leader s

'ඩොන් 3' චිත්‍රපටයේ ගැටලුවක් මුල් කරගනිමින් බොලිවුඩ් සුපිරි නළු රන්වීර් සිං සහ සිනමා වෘත්තීය සමිති අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.


ප්‍රසිද්ධ අධ්‍යක්ෂ ෆර්හාන් අක්තාර්ගේ ප්‍රමුඛතම සිනමා නිර්මාණයක් වන ‘ඩොන් 3’ (Don 3) චිත්‍රපටයෙන් රන්වීර් සිං හදිසියේම ඉවත් වූ බවට පැතිර යන ආරංචිත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන සිනමා සේවක වෘත්තීය සමිතියක් විසින් රන්වීර් සමඟ වැඩ නොකරන ලෙස තම සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටීමත් සමඟ ඔහුගේ රසිකයන් දැඩි කනස්සල්ලට පත්ව සිටී.

මිලියන 450ක පාඩුවක්?

චිත්‍රපට සහ රූපවාහිනී කාර්ය මණ්ඩල සාමාජිකයින් දහස් ගණනක් නියෝජනය කරන ප්‍රමුඛතම බොලිවුඩ් සේවක සංගමයක් වන ‘බටහිර ඉන්දීය සිනමා සේවකයින්ගේ සම්මේලනය’ (FWICE) ප්‍රකාශ කරන්නේ, රන්වීර් සිං මෙම චිත්‍රපටයෙන් ඉවත් වන විට එහි පූර්ව නිෂ්පාදන කටයුතු (Pre-production) වෙනුවෙන් නිෂ්පාදකවරුන් දැනටමත් ඉන්දීය රුපියල් මිලියන 450ක් (කෝටි 45ක්) වැනි විශාල මුදලක් වියදම් කර තිබූ බවයි.

නළුවාගේ මෙම හදිසි තීරණය නිසා සමස්ත නිෂ්පාදක මණ්ඩලයම මෙන්ම සිනමා සේවකයන් ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

රන්වීර්ගේ පාර්ශවයෙන් නිහඬතාවයක්

තමන්ගේ ස්ථාවරය සහ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස FWICE සංගමය රන්වීර් සිංගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මෙම මතභේදාත්මක තත්ත්වය පිළිබඳව රන්වීර් සිං මෙතෙක් ප්‍රසිද්ධියේ කිසිදු අදහසක් පළ කර නොමැති වුවද, ඔහුව කැඳවීමට හෝ ප්‍රශ්න කිරීමට මෙම වෘත්තීය සමිතියට ඇති නීත්‍යානුකූල බලය පිළිබඳව රන්වීර්ගේ නීතිමය කණ්ඩායම ප්‍රශ්න කර ඇත.

සිනමා සේවකයින්ගේ සම්මේලනයේ දැඩි තීරණය

මේ පිළිබඳව අදහස් දක්වමින් බටහිර ඉන්දීය සිනමා සේවකයින්ගේ සම්මේලනයේ සභාපති බී. එන්. තිවාරි (B.N. Tiwari) ප්‍රකාශ කළේ, රන්වීර් සිං තම නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට එකඟ වන තෙක් ඔහුට සහය නොදැක්වීමේ (Non-cooperation) සහ ඔහු සමඟ වැඩ නොකිරීමේ නියෝගයක් නිකුත් කිරීමට වෘත්තීය සමිතිය තීරණය කළ බවයි.

"සුපිරි තරුවක් වුණත් නීති රීති සහ සිනමා කර්මාන්තයේ පැවැත්මට වඩා ලොකු වෙන්නේ නැහැ කියන පණිවිඩය සමස්ත බොලිවුඩ් සිනමාවටම ලබා දෙන්න අපි තීරණය කළා." යැයි බී. එන්. තිවාරි වැඩිදුරටත් අවධාරණය කළේය.

චිත්‍රපටයේ ඉදිරි ගමනට කුමක් වෙයිද?

'ඩොන්' පළමු සහ දෙවන කොටස් සඳහා අමිතාබ් බච්චන් සහ ෂාරුක් ඛාන් වැනි සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින් පණ පෙවූ අතර, එහි තුන්වන කොටස සඳහා රන්වීර් සිං තෝරා ගැනීම පිළිබඳව මුල සිටම ප්‍රේක්ෂකයන් අතර විවිධ මත පළවිය.

කෙසේ වෙතත්, මෙම නවතම අර්බුදයත් සමඟ 'ඩොන් 3' චිත්‍රපටයේ රූගත කිරීම් තවදුරටත් ප්‍රමාද වනු ඇති බවත්, රන්වීර් සිං වෙනුවට වෙනත් නළුවෙකු ආදේශ කිරීමට නිෂ්පාදකවරුන්ට සිදුවනු ඇති බවත් බොලිවුඩ් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්