ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) නම් විප්ලවවාදී කවියාට අනුව කවියා සහ කවියාගේ හදවත යනුවෙන් නාමකරණ දෙකක් පැවතිය නොහේ.
ඔහුට අනුව කවියා යනු හදවත ම ය. ඉතින් ඔහුට අනුව කිසියම් කවියකු ස්වකීය මරණය තෙක්ම අපේක්ෂාවන් සමග පොර බැදිය යුතුය.
ඔහු කීවා සේම ගිලටිනගත ඔහුගේ මරණ මොහොත දක්වා අපේක්‍ෂාවන් හින්ද ගත්තේ නැත.ෆ්‍රන්ස විප්ලව සමයේ ගිලටීනගත කොට මරා දැමුණු ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier), ෆ්‍රන්ස කවි සමයේ අතිශය අනන්‍ය, විශිෂ්ට මෙන්ම අද්විතීය ෆ්‍රන්සක්කාරයකු ලෙස බුහුමනට පාත්‍රවන්නේ එබැවිනි.
කවි සමය තුළ ඔහු ගෞරවාදයරට පාත්‍ර වන්නේ සම්භාව්‍ය කාව්‍යකරණයේ මූලධර්ම විශිෂ්ඨත්වයට නැඟීමට කැපවන අතරෙහි ම, තමන්ගේ සමකාලීන යුගයේ අධිනිෂ්චයව පැවති සාහිත්‍ය නැඹුරුතාවන්ට ඒරෙහිව සිදුකළ කාව්‍යමය ප්‍රතිරෝධය අවධාරණය කිරීම නොහොත් ඒ්වාට එරෙහිව තනි අලියකු සේ සටන් කිරීම හේතුවෙනි.
ෂාල් ඕගුස්තතන් සන්ත්-බ’ව් නම් ෆ්‍රන්ස සාහිත්‍ය විචාරකයාට අනුව ෂෙනියේ, රොමාන්තික ව්‍යාපාරයේ පෙරගමන්කරුවකු වන අතරම රොමාන්තික්වාදී ෆ්‍රන්ස කවියේ අග්‍රතමයා ලෙස සළකන වික්තෝරිඋගෝවුන්ට ඉමහත් ම බලපෑම කළ පූර්වජ කවියා ය. සන්ත්-බ’ව්ගේ මෙකී මතවාදයට එරෙහිව කතා කරන අනතෝල් ෆ්‍රාන්ස් පවසන්නේ ෂෙනියේගෙ කවි මුළුමනින්ම පාහේ සම්භාව්‍යවාදී ධාරණාවම නියෝජනය කරන බව ය. අනතෝලුවන්ට අනුව ෂෙනියේ යනු ෆ්‍රන්ස සම්භාව්‍ය කවියේ මහා අවසානය සනිටුහන් වන මොහොතයි; ඔහු වික්තෝරිඋගෝ සමඟ හෝ "පර්නාසියානු" කවීන් සමඟ සංසන්දන නො කළ යුත්තක් බව යි.
එසේ වුව ෂෙනියේගේ කවියේ පවතින සම්භාව්‍ය කාව්‍ය ව්‍යාපාරයේ රීතින්, තේමා සහ සමස්ථ අඩංගුව නිසා ඔහු, යොමුව ඇත්තේ ලකොන්ත් දු ලීස්ල්, පොල් වැර්ලෙන්, ෂල් බොද්ලෙයා ද ඇතුළු විශාල පෞරුෂයන් ගොනුවී සිටි "පර්නාසියානු මුමෙන්තුවේ" පෙරගමන්කරුවා ලෙස සකලකන්නට පවා ඇතැම් විචාරකයෝ උත්සුක වන්නා හ. ‘පර්නාසියානු මුමෙන්තුව’ යනු තෙයෝෆිල් ගුතියේගේ මූලිකත්වයෙන් ෆන්සක්කාර කවීන් සනුහරයකගේ ඒ්කාරාශීවීමක ප්‍රතිඵලයක් වූ කාව්‍යය ව්‍යාපාරයකි. ෆ්‍රන්සයේ ප්‍රත්‍යක්ෂවාදී සමයේ එනම් නිෂ්චිතව ම ගත් කල රොමෑන්තික සමය වැහැරෙමින් පැවැතීම අතරතුර හා සංකේතවාදී ව්‍යාපාරය බලපවත්වන්නට පෙර, 1860-1890 වකවානුව තුළ පැවති කාව්‍යමය ක්‍රියාන්විතයකි.
(මේ ගැන සවිස්තරාත්මක ව පසුව කතාකෙරේ)
පොදුවේ ගත් කල ඔහුගේ ෂෙනියේගේ කවි කිසියම් යුගයක් නියෝජනය කරන කාව්‍යමය ව්‍යාපාරයකට කැටගරිගත කිරීම අතිශය අපහසු ය. ෂෙනියේ ගැඹුරින් අධ්‍යනය කළ විචාරක මතය වන්නේ ඔහුගේ කවි එසේ ප්‍රවර්ග කළ නොහැකි තරම් ම වන සර්වාකාලික ගුණයෙන් අනූන බව යි. ඔහුගේ කවියට අදාලව සර්වකාලීන ගුණය යනු සර්වකාලීන සෞන්දර්යයකි.
ෂෙනියේගේ කවිය එදා මෙදා තුර අඛන්ඩව සෑම පරපුරකම කවීන්ට කාව්‍යාවේශ සපයන තරමට ම ප්‍රවාහයක්ව ගලාගෙන එන්නකි. කවි ලිවීම බරපතළ කටයුත්තක් මෙන්ම බරපතළ වගකීමක් ලෙස බාරගෙන, විධිමත්ව කවි ලිවීම මෙන්ම කවි ලිවීමේ නෛපුණ්‍යභාවයට ආසක්ත කවීන්ගේ කාව්‍ය නිර්මාණයන්හි අඩංගුව වන්නේ ෂෙනියේ අනුදත් කාව්‍ය මාර්ගයයි. මේ සියලු කරුණු සමාලෝචනයෙහි නිරත ෆ්‍රන්ස සංස්කෘතික සමාජය 18වැනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ටතම කවියා ලෙස බුහුමනට පාත්‍ර කරනු ලබන්නා ඔන්ද්‍රෙ ෂනියේ ය.
ඔහු මේ සියලු කාව්‍යමය පෙළහර පෑම් සිද්ධ කර තිබෙන්නේ දශක තුනකුත් එකුන් වසරක් වූ කෙටි ජීවිත කාලය තුළ සිදුකළ සම්ප්‍රාදනය නිසා ය. ඔහු ජීවිතයෙන් සමුගත්තේ 1794 ජූලි 25 දා ය; ෆ්‍රන්ස විප්ලවයේ කූඨප්‍රාප්තික සමයේ ය; පැරිසියේදී ය. 31 හැවිරිදි වියේදී ය; මෙසේ ඔහුගේ ජීවිතය අවසන් වූයේ ඇයි?
ඔන්ද්‍රෙගේ පියා වූ රෙදිපිළි ව්‍යාපාරිකයකු ලුයී ෂෙනියේ පසුකාලීනව ෆ්‍රන්ස තානාපති සේවයට අනුයුක්ත කළ අතර ඔන්ද්‍රෙ උත්පත්තිය ලැබුයේ 1762 ඔක්තෝබර් 30වනිදා ඔටෝමන් අධිරාජ්‍යයේ අගනගරය වූ කොන්තන්තිනෝප්ලයේ නොහොත් වත්මන් ඉස්තාන්බුල් නගරයට ආසන්න ‘ගලාතා’වේ දී ය.
එළිසබෙත් සන්ති-ලොමාකා ( Élisabeth Santi-Lomaca) නම් වූ ඔහුගේ මව ග්‍රීක සම්භවයක් සහිත ස්ත්‍රියක වූවා ය. එබැවින් ඉතා කුඩා අවධියේ සිට ම ඛේදාන්ත කාව්‍ය ප්‍රමුඛව සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ ඔහුගේ උද්යෝගය අධික විය.

අධ්‍යාපන කටයුතු නිමාවේ 1782 දී ස්ට්‍රාස්බූ(ර්ග්) නගරයේ වූ ෆ්‍රන්ස රෙජිමේන්තුවට ඔහු බදාවාගනු ලැබුණු නමුත් මෙකී මිලිටරි ජීවිතය මුළුමනින්ම අසාර්ථකව යළි පැරීසියට හැරී ආ අතර ඉක්බිති කලාකරුවන්ගේ ඇසුරට වැටිණ. මුලින්, සමකාලීන රැල්ල පැවති නව සම්භාව්‍යවාදී කාව්‍ය සම්ප්‍රදාය අත්හදා බලමින් සිටි ඔන්ද්‍රෙ ෂෙනියේ ඉක්බිති වසර තුනක පමණ කාලයක් සිය පවුලේ සාමාජිකයන්ගේ අනුග්‍රහය සහ ආශිර්වාදය මැද කිසිදු පීඩනයකින් හා බාධා පැමිණවීමකින් තොර නව්‍ය කාව්‍යමය අත්හදා බැලීම් හි නිරත වන්නට විය. කුඩා කල සිට අනුදත් ග්‍රීක සාහිත්‍යයෙන් සහ පුරාණොක්තිවේදයෙන් යහමින් පදම් වී සිටි තරුණ කවියා මෙකී මිත්‍යා කතා සහ පුරාවෘත්ත මත ස්වකීය අධ්‍යාත්මික මුද්‍රාව නොහොත් පුද්ගල අධ්‍යාත්මික ජීව ගුණය සම්මිශ්‍රණය කරමින් ‘අලුත් කවියක්’ තනා ගැන්මෙහි උත්සුක විය. එ මෙන් ම ඔහු විටින් විට සිය කාව්‍යමය පෙළහරපෑම් මත දාර්ශනික මාත්තුවද තබාලී ය.
බරපතළ ලෙස කාව්‍යකරණයට සම්ප්‍රාප්ත වූ මෙකී අවධියේම ඔහුට රැකියාවක් පිණිස යෝජනාවක් ලැබිණ. 1787දී ලන්ඩනයේ ෆ්‍රන්ස තානාපති ලෙස පත් වූයේ ෂෙනියේ පවුලේ හිතවතකු ය. තරුණ ඔන්ද්‍රෙ තමන්ගේ ලේකම්වරයා ලෙස පත් කරගැනීමට ඔහු ෂෙනියේ පවුලෙන් ඉල්ලීමක් කළ අතර එය ඒක්වරම ප්‍රතික්ෂේප කරන්නට බැරි තරම් උසක තිබුණු යෝජනාවකි. ඉතාමත්ම නො කැමැත්තෙන් මෙම නිලය බාර ගත්ත ද ඔහු ආවේශව උන්නේ වෙනම කලාත්මක හැඟුම් සමුදායකිනි. ඔහු විර කාව්‍ය ගැන ඉතා උනන්දුවෙන් පසුවුණත් අසතුටෙන් පරිපීඩිත මාසික ඒ්කාග්‍රතාව අහිමිවීම නිසා මෙකී ලන්ඩන් සමයේ ඒ් කිසිවක් සම්පූර්ණත්වයට පත් කර ගන්නට බැරි විය.
ෆ්‍රන්ස විප්ලවය ඇවිලෙමින් තිබුණු අතර ගතවෙමින් තිබුණු නිෂ්චිත මොහොත ඊට මුහුණ දීම වෙනුවෙන් රාජ්‍ය ත්‍රස්තය විසින් අති භයංකර ප්‍රතිපදාවක් අනුගමනය කෙරුණි. ගිලටීන පූජා කෙළවරක් නොවුණි. කවියෙක් වන්නා වූ සේ ම ඔහු දේශපාලන ජනමාධ්‍යවේදියෙකි. ඒ් අර්ථයෙන් ගත් කල දේශපාලන ක්‍රියාකාරිකයෙකු වුවද ඔන්ද්‍රෙ ෂෙනියේ දාෂ්ටිවාදීමය ලෙස ෆ්‍රන්ස විල්පවයට පක්ෂපාත ස්ථාවරයක් නොදැරී ය. මාධ්‍යවේදියකු වූ ඔහු රාජ්‍යය විවේචනය කළේ සැබැවින්ම ප්‍රතිසංස්කරණවාදී අර්ථයකිනි. රාජ්‍යය මෙන්ම ඔහු විප්ලවය අනුදත් ප්‍රවේගකාරී විලාශය ද විවේචනය කෙරුණි. ඔහු ලියූ ඇතැම් ලිපිවල විප්ලවයේ ක්‍රියාකාරිකයන් සෘජුවම නම් කර පවා තිබිණ
විප්ලවය හා බැඳුණු සක්‍රීය ක්‍රියාකාරිකයකු මෙන්ම විප්ලවය ඇවිලීම වෙනුවෙන් කවි ලියුවේ ඔහුගේ සොහොයුරා වූ මරී-ජොසෙෆ් ෂෙනියේ ය. විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු බිහිවූ නව පාලන තන්ත්‍රයේ විවිධ තනතුරු හෙබැවූ මරී-ජොසෙෆ් පසුකාලීනව සුප්‍රකට ෆ්‍රන්ස ඇකඩමියට පවා තෝරාගැනුණි.
ඔන්ද්‍රෙගේ අත් අඩංගුවට පත්වීම අත්වැරදීමකින් සිදුව ඇත්තක් බව පසුව කියැවුණි. 1794 මාර්තු 7වැනිදා පැරීසියේ පැසී කලාපයේ වූ පස්තොරේ මැතිණියගේ නිවසේ පැවති සාදයකදී ය. සන්ත්-ලසාර්හි සිපිරිගත ජීවිතය තුළ තමන් මෙන්ම තමන්ගේ සහෝදර සිරකරුවන් කේන්ද්‍රකර ගනිමින් ලියැවුණු හිත් රිද්දනසුළු සුප්‍රකට ම කවියක් වූ ‘ලා ජුන් කප්තිව් La Jeune Captive’ (තරුණ සිරකරුවා) ඔහු ලිව්වේ සිරගතව සැටිය දී ය. ලොන්ඩරි ඇඳුම් අට්ටි අතර සඟවා සිරගෙයින් පිටකෙරූ කවිය බෙහෙවින් ජනතාව අතර පැතිරුණි. ‘රාජ්‍යයට එරෙහි අපරාධ’ නම් චෝදනාව යටතේ ගිලටීනගතව අනපේක්ෂිතව අවසන් වූ ජීවිතය කරලන්ට සිදුවූයේ ත්‍රස්ත රාජ්‍යතන්ත්‍රය විසින් විප්ලවයේ නායකයකු වූ රොබෙස්පියෙර් ගිලටීනගතකරනු ලැබීමට දින තුනකට පෙර වීම දෛවෝපගත ය.

1792 සහ 93 කෘති දෙකක් පළ කර තිබුණ ද, ඔහුගේ බරපතළ ම කාව්‍ය නිර්මාණ සංගෘහිතව පළවන්නේ ඔහුගේ මරණයෙන් පස් විසි වසරක ඇවෑමෙනි. ඒ් පවා ඇල්මැරුණු අයුරිනි. ඒ්ත් 1819දී ඒ්වා මුද්‍රණ ඒළිදැක්වුණු පසු සමස්ථ සමාජයේම දෑස් විවර වන්නට විය. ඔහුගේ භාවිතය පිළිබඳ සකල හැදෑරිම් මතුවූයේ ඉන් පසුව ය. ඔහු පැතිරුණු කියවීමකට පත්වීම ක්‍රමයෙන් ඇරඹිණ.
කාව්‍යමය මැදිහත්වීම හා බැඳුණු ස්වාධීන ජීවන භාවිතය මෙන්ම වීරත්වයේ දිවිහරණය හේතුවෙන් ඔහු බොහෝ නිර්මාණකරුවන්ගේ සුප්‍රකට නිර්මාණ ගණනාවක ආත්මීය චරිතය විය. ඒ අතරින් ඉතාලියානු මහා ඔපෙරාකාර උම්බෙර්තෝ ජියොර්දානෝගේ (Umberto Giordano) නිර්මාණ ජීවිතයේ වඩලාත්ම සම්භාවනට පාත්‍ර වූ ඔපෙරාව වූ ‘ඔන්ද්‍රෙයා ෂෙනියේ’ ලෙස නම් කළ කෘතියේ ආත්මගත ෆ්‍රන්සක්කාර වීරවරයා අප කතානායකයා ය. ඔන්ද්‍රෙ ෂෙනියේ පාදක කර ගනිමින් බොහෝ නිර්මාණ සිදුකෙරී ඇත.
රුසියානු මහා කවි අලෙක්සාන්දර් පුෂ්කින් පවා ඔන්ද්‍රෙ ෂෙනියේ නාමයට කවි ලියා ඇත. ඔහු වීර-කවියා යන්නෙහි ෆ්‍රන්සය මතු නොව සමස්ථ යුරෝපීය සංඛේතය බඳු ය.
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )








