"වැඩි ලාභ ලබන 'මාස් මාර්කට්' පවුලේ සිනමාවට පමණක් ලඝු වීම පුනරුදයක් නෙමෙයි: අර්බුදය ජයගන්න විසඳුම් දෙකක් මෙන්න
සිනමා ශාලා හිමියා එක්ක ගැටීම තේරුමක් නෑ; සිනමාවට තමන්ගේ ප්‍රේක්ෂකයා සොයාගෙන යන්න නිදහස් වෙළෙඳපොළ අවකාශයක් ඕනෑ''
ගොඩක් අය සිනමාවේ පුනරුදයක් ගැන කතා කළාට මං දකින්නෙ විශාල අර්බුදයක් පවතිනවා කියලයි. සිනමාව පවුලේ විනෝදාස්වාද සිනමාවක් බවට ලඝු වෙලා තියෙනවා නම්, වෙනස් වෙනස් ජොන්රා සිනමාවක පැවැත්මක් නැත්නම්, පවතින්නෙ වැඩි ලාභ උපයන 'මාස් මාර්කට්' සිනමාව පමණක් නම් එතන තියෙන්නෙ පුනරුදයක් නෙමෙයි.
මං දැක්කා සංජීව පුෂ්පකුමාර මගේ මිත්‍රයාත් බොහොම හිත් වේදනාවෙන් සිනමා ශාලාවක සිදුවූ අසාධාරණයක් ගැන කතා කරනවා. මගේ අදහස නම් අපි සිනමා ශාලා හිමියා සමග ගැටීම තේරුමක් නෑ කියන එකයි. සංජීවගේ චිත්‍රපටියට ලංකාවෙ සාධාරණ ප්‍රදර්ශනයක් ලැබිය යුතුයි. ඒ සිනමාව නරඹන ප්‍රේක්ෂකයන් පිරිසක් රටේ ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයාට තමන්ගේ අයිතිය ලැබිය යුතුයි.
"ශාලා හිමියා එක්ක ගැටීමෙන් පලක් නෑ - ඕනෑ වෙනස් ප්‍රදර්ශන අවකාශයක්"
අනෙක් පැත්තෙන් තමන්ගේ වියදමෙන් සිනමා ශාලාවක් පවත්වාගෙන යන ශාලා හිමියා ලාභ ලැබීමත් සිද්ද වෙන්න ඕන. තමන්ගේ සිනමා ශාලාවෙ ප්‍රදර්ශනය විය යුත්තේ කවර සිනමාවක්ද කියන තීරණය ගැනීමේ අයිතිය ඒ ව්‍යාපාරිකයාට ලැබෙන්න ඕන. (මගේ කඩේ විකුණන්නෙ මොන බඩුද වගේ එකක්)

මගේ අදහස වෙන්නෙ මේ පවතින සිනමා ශාලා ආකෘතියෙන් පිටත වෙනස් සිනමාවක්, වෙනස් ප්‍රේක්ෂකයෙක් අරමුණු කරන සිනමා ප්‍රදර්ශන අවකාශයන් බිහි විය යුතුයි කියන එකයි. සිනමා කෘතියකට තමන්ගේ ප්‍රේක්ෂකයා සොයාගෙන යන්න නිදහස තියෙන්න ඕන.
"සිනමා අර්බුදයට මගේ යෝජනා දෙක මෙන්න"
මේකට මගේ යෝජනා දෙකක් තියෙනවා. ප්‍රධානවම ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් පරිද්දෙන් ලියාපදිංචි වීමෙන් පසු සිනමා බෙදාහරින්නෙක් නැත්නම් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් වීමට හැකියාව පැවතිය යුතුයි. එතකොට කෙනෙකුට පුළුවන් කැමති කැමති චිත්‍රපටි තෝරගෙන ඒවා බෙදා හැරීම සිද්ද කරන්න. එතකොට පවුලේ සිනමාව බෙදාහරින අය වගේම වැඩිහිටි සිනමාව බෙදා හරින අයත් බිහිවෙනවා. ඒ අය වෙනස් වෙනස් ව්‍යාපාර මාදිලි නිර්මාණය කරගන්නවා. සිනමා ආර්ථිකය පුළුල් වෙනවා.
"සිනමා ශාලා මණ්ඩලවලින් නිදහස් කළ යුතුයි"

අනෙක සිනමා ශාලා මණ්ඩලවලින් නිදහස් කිරීම කළ යුතුයි. විවිධ ආකාරයේ සිනමා ශාලා ආකෘතීන් අත්හදා බැලීමට නිදහස සිනමා ව්‍යවසායකයන්ට ලැබෙන්න ඕන. මහා හෝටල් තියෙද්දි, හෝම් ස්ටේ ක්‍රමයන් නිර්මාණය වෙනවා වගේ මහා සිනමා ශාලා තියෙද්දි කුඩා සිනමා ශාලාත්, ජංගම සිනමා ශාලාත් නිර්මාණය විය යුතුයි. ඒවා විවිධාකාරයේ හැඩයන් ගන්න පුළුවන්. ඒ නිර්මාණාත්මක සිනමා ව්‍යවසායකත්වයට අවකාශ ලබා දිය යුතුයි.
මෙන්න මේ කාරණා දෙක විසදුවොත් අපිට සෑහෙන දුරට සිනමාවේ අර්බුදය විසඳගන්න පුළුවන් වේවි. නැත්නම් වෙන්නෙ අපි පුනරුදය කියලා හැමෝම බලන චිත්‍රපටි (බයිස්කෝප්) හදන්න පොරකන එක විතරයි.
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්.)
2026 A͏u͏g͏u͏s͏t͏ ͏1͏3͏ ͏








