණ්ඩායමක් විසින් ගායනා කෙරේ.
කෘත්‍රිම බුද්ධිය මගින් නිෂ්පාදනය කෙරෙන නව නිර්මාණයන්හි අයිතිය තහවුරු කිරීමට හැකි වීම ද මෙහි සුවිශේෂී ලක්ෂණයකි.
වෘත්තීමය විනිශ්චය, නිර්මාණ ශීලිත්වය සහ මහජන සේවා හර පද්ධතීන්හි උන්නතිය උදෙසා සදාචාරාත්මකව හා වගකීමෙන් පරිහරණය කරන්නේ නම්, ශ්‍රාවක විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමේ පාර්ශවකරුවකු ලෙස කෘත්‍රිම බුද්ධිය සාර්ථකව යොදා ගත හැකි බව යුනෙස්කෝ වෙබ් පිටුව වැඩි දුරටත් සඳහන් කරයි.
සබැඳි ලිපියක් :
කෘත්‍රිම බුද්ධිය තේමා කර ලෝක ගුවන් විදුලි දිනය සැමරේ







