ආචූ රම්බෝ (Arthur Rimbaud) අතහැර ෆ්‍රන්සක්කාරයන්ගේ කවිය ගැන කතා කරන්නට බැරි ය.
වසර ශතක එක හමාරක් ඉක්මවා තවමත් අතිශය සජීවිව ගලා යන රම්බෝ කවි තවමත් නැවුම් ය. අලුතින් කියවා ගන්නට, අලුතින් උකහා ගන්නට, අලුතින් ම සසලවන්නට අවශ්‍ය කාව්‍යමය දොරටු ද, කවුළු ද නිරන්තරවම හමුවේ. මෙකවි අධිතාත්විකවාදී හෝ අතාත්විකවාදී හෝ විකාරරූපී හෝ කවර නාමකරණයකට ඇතුළත් කළ ද කවර සංකල්පයක් තුළ හෝ සංයුක්තව ගත්ත නොහේ.
සංඛේත බාහුල්‍යය මෙන්ම රූපක බාහුල්‍යය ඔහුගේ කෙටි කවි සැරියේ වන සකලවිධ රචනා මතුකෙරෙන සියලුම කාව්‍යය ගුණාංග අතරින් වෙන් කර පාදා ගත හැකි ප්‍රධානම භාවයන් ද්විත්වය ලෙස ප්‍රකට කෙරෙන්නේ ‘ලාලසාමය නව යෞවනය’ සහ ‘චණ්ඩභාවය’ යි. තමන්ට ම අතිශය අනන්‍ය කාව්‍ය තාක්ෂණයකින් යුක්ත වූ රම්බෝගේ කාව්‍ය වනාහි ඔහුගේ චිත්තාකර්ණීය වූත්, ළයාන්විත වූත්, ශෝභමාන වසඟකාරී ජීවිතයේ පරාවර්ථනයකි; ප්‍රකාශනය; පරිකල්පනයකි; ප්‍රතිනිර්මාණයකි. තවත් පසෙකින් ඔහුගේ කවිය වූ කලි තමන්ගේ ම වූ අභ්‍යන්තර ලෝකයක් විනිවිද යාමටත්, එය විදාරණය කිරීමටත් නිර්භිතව පෙරට පැමිණි ගැටවරයකුගේ වීර චාරිකාවකි; එමෙන්ම එය සෛද්ධාන්තික අභ්‍යාසයක නියැලුණු කාව්‍යකාරයකුගේ කාව්‍යමය පරිචය සනිටුහන් කරන්නකි.
1854 වසරේ ජනිත ෂොන් නිකොලා ආචූ රම්බෝ වනාහී නිසැකව ම, ප්‍රතිභාව පෙරටු කොට ගත් ‘ජාත’ කවියෙකි. එබැවින්ම ඔහු ජාති කවියෙකි. 37 වසරක් පමණක් වූ අතිශය කෙටි දිවි සැරියේ දී ඔහු කාව්‍යකරණය පිණිස මුළුමනින්ම කැප වී යැයි සැළකෙන්නේ අටසිය හැත්තෑවේ සිට හැත්තෑ පහ දක්වා වූ වසර පහක කාල පරාසයයි. අද්දැකීම් විසින් ජීවිත පරිඥානය පාදා දීමට පෙර ම කලාත්මක කාව්‍යමය ජීවිතය අත්හැර දැමුයෙන් ඇතැම් කාව්‍ය විචාරකයන් විසින් අපරිසමාප්ත කවියෙකි ලෙස හදුන්වනු ලබන අන්වර්ථ නාම රැසක හිමිකරුවකු වූ රම්බෝ විටෙක ‘’උදහස්කාමී ළමයා’’ ය. යළි ‘‘ශාපලත් තරුණයා’’ය. තවත් තැනක ඔහු ‘අපාගත වල්ලභයා’ ය. කවර නාමකරණයක් මධ්‍යයේ වුව 19වැනි සියවසේ නූතනවාදී ලේඛනයේ ශ්‍රේෂ්ඨතම ගැටවරයා ලෙස ඔහු හැඳන්වීම, කවර වරදක් ද? ආචූ රම්බෝ වනාහී එදාමෙදාතුර බිහිවූ ප්‍රතිභාසම්පන්නම, වැදගත්ම, බලවත්ම කවියෙක් බව කීම යනු ඔහු අධිනිෂ්චය කිරීමක් නොවේ.
ගිණකොණදිග ෆ්‍රන්සයේ ආදෙන් පළාතේ ෂාල්විල් නම් කුඩා නගරයේ ඉපදුණු ආචූ රම්බෝගේ තාත්තා වූයේ ෆ්‍රන්ස හමුදාවේ පාබල සේනාංක කපිතාන්වරයකු වූ ෆ්‍රෙදෙරික් රම්බෝ ය. අම්මා ආදෙන් පළාතේ කෘෂිකාර්මික පවුලක විතලි කුයිෆ් ය. තාත්තා කුටුම්භයෙන් අභිනික්මන් කළ පසු ආචූ රම්බෝ ඇතුළු දරුවන් හතර දෙනෙකුගේ සකල වගකීම් තනි අතට ගත්තී අම්මා, දැඩි කතෝලික හික්මීමක් සහිත ආඥාදායක ගති පැවතුම් ඇති ස්ත්‍රියක වූවා ය. වැන්දඹු රම්බෝ’ ලෙසින් ප්‍රදේශවාසීන් අතර ප්‍රකටව සිටි ඇය, දරුවන් දැඩි විනයකට යටත් කළ අතර, අධ්‍යාපන කටයුතු මුල් තැන්හි තැබුවා ය.

ඉගෙනීම පරම ආරම්මණය කරගත් රම්බෝ පාසල තුළ වූ සියල්ලන් අතරින් කැපී පෙනෙන ශිෂ්‍යයකු වූයේ ඔහුගේ නොසංසිඳුණු හැදෑරීම් පිපාසාව නිසා ය. මෙකල, පාසලේ ගුරුවර පුරප්පාඩුවක් ඇතිවිය. එය පුරවනු පිණිස, වාග්වේදය, සාහිත්‍යවේදය මෙන්ම සෞන්දර්යවේදය උගන්නන්ටට පැරිසියේ සිට ආයේ කාව්‍යකරණයේ නියුතු කවියකු වූ ජෝජ් ඉසම්බා ය. රම්බෝගේ කෞෂල්‍යය දුටුයෙන් නොබෝ දිනකින්ම, ගුරුවරයාගේ ප්‍රියයතම ශිෂ්‍යා වූයේ රම්බෝ ය. ගුරුවරයා විසින් ශිෂ්‍යයා සතුටට පත් කෙරෙමින් ඔහුගේ පෞද්ගලික පුස්තකාලය පරිහරණයට අවසර දුන්නේ ය. නමුත් ‘වැන්දඹු රම්බෝ’ හෙවත් ගැටවර කවියාගේ අම්මා ඊට අවසර දුන්නේ නැත. මන්දයත් එහි වන පොත් තමන්ගේ පුත්‍රයා දූෂ්‍ය කරනු ඇතැයි ඇය සිතුව බැවිනි. ඇය කොහොමත් ස්වමාසක්ත ස්ත්‍රියකි. රම්බෝ පුද්තකාලයට ගියේ අම්මාට හොරෙන් ය. අධ්‍යාපනයෙහි ඇලීම සහ ගැලීම ගැටවරයාට නියතයකි. තර්ක විතරක් නැත. ඇගේ අණසක පමණක් ම විය. තනි මවක් වූයෙන් සහ ගෙවිලියක් වීම නිසා දරුවන්ට ගොඩ යාමට ඇති එකම මඟ ඉගෙනීම බව ඇය සිතන්නට ඇත.
සියලු දරුවන් අතුරින් ආචූ වෙත ඇගේ ඇල්ම වැඩි වූයේ දරුවා කෙරෙහි පාසල් බලධාරීන් තුළ තිබුණු ගෞරවය, ය අම්මා තුළ ද ආඩම්බරය ඇති කළ නිසාවෙනි. කොල්ලා සකල විෂයන්හි පෙළහරපාන්නෙකු විය. ගුරුවරු විශ්මයට පත් කළ කොල්ලෙකි. විශේෂයෙන්ම සාහිත්‍යය විෂයෙහි අග්‍ර ශිෂ්‍යයකු විය.
ඔහු, තමන්ට පෙරකල විසූ කවියන් ලියූ සියලු කාව්‍ය මෙන්ම කෘතීන් කියවා හමාර කළ අතර සමකාලීන ලේඛයන් ද කියවා ඒ සියල්ලන් ගැන වෙන වෙනම අවබෝධය තිබ්බෙකු විය. 1870 දි ඔහු ලතින් පද්‍යය - පළමු ස්ථානය දිනා ගත්තේ ය. ඉක්බිති දිනූ තවත් භාෂා සහ සාහිත තෑග රැසකි.

ෆ්‍රන්ස පෲසියානු යුද සමයේ සියල්ල ව්‍යාකූලත්වයට පත්වුණු අතර රම්බෝගේ සමීපතම ගුරුවරයා වූ ඉසම්බා ෆ්‍රන්සයේ ‘දූආයි’ ප්‍රදේශයට සංක්‍රමණය වූයේ තමන්ගේ පෞද්ගලික පුස්තකාලයේ පරිහරණය රම්බෝට පවරමිනි. ගුරුවරයාගේ සමීපයේ නොවීමෙන් ආචූ වඩා ඒකාකාරී ජීවිතයකට ප්‍රවිශ්ඨව සිටියෙන් ඔහු නගරයේ නිරර්ථකභාවයෙන් පීඩා විදින්නට විය.
‘’ආසන්නයේ වන සියලු කුඩා නගර අතරින් තමන්ගේ නගරය මුග්ධයන්ගෙන් පිරුණු නගරය බව’ ඔහු ගුරුවරයාට ලියා යැව්වේ ය. ගැටවර රම්බෝගේ සිහිනය වූයේ සංස්කෘතික නගරය ලෙස ස්ථාපිත වූ පැරීසියේ බින්න බැසීමයි.
පාසලේ දිදුළ ශිෂ්‍යයෙකු වූ රම්බෝගේ විඩාපප්‍රාප්ති නොවූ, නිදිවර්ජිත අඛන්ඩ හැදෑරිම් නිසා පැරීසි ගමන ඉක්මන් විය. විටින් විට පැරීසියට පළා ගිය රම්බෝට පළමු වතාවේ ද, කෝච්චියේ හොරෙන් යාම නිසා බලු කූඩුවේ ලගින්නට සිදුවිය. ඔහු එළියට දැම්මේ ගුරුවරයාගේ මැදිහත්වීම නිසා ය. තමන් දැන හඳුනාගත් හිත මිත්‍රාදීන් වෙත තමන් ලියන කවි යැවීම පුරුද්දක් කර ගත් රම්බෝ, ගුරුවයාගේ මඟපෙන්වීම මත ප්‍රකට සංඛේතවාදි ෆ්‍රන්සක්කාරයකු වූ පොල් වෙර්ලෙන් කවීන්ද්‍රයාට (Paul Verlaine) කවි කිහිපයක් තැපැල් කළේ ය. වැර්ලෙන් විශ්මය ගන්වන්නට ගැටවරයාගේ කාව්‍ය ශක්තියට පුලුවන් විය. පැරිසියට ඒමට නිල වශයෙන් කැඳවීමක් ලැබුණේ එහෙම ය. රම්බෝට වෙර්ලෙන් බැහැ දකින්නට එන්නේ හිස් අතින් නොවේ. ඔහුගේ දීර්ග ම ඒකල කාව්‍යයක් වන ‘බේබදු බැතෝව’ නම් අරුත් ගෙනෙන ‘ලු බැතෝ ඊව්‍ර’ (Le bateau ivre) සමඟින් ය.
‘ප්‍රඥාවේ දොරගුලු විවර කෙරෙන යතුර හිමිවන්නේ දිව්‍යමය ප්‍රේමය හරහා පමණකි.’’ යි ලියු නව යොවුන් රම්බෝ, කෙමෙන් පොල් වෙර්ලේන්ගේ ආතුරසහගත ප්‍රේමයේ පංගුකාරයා බවට පත් විය. එය ෆ්‍රන්සක්කාර නූතන කවි සමයේ සුප්‍රකට වූ ද කුප්‍රකට වූ ද කාව්‍යමය සමෝධානයකි. පසු කලෙක රම්බෝ ‘’සියුම් ඉඳුරන් ඇතුව සිටියෙන්, මම මගේ ජීවිතය නැති නාස්ති කර ගත්තෙමි.’’යි ලිවී ය.
ෆ්‍රන්ස සාහිත්‍යයේ බරපතළම කවියකු ලෙස සැළකෙන ආචූ රම්බෝගේ කෙටිකාලීන කාව්‍යක්කාර සමයත් ඔහුග් සමස්ත ජීවිතයත් වූ කලි කියවා -අසා දැන -ගවේශනය කර අවසන් කළ නොහැකි උභතෝකෝටික ගොන්නකි. ඒ සියල්ල එසේ තිබියදී වුව සමස්ත ලෝකයට උරුම කර ගිය රමනීය ගද්‍ය-පද්‍ය කාව්‍යාවලිය පරම්පරාවෙන් පරම්පරාවට නැවත නැවත කියැවෙමින් පරම්පරා හරහා ද, දේශ දේශාන්තර හරහා ද, සෞන්දර්ය ධාරාවක් සේ ගලා යන සජීවී සාහිත්‍යයික වස්තුවකි. ඉදින් විටින් විට ‘’ෆ්‍රන්සක්කාරයෝ’’ අතරේ රම්බෝ හමුවීම නොවැලැක්විය හැකි සංසිද්ධීන් ය. මෙකී ආතුරසහගත ප්‍රේමයත්, ඉනික්බිත්තේ ජීවිතයත්, දුක්ඛදායක මරණයත් මෙකී සංසිද්ධි අතර හමුවන්ට පිළිවන.
මං-වෙඩි
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )








