ඊයෙ කොළඹ කමතෙ ‘poison’ කියන ඉංග්‍රීසි වේදිකා නාට්‍ය නරඹන්න ලැබුනා. ඒක ඕලන්ද නාට්‍යයක පරිවර්තනයක් මං දැකපු විදිහට. ‘මිනි තියටර්’ හෙවත් ඉතා කුඩා වේදිකාමය අත්හදා බැලීමක්.
ලංකාවෙ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වේදිකාව ගැන මගේ තියෙන විවේචනය දරදඩු එකක්. සිංහල වේදිකාවේ සංස්කෘතික හෝ හැගීම්මය ගැඹුර ඉංග්‍රීසි වේදිකාව විසින් තවම අත්පත් කර නොගැනීම නිසා ඒක හුදු පරාරෝපිත කලාපයක පාවෙමින් තියෙනවා කියලයි මට දැනිලා තිබුනෙ.( ඒක මට නරඹන්න නොලැබුනු බොහෝ නාට්‍යය නිසා ඇති වුනු මගේ සීමිත බවක් වෙන්න පුළුවන්)
ඒත් පොයිසන් කියන නාට්‍යය මගේ මේ අදහස කුඩුපට්ටම් කළා. කිසිම දවසක සිංහල වේදිකා නාට්‍යයකින් නොලැබුනු අපූර්ව වේදිකාමය අත්දැකීමකට මාව අරගෙන ගියා. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයකට පුළුවන් වෙලා නෑ මගේ ඇස් කොන් තෙත් කරන්න. මේ නාට්‍යයේ බිහිසුණු හැගීම් අවපාතය විසින් මගේ ඇස්වලට කඳුළු පිරෙව්වා.

අෂාන් ඩයස් බොහෝ චරිත රගපානවා දැකලා තිබුනත් අෂාන්ට හැමදාම ලැබෙන්නෙ මිලිටරිමය ගතියක් තියෙන චරිත. හැගීම් එක්ක පොරබදන වල්මත් පිරිමි චරිතයක් මං අෂාන්ගෙන් මීට කලින් දැකලා තිබුනෙ නෑ. මේ නාට්‍ය ඇතුලෙ අෂාන් අපිව අරන් යන අතිසියුම් භාව කලාප අතර ගමන මාව පුදුමයට පත් කළා.
නාට්‍යයේ අධ්‍යක්ෂිකාව වගේම ‘ඇය’ ගේ චරිතය කරන්නෙ ටෙහානි චිටී. එයා පුදුමාකාර ස්ත්‍රී කුණාටුවක් නිර්මාණය කරනවා. සමනල තටු සැලෙන සියුම් බවේ ඉඳන් පුපුරා වැටෙන ගිනි කන්දක් වෙනකල් ස්ත්‍රීත්වය විදාරණය කරනවා. අතිප්‍රබල ඇගේ හරිගඩු පිපෙන රංගනයක් ඒක.
මිනි තියටර් සංකල්පය නිසාම නළුවා සහ නිළිය ඉන්නෙ අපි අතරෙමයි. නැත්නම් අපි ඉන්නෙත් වේදිකාව උඩමයි. සමහර වෙලාවට නළුවා හෝ නිළිය ඉන්නෙ අපේ අනිත් පැත්තෙ පුටුවක. අපිට හැරිලා ඒ චරිතයේ ඇස් ඇතුල බලන්න පුළුවන් තරමයි. ඒ තරමට වේදිකාව ප්‍රේක්ෂකයාට සමීපයි. ඒක අසමසම තරම් ඉන්ටිමේට් අත්දැකීමක්.
හැමදාම වේදිකාව තරමක් දුර තියෙන හින්ද ඒ රංගනය තිබුනෙ ඈතට විදහා පේන ශෛලියක. සිනමාව වගේ සියුම් තැනක නෙමෙයි. මොකද ක්ලෝස්අප්වලට ඉඩක් නෑ. ඒත් මේ 'පොයිසන්' වේදිකා අත්දැකීම සිනමාවට වඩා සියුම් තැනකට යනවා. අපේ අනෙක් පස සිටින්නාගේ දුක වේදනාව තරමට ළගට එනවා. ඒ නිසා ඒ රංගනය අතිසියුම් නහර අස්සෙන් ගමන් කරනවා.

නාට්‍යයේ තේමාව වෙන්නෙම ප්‍රචන්ඩ ලෙස මිය ගිය අතීතයක අඳුර. එලියෙ දිගටම වැස්ස. ඒ අතරෙ වෙන්ව ගිය පෙම්වතුන් දෙන්නෙක් අනාගතයක් නැති මොහොතක මුනගැහෙනවා. නැවත කිසිදාක ළංවෙන්න බැරි අතීතයකට ගමන් කරනවා. ඒක හරි අමුතු මොහොතක්. තනිකරම හැගීම් සාගරයක අගාධ පතුලක ඔක්සිජන් අඩු කිමිදීමක්.
නාට්‍ය ඉවර වෙද්දි අපි හොඳටම හෙම්බත්. කොටින්ම තවත් කෙනෙක් එක්ක කතා කරගන්න බැරි තරම් හිත බරයි. පුළුවන් තරම් ඉක්මණට ෂොට් එකක් දාලා හුස්මක් ගන්න මං ඉක්මන් කළා.
පොයිසන් කියන නම හරිම නිවැරදියි. ඒක වහක්.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)








