leader s

ට්‍රෝයි විනාශයේ සිට ගාසා සහ ඔපන්හයිමර් දක්වා: නොලාන්ගේ සිනමා කැන්වසය මත ප්‍රති-වීරයෙකු වන ඔඩිසියස්

ශිෂ්ටාචාරයේ ම්ලේච්ඡත්වය සහ බටහිර සහරාවේ රූගත කිරීම් මැද මතුවූ නොලාන්ගේ දෙබිඩි දේශපාලනික පරස්පරතාව


කඩමාළු ඇඳගත් යාචකයෙකු ඔබේ නිවසේ දොරකඩට පැමිණියහොත්, සමහර විට ඔබ ඔහුට බැණ එළවා දමනු ඇත. ඔබේ දොරකඩට පැමිණි රැවටිලිකාර යාචක ආගන්තුකයා ඇත්ත වශයෙන්ම ඔබ සිතූ දේ ලබාදෙන වෙස්වලාගත් දෙවියෙකු නම්. නොඑසේ නම් කලකට පෙර ගෙදරින් ගිය ඔබ අපේක්ෂාවෙන් නැවත වෙස්වලාගෙන පැමිණි ඔබේම සැමියා නම්. කෝකටත් ඔබ සුහදශීලී සහ විවෘත හදවතක් ඇති ආගන්තුක සත්කාර දන්නා අයෙකු ලෙස හැසිරීම වඩා හොඳය. එවිට එය පැවැත්මේ ක්‍රියාවක් ලෙස වෙස්වලාගත් මිත්‍රත්වයේ ක්‍රියාවක් බවට දෝලනය විය හැකි නිසාය.

වසර 3000 ක් පරණ කාව්‍ය වියමනක් නවීන ආර්ශනීය සිනමා වියමනක් කිරීම යනු තරමක අභියෝගයකි. හෝමර්ගේ දේව වාක්‍යයක් වැනි දීර්ඝ කවියක් නොලාන් තමන්ට අවශ්‍ය තැනින් කපා නිර්භීතව වෙනත් අතිරේක දේශපාලන අර්ථයක ගැට ගසා සිනමාවේ කාලය හා අවකාශය හරහා වේගයෙන් දිවවීම යනු ඊටත් වඩා අපහසු අභියෝගාත්මක කාර්යයකි.
 
WhatsApp Image 2026 07 31 at 12.26.53 1
"හෝමරික කවිවල හරය මිනිසාට සිදුවිය හැකි විශාලතම ව්‍යසනයන්ගෙන් එකක් වන තමන් ජීවත් වන නගරයේ විනාශය සිහිපත් කිරීමයි" යනුවෙන් සාහිත්‍ය විචාරක ‘ජෝර්ජ් ස්ටයිනර්’ ලිවීය. පැරණි යුගයට අනුව නගරයක් යනු මිනිසාගේ වංශවත් බවේ බාහිර එකතුවයි. එහි දී, ඔහුගේ තත්ත්වය වඩාත් මුළුමනින්ම මානුෂීය කර ඇත. තමන් ජීවත් වන නගරය විනාශ වූ විට, කෙනෙකුට තවදුරටත් එහි සැරිසැරීම හෝ රැඳී සිටීම වෙනුවට ආපසු යාමට බල කෙරෙයි. ඒ අනුව ට්‍රෝයි නගරය විනාශ කිරීමෙන් පසු තව දුරටත් එහි රැඳී සිටීමේ ඵලය කුමක්ද? හෝමර් අපට පවසන්නේ වසර ගණනාවක් සහ බොහෝ ඉබාගාතේ යාමෙන් පසුව වුවද, අපට තවමත් ආපසු නිවසට යා හැකි බව යැයි ‘ස්ටයිනර්’ පවසයි.
 
WhatsApp Image 2026 07 31 at 12.27.07ක්‍රිස්ටෝපර් නොලාන්ක්‍රිස්ටෝපර් නොලාන්ගේ “The Odyssey” සිනමා කෘතියේද කිසියම් නගරයක් විනාශ කිරීම පසුබිම් වේ. එය හෝමර්ගේ ට්‍රෝයි නගරය ම බව ඔහු සෘජුව නොකියයි. සමහරවිට එය හිරෝෂිමා සහ නාගසාකි විය හැකිය. නැතිනම් වර්තමාන ගාසා විය හැකිය. හෝමර්ට වෙනස්ව, නෝලන් අපට පවසන්නට උත්සාහ කරන්නේ ආපසු පැමිණීමක් නූතන මනුෂ්‍යත්වයට තවදුරටත් කළ නොහැකි බවයි. එනම්, හෝමර් මෙන් නොව, නොලාන්ගේ ඔඩිසියස්ට සැබෑ නැවත පැමිණීමක් නොමැත. වසර විස්සකට පෙර වීරයෙකු ලෙස සිය නිවසින් පිටමං වන ඔඩිසියස් වසර විස්සකට පසු නැවත සිය නිවසට පැමිණෙන්නේ පව්කාරයෙකු, වරදකාරයෙකු හා අපරාධකාරයෙකු ලෙසය. භෞතිකව, ඔහු ඉතාකා වෙත ආපසු පැමිණ තම බිරිඳ පෙනිලොප් අපේෂාවෙන් සිටින පෙම්වතුන් විනාශ කර ඔවුන් පරාජය කරයි. නමුත් ඔහු ඉන් ජය ගත්තද තම පැරණි ජීවිතයට ආපසු යා නොහැකි අතර ඔහු තමාගේම නිවස තුළ ආගන්තුකයෙකු බවට පත් කර ඇත.
 
Oppenheimer poster crop 1024x769.jpg.optimalOppenheimer

නූතන ශිෂ්ටාචාරය සහ සදාචාරය හුදෙක් මුහුණතක් පමණක් බව, එසේම නූතන ශිෂ්ටාචාරයේ ආවරණය ඉතා තුනී බව හා එහි ම්ලේච්ඡත්වය සහ අරාජිකත්වය කෙස් ගහක් දුරින් පිහිටා ඇතැයි යන ජෝර්ජ් ස්ටයිනර්ගේ අදහස වැරෙන් අල්ලා එම අදහසට භෞතික අර්ථයක් දෙන්නට උත්සාහ කරන්නේ අන් කවරෙකුවත් නොව ක්‍රිස්ටෝපර් නාලාන්ය. ස්ටයිනර්ගේ මේ අදහස භෞතික කරන්නට මුලින්ම උත්සාහ ගත්තේ 2023 වසරේ ඔහු විසින් නිර්මාණය කළ “Oppenheimer” සිනමා කෘතියේ කේන්ද්‍රීය පූර්විකාව හරහාය. පූර්ව පරමාණුක යුගයේ සිට පරමාණුක යුගයට ගමන් කිරීමේ මිල ලෝකයේ විනාශය බව නොලාන් “Oppenheimer” හි අපට පැවසුවේය. අපගේ ශිෂ්ටාචාරය කෙළවරක් හැරී දැන් නව, අවිනිශ්චිත යුගයක අද්දර සිටී. අවශ්‍ය නම් මේ බව අපට පැවසීමට නොලාන්ගේ අසමසම සිනමාකරණයට එහා යා හැකිය. 1882 තරම් ඈත කාලයේ දී, ෆ්‍රෙඩ්රික් නීට්ෂේ දෙවියන් වහන්සේගේ මරණය ගැන ලිවීය. මෙයින්, ඇත්ත වශයෙන්ම, නීට්ෂේ අදේවවාදය පිළිබඳ හුදු සරල ප්‍රකාශයක් ඉදිරිපත් කළේ නැත. ඔහු නූතනත්වය සහ විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය කෙරෙහි එහි නොසැලෙන, උමතු විශ්වාසය හඳුනා ගනිමින් සිටියේය. නූතන තාක්‍ෂණික ලෝකයේ දෙවියන් සඳහා ඉඩක් ඉතිරිව නැත. නමුත් එබැවින් නීට්ෂේගේ ප්‍රකාශයේ බලය අපි නවීන තාක්‍ෂණයෙන් දෙවියන් වහන්සේ මරා දමා ඇත්නම්, අපට ඇත්තටම ඉතිරිව ඇති දේ සහ අපට අහිමි වී ඇති දේ ගැන අප සිතුවේද?

දෙවන ලෝක යුද්ධය අවසානයේ, හෝර්කයිමර් සහ ඇඩෝර්නෝ ඔවුන්ගේ "ප්‍රබුද්ධත්වයේ අපෝහකය" (Dialectic of Enlightenment) නම් ග්‍රන්ථයේ, තාර්කිකත්වය, ප්‍රගතිය සහ නවීන තාක්‍ෂණය යන උසස් පරමාදර්ශ මගින් එවැනි කිව නොහැකි සංහාරයක් සිදු කළේ කෙසේදැයි විමසූහ. නවීන තාක්‍ෂණය හරහා සියල්ල කෙරෙහි ප්‍රවීණත්වය ලබා ගැනීමේ මානව වර්ගයාගේ අතෘප්තිමත් අභිලාෂය මිනිසා විසින්ම යටත් කර ගැනීමට සහ සූරාකෑමට හේතු වන බව දැකීමට අපට උපකාර කරන්නේ හයිඩෙගර් ය. පරමාණු බෝම්බය ඉංජිනේරු තාක්ෂණයේ ආශ්චර්යයක් විය හැකි නමුත්, එය නූතන මිනිසාගේ හිස්කමේ එසේ නැතිනම් ශුන්‍යවාදයේ උත්තරීතර ප්‍රකාශනය ද වේ.
 
WhatsApp Image 2026 07 31 at 12.27.19
නොලාන්ගේ තිර පිටපතට හා අධ්‍යක්ෂණයට අනුව, විවෘතභාවය සහ විශ්වාසය පිළිබඳ හෝමර්ගේ  අදහස ඔඩිසියස් (Matt Damon) විසින් පාවා දෙන ලදී. ඔඩිසියස් ඔහුගේ බිරිඳ වන පෙනිලොප් (Anne  Hathaway) ට (ග්‍රීක උපමා කතාව ගොඩ නගන හෝමර්ට පිටුපා) විලාප තබයි. ඇයට විලාප තබා කතා කරන කඩමාළු ඇඳගත් යාචකයා ඇගේ දිගු කලක් අහිමි වූ සැමියා බව වටහාගැනීම හෝ නොගැනීම හරහා නොලාන් අපට තේරුම් කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද? නොලාන් හෝමර්ගේ මිත්‍යා කතාවේ එන මිත්‍යාව වෙනත් තැනක තබා අප තුළම ඇති වරදකාරීත්වය නමැති හෙළිදරව්ව අපට මුණ ගස්වයි. කතාවේ වීරයා වන ඔඩිසියස් තමා යුද අපරාධකරුවෙකු බව පාපොච්චාරණය කරයි. ඔහුගේ අත්වල ලේ තැවරී ඇති බවට වරදකාරී හැඟීමකින් පෙළෙන වග අපට පෙන්වයි. හෝමර්ගේ “Odyssey” හි ප්‍රචණ්ඩත්වය පිරිමින්ගේ ආත්මය කෙතරම් අඩපණ කරන්නේද යන්න කිසිඳු ආකාරයකින් නොපෙන්වයි. එය එහි නංවා ඇත්තේ වීරත්වයකටය. හෝමර්ගේ මුල් පිටපත, ආරම්භයේ සිට අවසානය දක්වා, පිරිමි ආධිපත්‍යය හෙවත් පීතෘමූලිකත්වය නැවත තහවුරු කරයි. පිරිමි ස්වයං ප්‍රතිරූපය ඔවුන්ගේ සත්ව ස්වභාවය සඟවන වෙස් මුහුණක් වග නොලාන් අපට ඇහැට අඟිල්ලෙන් ඇන පෙන්වයි. නොලාන්ගේ “The Odyssey” අපගේ ගැඹුරු අභ්‍යන්තරය පිළිබඳ පරණ මිත්‍යාවක අලුත් හෙළිදරව්වක් සපයනවා යැයි මා මුලින් ලියූයේ ඒ නිසාය. එනම්, නොලාන් ඉතා දක්ෂ ලෙස අපගේ අභ්‍යන්තර අරගලය බාහිරකරණය කරයි.
WhatsApp Image 2026 07 31 at 12.27.20
 
ඒ අනුව නොලාන් අපට ආරාධනා කරන්නේ, ඇමරිකානුවන් තුළ ඇති ඉබාගාතේ යාමට ඇති නොසන්සුන් ආශාව සහ නැවත පැමිණීමේ ආශාව අතර ඇති හිඩස ඉරා දමන ලෙසය. මිනිස් ආශාවන්ගේ ඇති මෙම ද්විකෝටික භාවය ග්‍රීක මහා කවි හෝමර්ගේ “Odyssey” හි ලක්ෂණයක් වන අතර, එහි නාමික වීරයා නව භූමි ප්‍රදේශයක් සිතියම් ගත කිරීමට (ආක්‍රමණය කිරීමට) ආශා කරන අතර ඔහුගේ මුතුන් මිත්තෝ ඉතාකා දූපතට නැවත පැමිණීමට ආශා කරති. එය පුරාණ ග්‍රීක වීර කාව්‍යය සහ වර්තමාන ඇමෙරිකානු ජීවිතය අතර ගැඹුරු සමානකම මෙන්ම අපගේ මෙම බෙදී ගිය ආත්මයේ හරය තුළ පවතින විරුද්ධාභාසය මැනවින් පෙන්නුම් කරන්නකි. නොලාන් එක් අතකින් හුදු සම්ප්‍රදායිකවාදය සහ අනෙක් පැත්තෙන් විලාසිතාමය බහු සංස්කෘතිකවාදය අතර මාර්ගයක් සොයයි. ඔඩිසියස් පළමු වරට බටහිර දේශපාලන සන්දර්භයේ උභතෝකෝටිකය සහ සමහර විට මානව විරුද්ධාභාසය වඩාත් පොදුවේ මූර්තිමත් කිරීමක් කරයි. එක් ආකාරයකින්, ඔහුගේ ඉබාගාතේ යාම ඔහුට මානව අත්දැකීම්වල සම්පූර්ණ පරාසයකට විවෘත කරයි. ඔඩිසියස් පිළිබඳ පරාවර්තනය හරහා අවසානයේ දේශප්‍රේමය සහ ගෝලීයකරණය අතර, හුදකලාව සහ සමාජීයත්වය අතර අපගේ කාලයේ ආවේණික වූ ආත්මීය බෙදීමකට නොලාන් අපව තල්ලු කරයි. පෞරාණිකත්වය පිළිබඳ දක්ෂිණාංශිකයාගේ උමතුව ලැජ්ජා හිතෙන තරමට එළිදරව් කරන නොලාන්,  පුරාණ ලෝකය යනු ජාතිවාදීන්ට තමන්ව දැකගත හැකි, ශාස්ත්‍රීය කීර්තියෙන් නීත්‍යානුකූල කර ඇති සහ ඉතිහාසය ඔවුන්ගේ වටිනාකම් පිළිබිඹු කරන කැඩපතක්ය යන තර්කය කිසියම් ආකාරයක දාර්ශනික හැඩයකින් අවධාරණය කරයි.

නොලාන් අපට කියන්නට උත්සාහ කරන්නේ, හෝමර්ගේ ඔඩිසියස් යනු බලය අවධාරණය කරන කවිය සහ මනස අවධාරණය කරන කවිය අතර වෙනස සනිටුහන් කරන බවයි. නොලාන් මෙහි ඔඩිසියානු සාදෘශ්‍යයක් අවධාරණය කරයි. ඒ ජීවිතයේ අවිනිශ්චිත තත්ත්වයන් මධ්‍යයේ කෙනෙකුගේ අනන්‍යතාවය සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහයයි. නිවස සඳහා ඇති ආශාව දැනුම සඳහා ඇති ආශාව සමඟ තරඟ කරයි. සමහර විට එකක් අනෙකාගේ තත්ත්වය විය හැකිය. මිනිස් ආත්මයේ ගැඹුරේ චලනය වන බෙදුණු පක්ෂපාතිත්වය අප සමඟ බොහෝ කලක සිට පැවත එන බව පැවසීම සාධාරණ බව නොලාන් අපට කියයි. ඒ අනුව “The Odyssey” යනු විශිෂ්ට ඇමරිකානු වීර කාව්‍යයක් ලෙසද සේවය කරන ග්‍රීක  පුරාණ කතාවකි. ඒ නිසා නොලාන්ගේ සිනමා කෘතිය ග්‍රීසියේ ඔඩිසියස්ගේ කතාව පමණක් නොව ඇමෙරිකානු ආත්මයේම කතාව යැයි අවශ්‍ය නම් අපට නම් කළ හැකිය.
 
WhatsApp Image 2026 07 31 at 12.27.21
කොහොමටත් අපගේ පුරාණ ඉරණම දරුණු ලෙස අප වෙත පැමිණෙන විට අපි යම් කලකිරීමකට ලක් වන්නෙමු. අපගේ අශුභවාදය පවතින්නේ, එය අපට කොතරම් නරක වූවත්, එය අප පිළිබඳ භයානක සත්‍යය බවට පත්වන අපගේම නිගමනය තුළ ය. මෙම අශුභවාදී නිගමනය පැමිණෙන්නේ අපගේ ස්වයං අවබෝධය ඓතිහාසිකකරණය කිරීමෙන් හා මානව ඉතිහාසය ප්‍රගතිය කරා ගමන් කරන්නේද නැතහොත් පිරිහෙමින් පවතින්නේද යන්න පිළිබඳ මහා විවාදය උත්තේජනය කිරීමෙනි. ඒ අනුව නොලාන් කරන්නේ, මෙය අපගේ කාලයේ ලෝකය සහ හෝමර්ගේ කාලයේ ලෝකය අතර වෙන්වීම සළකුණු කිරීමකි.
WhatsApp Image 2026 07 31 at 12.27.20 2
 
මෙය දාර්ශනිකව ගතහොත් හෙජමොනික බලය විසින් ආත්මීයව අපේ ජීවිත කොතරම් වෙනස් කරනවාද යන්න එනම්, හෝමර්ගේ “මිනිස් ස්වභාවය” පිළිබඳ වන සුවිශේෂී දැක්ම ඊටත් වඩා වැඩි අවකාශයක එය නොලාන් විසින් අවධාරණය කරන ලද බවයි. එය සීමාවන් පිළිබඳ අවබෝධයකට සහජයෙන්ම සම්බන්ධ වූ දැක්මකි. මිනිසුන් දෙවිවරුන් හෝ තිරිසනුන් නොවන අතර, ඔවුන් කැමති වූවත් නැතත්, ඔවුන් තම අඩුපාඩු හඳුනාගෙන ඔවුන්ගේ ඉරණම තීන්දු කර ගන්නා අය බවයි. එබැවින්, හෝමර්ගේ ඔඩිසියස්, ඔගිගියා(Ogygia) දූපතේ අමරණීයභාවය පිළිබඳ කැලිප්සෝගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින්, ඔහුගේ ආරණීය බිරිඳ වන පෙනිලොප් වෙත නැවත පැමිණීමට කැමැත්තක් දක්වයි. නොලාන්ගේ “The Odyssey” වඩා නරක අමානුෂික සමාජ තත්ත්වයක සිට වඩා හොඳ මානුෂික සමාජ තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීමට හැකි විය හැකි බව විශ්වාස කිරීමට අපව පොළඹවන දේශපාලන ලෝකයක මිනිසුන් ලෙස රැඳී සිටීමේ අභියෝගය අවධාරණය කරයි.

ප්‍රචණ්ඩත්වය, ආශාව, සහ මායාවෙන් පිරුණු හෝමර්ගේ සම්භාව්‍ය වීර කාව්‍යය යනු දශක ගණනාවක් තිස්සේ විවිධ කලා මාධ්‍යයන් උපයෝගී කරගෙන ඇති ලොව පුරා පැතිරුණු, දශක ගණනාවක් පුරා විහිදුණු වික්‍රමාන්විතයකි. නමුත් නොලාන් “The Odyssey” හරහා කර ඇත්තේ, සිනමා කැන්වසය මත හෝමර්ගේ සම්භාව්‍ය වීර කාව්‍යය නූතනවාදී ආකාරයකට නැවත ප්‍රතිනිර්මාණය කිරීමකි. එය සියලු ආකාරයේ දේශපාලන හා සංස්කෘතික දුක්ගැනවිලි සඳහා අකුණු සැරයක් මෙන් අප ඉදිරියේ තැබීමට නොලාන් වග බලා ගනියි. නූතන යුගයේ කලාත්මක දැක්ම නවීන තාක්ෂණය හා වෙළඳපොළ සමඟ වඩාත් සාර්ථකව ඒකාබද්ධ කළ සිනමාකරුවා නොලාන් වන නිසා ඔහු එය සාර්ථකව කරමින් සිටියි.
 
WhatsApp Image 2026 07 31 at 12.27.21 1
ලෝකඩ යුගයේ අග භාගය පිළිබඳ අතිශය නොපැහැදිලි සංස්කෘතික මතකයක් පමණක් තිබුණද, ට්‍රෝයි හි සටන් කළ රණශූරයන් සහ ඔවුන්ගේ දරුවන් වීරයන්ගේ යුගයක අවසාන පරම්පරාවන් ලෙස තබන්නටත්, ආගන්තුක සත්කාරය, කරුණාව සහ දයාව යන සමාජ සම්මතයන් හෝ පුරුෂාර්ථ ගෝලීය නව ලිබරල් ධනවාදී ගොඩනැංවීම තුළ ශිෂ්ටාචාර බිඳවැටීමක් පිළිබඳ දර්ශනයක් ගෙන එන්නටත් නොලාන් මෙමගින් උත්සාහ කරයි. කෘතියේ වඩාත්ම කැපී පෙනෙන පුද්ගලයා මෙන්ම ග්‍රීකයන්ගේ නායකයා වන ඇගමෙම්නන් සිය කෘතියේ නිහඬ, චරිතයක් ලෙස තැබීමෙන් ඔහු ශිෂ්ටාචාර බිඳවැටීමේ සැබෑ කතුවරයා වග අපට පසක් කරයි. ඉතිහාසයේ රණශූර රජවරු ග්‍රීක හමුදාවක් ගොඩනඟා ගැනීම ගැටළුවට හේතුව මිස විසඳුම නොවන වග නොලාන් කෘතිය තුළින් පසක් කරයි. නමුත්, නොලාන් එම ශිෂ්ටාචාරය ප්‍රතික්ෂේප නොකරයි. වසර 20 ක් කාන්තාවක් ලෙස පෙනිලොප්, ඉතාකා පාලනය කළද ඇයට එහි නිල පාලකයා විය නොහැකි බවත්, ඒ වෙනුවට ස්වාමිපුරුෂයෙකු (පිරිමියෙකු) සොයා ගැනීමට එම සමාජය විසින් බල කරන බවත් අපට පෙන්වයි. සමාජයක ව්‍යුහාත්මක ගැටළු කුමක් වුවත්, එහි ව්‍යසනකාරී බිඳවැටීම පැමිණෙන්නේ එම ව්‍යුහාත්මක ගැටළුවලින් නොව, දිගුකාලීන හැසිරීම් සම්මතයන් උල්ලංඝනය කිරීමෙනි. ඔඩිසියස්ගේ අශ්වයා, ට්‍රෝයි හි දොරටු පමණක් නොව මූලධාර්මිකව චෙස්ටර්ටන්ගේ වැට (Chesterton’s Fence යනු යනු අප පැනීමට පෙර බැලීමට අපට මතක් කර දෙන මූලධර්මයකි. අප ක්‍රියා කිරීමට පෙර තේරුම් ගැනීමට. වෙනසක් සඳහා මැදිහත් වීමට පෙර යමක් එසේ වන්නේ මන්දැයි තේරුම් ගැනීමට එය අනතුරු ඇඟවීමේ මතක් කිරීමකි. මෙම මූලධර්මය ජී.කේ. චෙස්ටර්ටන්ගේ උපමාවකින් පැමිණේ) ද බිඳ දමන වග නොලාන් හරි අපූරුවට පෙන්වයි.
 
WhatsApp Image 2026 07 31 at 12.27.20 1
සිනමා කෘතියේ එක්තරා තැනක, අශ්වයන් පිට නැගී සිටින ට්‍රෝජන් සොල්දාදුවන් වෙරළට ආසන්න වැල්ලේ අඩක් වැළලී ඇති යෝධ ප්‍රතිමාවක් වන ලීයෙන් තැනූ ට්‍රෝජන් අශ්වයා වෙත දිව යයි. ට්‍රෝජන් අශ්වයා සාම පූජාවක් බව පවසන බියට පත් සොල්දාදුවා වන සිනොන් ඔවුන් දකියි. යුද්ධයෙන් දැඩි වූ ඔවුන් සිනොන්ව මරා දැමූ නමුත් ප්‍රතිමාව නගරයට රෝද මත තබා ගෙන යයි. එම ලී ට්‍රෝජන් අශ්වයාගේ ඇතුලෙහි, ඔඩිසියස් සහ ඔහුගේ මිනිසුන් රාත්‍රිය උදාවන තෙක් සැඟවී බලා සිටින්නේ මරණය සහ විනාශය ගෙන ඒම සඳහා ඔවුන්ගේ හමුදාව ට්‍රෝයි හි දොරටු විවෘත කිරීමටය.
 
යුද්ධය, දරිද්‍රතාවය සහ ගෝලීය යුධ උණුසුම පවතින කාලයක, අපට හෝමර්ගේ  “Odyssey”  හි මෙම අනුවාදය අත්‍යවශ්‍ය වේ. එහිදී හෝමර්ගේ ඔඩිසියස් හුදෙක් හෝමර් විසින් ගොඩ නගන ලද ඓතිහාසික කපටි වීරයෙකු ලෙස නොව, යුද්ධයෙන් පරිවර්තනය වී එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට බල කරන මිනිසෙකු ලෙස නොලාන් සිය ඔඩිසියස් ගොඩ නංවයි. නොලාන් සිය කෘතියේ ප්‍රධාන චරිතය වන ඔඩිසියස්ගේ ආත්මය ඉදිරිපත් කරන්නට උත්සාහ කරන අතර, එය මුල් කෘතිය ඉදිරිපත් කළ හෝමර්ගේ අභිලාශයට වෙනස් ආකාරයේ ගොඩ නැංවීමකි. හෝමර් සිය මුල් කෘතියේ ප්‍රධාන චරිතය වන ඔඩිසියස් තුළින් ගොඩ නංවන්නට උත්සාහ කළේ වීරත්වය මිස අන් යමක් නොවේ. මෙහිදී නොලාන් හෝමර්ගේ කෘතිය වේදනාවෙන් පෙළෙන ප්‍රති වීරයෙකුගේ කතාවකට මාරු කරයි. ට්‍රෝයි ගිනි ගන්නා අතරතුර නොලාන්ගේ ඔඩිසියස් හිරිවැටී ඇවිදින විට, ඔබට එය ට්‍රෝයි ලෙස නොව එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ගාසා හෝ ඉරානයේ ටෙහෙරානය ලෙස හෝ කාන්තාර කුණාටුව අතරතුර බැග්ඩෑඩ් ලෙස හෝ මිලිටරි පුරුෂභාවය හෙළා දකින අර්ථයකට ගෙන එයි. ක්‍රි.පූ. 8 වන සියවසේ වීර කාව්‍යයේ සංවේදනය අසාර්ථක වීම එක් අතකින් නොලාන් නිවැරදි කරයි. බියට පත් හා තුවාල ලැබූ මිනිසෙකු තම මනුෂ්‍යත්වය මෙනෙහි කිරීමට උත්සාහ කරන ආකාරය හා ඔහුට සාමාන්‍ය ස්වාමිපුරුෂයෙක් ලෙස නිවසට පැමිණිය හැකි ආකාරය මෙනෙහි කරයි.
WhatsApp Image 2026 07 31 at 12.27.21 2
 
පරමාණු බෝම්බයේ පියා පිළිබඳ ඓතිහාසික චරිතාපදානයක් වන "Oppenheimer" හි සාර්ථකත්වයෙන් නැවුම් වූ නොලාන්  ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් සහ ඔස්කාර් සම්මාන හතක් උපයා ගනිමින්, රෙඩ් කාපටය ඉරා දමා ඔස්කාර් රාත්‍රියේ ආපසු නිවසට පැමිණෙන විට ඔහුගේ දොරකඩ IMAX වෙතින් ආ හිස් චෙක්පතක් තිබුණි. ඔහු අභිමතය පරිදි හිස් චෙක්පත ඩොලර් මිලියන 250 කින් පුරවා ඔහු කළ සිනමා සිත්තම වන්නේ මෙයයි. නොලාන් “The Odyssey” තුළින් හොලිවුඩ් ඉතිහාසයේ කුතුහලය දනවන පරතරයක් නිර්මාණය කරයි. “The Odyssey” යනු නරඹන්නාගේ ඇඹුල් වූ මුහුණේ ඇති කරන සිනහවකි. මෙහිදී, නොලාන් නැවතත් දෙවියන්ගේ චරිතය රඟපෑම, මානව හිංසනය, කාලය ගෙවී යාම සහ ලෝකයේ මන්දගාමී, වේදනාකාරී විනාශයට සාක්ෂි දැරීම යන ඔහුගේ සුපුරුදු තේමාවන් වෙත නැවත පැමිණෙයි. නොලාන් ඔහුගේ කෘතියෙන් කෘතියට අන්ධකාරයේ සහ ආලෝකයේ දී, ඔහුගේ චරිත මිනිස් ආත්මයේ සහ විඥානයේ සීමාවන්ට එරෙහිව ගමන් කරවයි. ඔහු මාධ්‍යයේ හැකියාවන් පරීක්ෂා කරන ආකාරයටම තමන්වමත් පරීක්ෂා කරයි. එම ආශාව ඔහුගේ "The Odyssey" හි ස්මාරක අනුවර්තනයේ සෑම රාමුවකම ඇත. කලාත්මක සිනමාව සහ බ්ලොක්බස්ටර් සිනමාව අතර පරතරය වසා දමන අධ්‍යක්ෂවරුන් සිටින්නේ ස්වල්ප දෙනෙකි. නොලාන් ඒ අතර ඉහළින්ම සිටියි. සිනමා තිරය ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු තබා ගැනීමට පමණක් නොව උද්යෝගිමත් වීමට යමක් ලබා දෙන සිනමාකරුවන් ස්වල්ප දෙනා අතරද නොලාන් සිටින්නේ ඉහළිනි.
 
WhatsApp Image 2026 07 31 at 12.27.22
නොලාන්ගේ “The Odyssey” සිනමා කෘතියේ බොහෝ තැන්  සදාචාරාත්මක ය. එසේම ඔහු, මිනිස්  සබඳතාවල ආත්මීය අඳුරු අහුමුළු විනිවිද යන අතරම ඔඩිසියස් සහ පෙනිලොප්ගේ ආදරය සහ පක්ෂපාතිත්වය පිළිබඳ අතීත පිරිසිදු සදාචාරය ප්‍රශ්න කර අදට රැගෙන එයි. අපගේ ඉරණම අපගේම අතේ කොතරම් දුරට තිබේද? හොඳ නායකයෙකු, හොඳ මිනිසෙකු, හොඳ ස්වාමිපුරුෂයෙකු කරන්නේ කුමක් ද? පළිගැනීමේ පිළිගත හැකි සීමාවන් මොනවාද? විවාහයක් සමන්විත වන්නේ කුමකින්ද? සහ වෙන්වීමේ කම්පන, දෙකට බෙදුණු අත්දැකීම් සහ වයසට යාමේ කම්පනවලින් එය බේරෙන්නේ කෙසේද? ආගන්තුකයන් ඔබේ වෙරළට පැමිණෙන විට ඔබ ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද?
 
ට්‍රෝයි විනාශ කිරීමට හේතු වූ ඔහු කළ උපක්‍රමය ගැන ඔඩිසියස්ට ඇදහිය නොහැකි වරදකාරී හැඟීමක් ඇති බව අපට දැනෙන්නට සළස්වන අතර, ග්‍රීකයන් එම විශ්වාසය පාවා දී නිරපේක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් ට්‍රෝයි වෙත පහර දුන් විට, ඔඩිසියස් බිය වන්නේ ඔහු සියුස්ගේ නීතිය සහ එය ඉඩ දුන් දියුණු ශිෂ්ටාචාරය විනාශ කර ඇතැයි යන හැඟීමටයි. මිනිසුන් නැවතත් විශ්වාසයට හෝ අනුකම්පාවට ගත නොහැකි තිරිසනුන් බවට පත්වනු ඇතැයි යන හැඟීමටයි. යුධ පිටියේ ලේ වැගිරීම්වලින් ආපසු පැමිණෙන සොල්දාදුවෙකුට සාමකාමී සිවිල් ජීවිතයට නැවත සම්බන්ධ විය හැක්කේ කෙසේද? ආදී ලෙස බිඳුණු සදාචාරවත් කැඩපතක ඉරිතැලීම් අතර තබා ඔහු අපට කියන්නේ මේ බිඳුණු ඉරි තැලීම් මත නිවැරදිව රූප ගලපන ලෙසය. අප හමුවට එන අමුත්තන්ට කරුණාවන්ත වීමට සහ විවිධ දේශපාලන හේතු නිසා ජීවිතාරක්ෂාව සඳහා එන සංක්‍රමණිකයන් පිළිගැනීමට ආයාචනා කිරීමට අමතරව, මේ දේවල් තක්සේරු කිරීමට සහ අනාගතයේදී දේවල් නිවැරදි කිරීමට අපට කළ හැකි දේ සිතීමට අදාළ සියුම් හා චිත්තවේගීය වශයෙන් බලපෑම් කරන දේශපාලන තර්කයක් ගිම්හාන බ්ලොක්බස්ටර් දවටනයෙන් ඔතා ස්ටැන්ලි කුබ්‍රික්ගේ මෙන් අර්ථයක් සහිත ත්‍රාසජනක ආකර්ශනීය සිනමා රූප පෙළක් එකට අමුණා පුදුම සහගත ලෙස අපව පොළඹවන්නට ඔහු උත්සාහ කරයි.
WhatsApp Image 2026 07 31 at 12.27.22 1
 
නොලාන් “The Odyssey” හරහා හෝමර් අතිශෝක්තියට නංවන ග්‍රීක ඉතිහාසය සහ සංස්කෘතික අනන්‍යතාවය ගොඩ නගාගෙන ඇත්තේ තවත් ජන කොටසකගේ හෝ තවත් ජන වර්ගයකගේ අනන්‍යතාවය හෙජමොනික ලෙස යටපත් කිරීමෙන් වග ඇඟේ නූල් පොටක් නැතිව අපට පසක් කර දෙන අතර ඔහු එතනින් නොනැවතී එම හෙජමොනික බලය නූතන ගෝලීය තලය ස්පර්ශ කරයි. නොලාන් සිය අනුවර්තනය තුළ සිනමා මාධ්‍යයේ අත්‍යන්ත සාධකයක් වන කාලය සහ අවකාශය හරහා බහු සංස්කෘතික ඇමෙරිකානු දේශපාලන හෙජමොනිය පිළිබිඹු කරයි. එහිදී ඔඩිසියස් ඔහුගේ ට්‍රෝජන් සැලැස්මේ බොහෝ ජීවිත පූජා කිරීම වීරත්වයට වඩා එහි ඇති තිරස්චීන ම්ලේච්ඡත්වය යථා ස්වරූපයෙන්ම තාත්වික ලෙස අප ඉදිරියේ තබන්නට නව තාක්ෂණය උපරිමව උපයෝගී කර ගනියි. බොහෝ දෙනෙකුගේ අවශ්‍යතා ප්‍රභූ ස්වල්ප දෙනෙකුගේ අවශ්‍යතා ඉක්මවා යන බව නොලාන් “The Odyssey” හි තර්ක කරයි.

යුද්ධයෙන් වෙහෙසට පත් ලෝකයක් පිළිබඳ හැඟීම මෙමගින් ජනනය කරයි. කවියේ ඔඩිසියස් තම පුත් ටෙලිමචස් රණශූරයෙකුගේ ජීවිතයට ඇතුළත් කරන අතර, ඔවුන්ගේ ගෘහස්ථ සතුරන් සමඟ සටන් කරන අතර, තරුණයා මිනීමරුවෙකුගේ ජීවන බරින් නිදහස් කිරීමට ක්‍රමයක් සොයා ගනී. හෝමර්ගේ “Odyssey” යනු යුද විරෝධී කවියක් නොවේ. එය පශ්චාත් යුධ කවියකි. හෝමර්ගේ “Odyssey” හි එය ශෝකජනක හා විනාශකාරී වුවද යුද්ධය යනු ජීවිතයේ සත්‍යයකි. නමුත් නොලාන්  “The Odyssey” හි ට්‍රෝයි විනාශ කිරීමේ ඔඩිසියස්ගේ පාපය සදාචාරාත්මක බරකින් නිදහස් කරයි. නොලාන් අවසානයේ තමාගේම පූර්වෝපායන් සහ කාංසාවන් සමඟ හෝමර්ගේ කවිය එක හුස්මට ගිල දමා, නූතන සංවේදීතාවන්ට හීලෑ කර සකස් කරන ලද අනුවර්තනයක් වමාරයි.
 
WhatsApp Image 2026 07 31 at 12.27.22 3
නොලාන්ගේ ඇදහිය නොහැකි ඇස් නිලංකාර කරන සිනමාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ, ‘බොරුව’ හෙවත් රැවටීම එහි ආකෘතිය බවට පත් කිරීම යැයි පැවසුවහොත් ඔහුගේ සිනමාව ගැන දන්නා ඕනෑම කෙනෙකු පිළිගනු ඇත. නොලාන්ගේ සිනමාවේ සත්‍යය අපට අභිමුඛ වන්නේ, බොරුව හෙවත් රැවටීම අවසන් වූ විගසය. නොඑසේ නම් අවසන් වූ පසුවය. බොහෝවිට ඔහුගේ සිනමාව මුලින් ඔබ නොමග යවා එසේ නැතිනම් රැවටීමකට ලක් කර ඒ නොමග යැවීම හෝ රැවටීම හරහා අවසානයේ ඔබට සත්‍යය අභිමුඛ කරයි. බොහෝ විට අපට සත්‍යය මුණ ගැසෙන්නේ රැවටීමකින් පසුවය. මිනිසුන් වන අප සත්‍යයට බිය නිසා බොහෝ විට බොරුව තුළ ජීවත් වේ. එසේත් නැතිනම් රැවටීම තුළ ජීවත් වේ. එය අපට තව දුරටත් ජීවත් වීමට අනුබල දෙන ප්‍රභල උත්ප්‍රේරකයකි. නොලාන්, හෝමර්ගේ පුරාණ යුගයයේ මිත්‍යාව (ඔඩිසියස්) හරහා අප ජීවත් වන යුගයේ වර්තමාන ගෝලීය සත්‍යය (නෙතනියාහු හා ට්‍රම්ප්) අභිමුඛ කරයි. අවශ්‍ය නම් අපට නොලාන් අභිමුඛ කරන ගෝලීය ආක්‍රමණශීලී ධනවාදය (සත්‍යය) වෙනුවට හෝමර්ගේ මිත්‍යාමතික පුරාණෝක්තිය තුළ තවදුරටත් ගිලී යා හැකිය. එය විසින් අපට ජීවත්වීමට ඇති බාදාව (ධනවාදය) අමතක කරනු ලබයි. එය අපට සහනයකි.
 
දැන් මම “The Odyssey” සිනමා කෘතිය කියවා ගැනීමට දරන ප්‍රයත්නයෙන් මදකට පිට පැණ නොලාන් කෘතිය කරන්නට ගිය ගමනේදී ඔහුගේ අඳුරු හා රුදුරු දේශපාලනික ක්‍රියාකාරකමක් කියවා ගැනීමට උත්සාහ කරමි. ඒ මෙහි රූගත කිරීමට අදාළවය. පසුගිය වසර 50 ක් පුරා මොරොක්කෝව අත්පත් කරගෙන සිටි වයඹදිග අප්‍රිකාවේ විශාල භූමි ප්‍රදේශයක් වන බටහිර සහරාවේ ඩක්ලා හි සමහර දර්ශන රූගත කිරීමට නොලාන් ගත් තීරණය සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ නොලාන් ව විවේචනය කරමින් සිටිති. එහි ජනතාවට එරෙහිව සංස්කෘතික ජන සංහාරයක් මෙන්ම, වාර්ගික සුද්දයක් සිදු කළ භූමියක මෙවැනි රූගත කිරීමකට තෝරා ගැනීමත්, ඉන් පසු ඊට එරෙහිව සිදු කළ විරෝධයද නොතකා එහි රූගත කෙරුණු මෙම දර්ශන කෘතියට භාවිතා කිරීමෙන්, නොලාන් මූලික වශයෙන් බටහිර සහරාවේ ඩක්ලා අත්පත් කර ගැනීමේ මොරොක්කෝ සහකරුවෙකු බවට පත්ව ඇතැයි ඔවුහු චෝදනා කරති. මේ පිළිබඳව අදහස් දක්වන එම භූමියට අයත් සිනමා අධ්‍යක්ෂකයෙකු වන අබිදින් මොහොමඩ් හමුඩි (Abidin Mohamed Hamudi) පවසන්නේ ඔහුට සිය මව්බිමේ සිය නිවසට යාම මරණීය හේතුවක්ව තිබියදී නොලාන්ට එහි ගොස් පහසුවෙන් ආරක්ෂිතව සිනමා රූගත කිරීමක් කළ හැකි වීම විශේෂයෙන් බටහිර ලෝකයේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී ආඛ්‍යාන පිළිබඳ වන දෙබිඩි පිළිවෙත මැනවින් ප්‍රදර්ශනය කරන්නක් බවයි. “ මම සිනමාකරුවෙක්. මට මගේ මව්බිමේ කැමරාක් දරා සිටීම බන්ධනාගාරගත වන අපරාධයක්”.
WhatsApp Image 2026 07 31 at 12.27.22 4
 
1975 දී ස්පාඤ්ඤ යටත් විජිත බලධාරීන් එම භූමිය මොරොක්කෝවට සහ බටහිර සහරා මායිමේ පිහිටා ඇති මොරිටේනියාව(Mauritania) ට භාර දුන් දා සිට උතුරෙන් සහ දකුණෙන් කුරිරු හමුදා ආක්‍රමණයකට ලක් විය. වර්තමානයේ එහි ජනතාවගෙන් අඩක් ඇල්ජීරියානු කාන්තාරයේ සරණාගත කඳවුරුවල දුක් විඳින අතර, අනෙක් භාගය මොරොක්කෝව විසින් ඉදිකරන ලද සහ මිලියන ගණනක් බිම් බෝම්බවලින් ශක්තිමත් කරන ලද කිලෝමීටර් 2,700 ක මිලිටරිකරණය කළ තාප්පයකින් වෙන් කරන ලද හුස්ම හිර කරන ලද හමුදා පොලිස් රාජ්‍යයක් යටතේ ජීවත් වේ. අප ජීවත් වන වර්තමානයේ එවැනි බිහිසුණු යථාර්ථයන් ත්‍රාසජනක සිනමා අත්දැකීමක් ලෙස IMAX විශාල තිරයට ගෙන එන්නට නොලාන්ලාට හිතෙන්නේ නැත. සිනමා මායාවෙන් ප්‍රබන්ධයට ආකර්ෂණය වූ ලෝකයක, අද වන විට එම නිශ්චිත තේමාවන් සහරාවේ ඩක්ලා ජනයා විසින් දිනපතා ජීවත් වන යථාර්ථය බව දැකීමට වඩා වසර 3,000 ක් පැරණි දුක් වේදනා, වෙන්වීම සහ පාවාදීම පිළිබඳ මිත්‍යා "කැණීම" නම් පහසු සහ ඇඟට සනීප තෝරා ගැනීම නොලාන් කර තිබේ යැයි මොහොමඩ් හමුඩි චෝදනා කරයි.
 
WhatsApp Image 2026 07 31 at 12.27.23
මෙම චෝදනාවේ අන්තර්ගත දේශපාලනයෙන් නොලාන්ට පළා යා නොහැකිය. ඔහු තවමත් ඒ සම්බන්ධයෙන් මුනිවත රකියි. නොලාන් වහා තම රටේ කලාව කිරීමට තබා ජීවත්වීමටවත් අයිතියක් නැති ඒ සම්බන්ධයෙන් බරපතළ විවේචයක් ගෙනෙන තම සිනමා සගයා (මොහොමඩ් හමුඩි) ට ප්‍රසිද්ධියේ පිළිතුරු දිය යුතුය. නොඑසේ නම් ඔහු ඔහුගේම විවේචනයට ලක් කරන ඔඩිසියස් පන්නයේ යුධ අපරාධකාරයෙකු නොවුණත් ඊට සහාය දක්වන්නෙකු බවට පත්වීමේ අගතියෙන් ගැළවිය නොහැකිය. සිය කෘතිය තුළ යුද්ධයෙන් වෙහෙසට පත් ලෝකයක් පිළිබඳ හැඟීම ජනනය කරන්නට උත්සාහ කරන සානුකම්පිතයෙකුට මේ ක්‍රියාව ගැන සමාවක් දිය නොහැකිය. 

මම දැන් මේ ලිවීම අවසන් කරන්නේ නොලාන්ගේම අදහසක් ණයට අරගනිමිනි. 2026 ජූලි 10 වැනිදා “The Telegraph” පුවත්පතට දෙන සම්මුඛ සාකච්ඡාවක එක් තැනක,දෙකක ක්‍රිස්ටෝපර් නොලාන් මෙසේ කියයි.
 
WhatsApp Image 2026 07 31 at 12.41.35
“…විනාශකාරී විනාශයේ මෙවලමක් නිර්මාණය කරන සහ පසුව ඔවුන් කළ දේ පිළිබඳ වරදකාරිත්වය සමඟ පොරබදන දක්ෂ මිනිසුන් දෙදෙනෙකු වන ඔපන්හයිමර් සහ ඔඩිසියස් අතර ඇති සමානකම් මට තදින්ම කාවැදුණා. මම මැට් ඩේමන් සමඟ කතා කළ විට, මම ඔහුගෙන් ඇසුවා, "ඔබ මුලින්ම පිටපත කියවූ විට ඔබ සිතුවේ කුමක්ද?" ඔහු පිළිතුරු දුන්නේ, ‘එය ඔපන්හයිමර් මෙන් දැනුණා’. මම හිතන්නේ ඒක සවිඥානික තේරීමක්…”

“…මට නම්, වැදගත් වූණේ ඒ කාලෙ මිනිස්සු දෙවියන් දිහා බැලූ ආකාරයටම අපිත් දෙවියන් දිහා බලන්න. ඒ නිසා ඔවුන් ස්වභාවධර්මයේ දෙවියන් ගැන සාක්ෂි දකිමින් ඉන්නව. ඔවුන් දෙවියන් සොයමින් ඉන්න අතර ඔවුන් සමග ඔවුන් අවට ජීවත් වන මිනිසුන් ළඟ ඇති දෙවියන්ගේ බලපෑම ද සොයමින් ඉන්නව. ඔඩිසියස් ටෙලිමචස්ට මෙහෙම කියන වාක්‍ය ඛණ්ඩයක් තියෙනව, “මිනිස්සු තුළ දෙවියන් හොයන්න එපා. එහෙම හොයන්න ගියොත් ඔබ කලකිරීමට පත්වේවි…”

“…ඔබ ගෙදරින් ගියහම, හමුවෙන ආගන්තුකයන්ගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙනවා, සති ගණන් හෝ මාස ගණන් ගමන් කරල කොහේ හරි නැවතුනාම, ඒ ඉන්න අය ඔබව පෝෂණය කරනව කියලා, තිබහට බොන්න වතුර උගුරක් දෙනව කියල විශ්වාස කරන්න ඕනේ. අවුරුදු තුන්දහසකට පෙර, ඒ තමයි හැමදේම. ඒ නිසා ආගන්තුකයෙක් වෙස්වලාගත් දෙවියෙක් වෙන්න පුළුවන් කියන මේ අදහස, විශ්වාස පද්ධතියක පදනමක් ලෙස ඉතා බලවත්…”

(සටහන | තිලක් කෝදාගොඩ )
සමාජ ක්‍රියාකාරික හා මාධ්‍යවේදී
leftwin.com

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්