මෙරට ලිංගික ශ්‍රමිකයන්ගේ යථාර්ථය සහ පීඩනය තේමාව කරගත් නවතම සිනමා නිර්මාණය දිවයින පුරා සිනමාහල්වලට
පීඩිත පන්තියේ අරගලය සහ එහි ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
සිනමාකරු චින්තන ධර්මදාසගේ නවතම සිනමා නිර්මාණය වන ‘අභිසාරී’ සිනමාපටය ජූලි 24 වනදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් මුහුණ දෙන සංකීර්ණ සමාජීය සහ නීතිමය යථාර්ථයන් මෙන්ම ඔවුන් විඳින පීඩනය තේමාව කරගනිමින් මෙම නිර්මාණය ගොඩනගා ඇත.
පබෝදා සංදීපනී, අකලංක ප්‍රභාශ්වර, නිපුනි පූජිතා ගුණවර්ධන, ශ්‍යාම් ප්‍රනාන්දු, ජෙනට් ඇන්තනි, ප්‍රියා රණසිංහ, සරත් කුලාංග, දිසිනි ලියනගේ, ආලෝකා ගයත්‍රි, උදාර අබේසුන්දර, ප්‍රේමනාත් දොළවත්ත, මධුශාන් හත්ලහවත්ත, දේශාන් සේනාරත්න, කසුන් ගුණවර්ධන, ලක්මාල් සඳරුවන්, සංජීව දිසානායක සහ ගිනිශා දන්දෙනිය ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත නිරූපණය කරති. නුවන් ජයසූරිය නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ විසිනි.

අමාත්‍ය ලාල් කාන්තගේ ප්‍රකාශය
‘අභිසාරී’ සිනමාපටයේ මංගල දර්ශනය නැරඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත සඳහන් කළේ, සිනමාපටය පුරා දිවෙන්නේ සමාජීය පීඩනය බවයි. මෙරට පීඩාවට පත්වන ප්‍රධාන ජන කණ්ඩායමක් ලෙස අභිසාරිකාවන් හඳුන්වා දුන් අමාත්‍යවරයා, තමන් සැමවිටම පීඩිත පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේය.
"අපේ ගෙදර පූසා වුණත් ලේනෙක් ඇල්ලුවොත් අපි ගන්නේ පූසාගේ පැත්ත නෙමෙයි, ලේනාගේ පැත්ත. පූසාට ගහලා ලේනාව බේරගන්නවා. මෙතැනදීත් කියන්න තියෙන්නේ ඒකයි. අපි ඉන්නේ ලේනාගේ පැත්තේ. අපි පීඩාවට එරෙහිව අරගල කරන මිනිස්සු හැමදාමත්. අපිට තව බොහෝ කාලයක් පීඩාවන්ට එරෙහිව අරගල කරන්න තියෙනවා. ඒකේ කෙළවර දිනනවා. ෆිල්ම් එකෙත් අන්තිම විනාඩි 5 හිතට සතුටක් දැනුණා. අරගලයේ ජයග්‍රහණයක් තියෙනවා කියන එක පැහැදිලි," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.









