ඊයෙ කොළඹ එක වගේම සුපිරි වැඩ දෙකක් තිබුනා.
එකක් නෙළුම් පොකුනෙ අනෙක සුගතදාසෙ. එකක් බඩගින්න, අනික නිර්වාණය. මං ගියෙ දෙවෙනි එකට. බඩගින්න මිස් වුන එක ගැන දුකයි. (නිවන් ගියත් කාලා එපැයි යන්න)
සන්නාගෙ නිර්වාණ කියන්නෙ දැවැන්ත වැඩක්. ඇත්තටම එහෙම වැඩක් කරන්න පුළුවන් සන්නලාගෙ පරම්පරාවෙ ඉතුරු වෙලා ඉන්නෙ කීපදෙනයි. ඒ අයගෙන් පස්සෙ මේ රටේ ඉතුරු වෙන්නෙ පුංචි පුංචි රංචු වැඩ. ඩයිනසෝරයන් අවසන් වෙනවා.
සන්නා එයාගෙ පරණ සිංදු මල්ලෙන් විසිපහක විතර අහුරක් තෝරගෙන තිබුන. ඒ සිංදු ගැන පසුබිම් කතන්දර කිව්වා. ඒ සිංදු කියන්න ඇවිත් හිටපු අලුත් උන් එක්ක ආදරේ බෙදාගත්තා. සිංදු අහන්න ඇවිත් හිටපු ආදරවන්තයන් ආදරෙන් බදාගත්තා. ඒක හරිම හෘදයාංගම මුනගැසීමක්.

ආසාව නොනිමෙන සන්නාගෙ ජීවිතේ දිහා මං බලන් ඉන්නෙ ආසාවෙන්. සන්නා ජීවත් වෙන්නෙ ආදරේ ඇතුලෙ. හැම සිංදුවකම වගේ කියන්නෙ, ළග ඉන්න, දුර ඉඳීමෙන් පලක් නෑ කියල. ඒ තරම් ආදරේ ඕන මනුස්සයෙක් මං දැකලා නැතුව ඇති. ඒ ආදරෙන් සන්නා මහ විසාල දේවල් නිර්මාණය කරනවා. ආදර මණ්ඩප හදනවා. ආදර ව්‍යාකරණ ලියනවා. ආදරේ සංගායනා කරනවා. නිර්වාණය කියන්නෙ සන්නා කොට්ටයක් වගේ පියයුරක් මත ඇස් පියාගන්න මොහොතක් විතරයි. අනිත් හැම වෙලාවකම ඉන්නෙ ඇවිලිලා.
හැමෝම සන්නාට ආදරෙන් එතනට ඇවිත් හිටියා. මලික් පෙරේරා, අමිල, සුපුන්, සංක මාව පිස්සු වැට්ටුවා. ඇත්තටම සංක කියන සන්නාගෙ සිංදු හරි රහයි. (ඌ නිතර කියන ළපටි කැකුළු වගේ නෙමෙයි) මහේෂ් දෙනිපිටියගෙ වාද්‍ය වෘන්දය අසිරිමත් එකක්. ඒක ප්‍රේම සජ්ජායනාව දිව්‍යමය රමණයක් බවට පත් කළා.

සමහර තැන්වලදි වේදිකාව අඳුරු වුනා. මං හිතන්නෙ මොකක් හරි දෝෂයක් වෙන්න ඇති. බාධාවක් වුනත් සන්නා සංසුන් සිතින් ඒක බාරගත්තා. ඒ දොස මනුස්ස වැරදීමක් විදිහට විඳගන්න ඉඩ හැදුවා. සමහර විට පරිපූර්ණ ආදරයකට වඩා කැඩෙන බිදෙන ආදරයක තියෙන මොකද්දෝ දෙයක්.
සන්නා එක්ක මේ වැඩේ කලේ 'ලක්සිරි' (ස්පේස් ඇන්ඩ් ටයිම්). මෙහෙම විසල් හීනයක් මහපොලොවෙ පැල කරන්න ගත්ත මහන්සියට ඌට ස්තුතිවන්ත වෙන්න ඕන. මනුස්සයෙකුගේ ආසාව විශ්වාස කරලා හීන මවනවා තරම් කුසලයක් ලෝකෙ නැතුව ඇති.
නිර්වාණ කියන්නෙ ඒ කුසලය අනුමෝදනා කිරීම වෙන්න ඇති.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)








