leader s

වසර පහක අඛණ්ඩ වැඩපිළිවෙළක් යටතේ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් නව ක්‍රමවේදයක්


නිර්ණායක සපුරාලන දේශීය නිර්මාණ අතරින් නිල ප්‍රවේශය තෝරාගැනීම ඇරඹේ


ලෝක සිනමාවේ කිරුළ බඳු ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල (Academy Awards) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල වශයෙන් සිනමාපටයක් ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කරයි.

2027 වසරේ පැවැත්වීමට නියමිත 99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ ‘හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටය’ (Best International Feature Film) කාණ්ඩය ඉලක්ක කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

 

WhatsApp Image 2026 09 11 at 12.26.47ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව සඳහන් කළේ, 2025 ඔක්තෝබර් 01 වැනිදා සිට 2026 සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරුණු හෝ ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපට 37කට මේ සඳහා අයදුම් කිරීමේ මූලික සුදුසුකම් පවතින බවයි.

ඉදිරි පස් වසරක අඛණ්ඩ සැලැස්මක්

මෙරට සිනමා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් මෙම වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාව නියෝජනය වන පරිදි වාර්ෂිකව නිර්මාණයක් ඔස්කාර් සම්මාන උළෙල වෙත යොමු කිරීම සංස්ථාවේ අපේක්ෂාව බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මීට පෙර අවස්ථාවලදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘පුරහඳ කළුවර’ සහ ‘වෑකන්ද වලව්ව’ මෙන්ම ප්‍රසන්න විතානගේ මහතාගේ ‘ආකාස කුසුම්’ යන සිනමාපට ඔස්කාර් සම්මාන උළෙලේ විදෙස් භාෂා චිත්‍රපට කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවෙන් යොමු කෙරුණු අතර, දිගු කලක නිහැඬියාවකින් පසු නිල රාජ්‍ය යාන්ත්‍රණයක් හා විධිමත් පදනමක් සහිතව ලාංකේය සිනමාව මෙලෙස යළි ඔස්කාර් සම්මාන කමිටුව හමුවට රැගෙන යාමට පියවර ගැනීම කැපීපෙනෙන වර්ධනයකි.


සපුරාලිය යුතු මූලික නිර්ණායක

ඇකඩමි සම්මාන කමිටුවේ ජාත්‍යන්තර රීතීන්ට අනුගත වෙමින්, මෙරටින් ඉදිරිපත් කෙරෙන චිත්‍රපටය සඳහා වන මූලික සුදුසුකම් කිහිපයක් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

* ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල අනුමැතිය සහිතව වාණිජ සිනමා ශාලාවක අඛණ්ඩව අවම වශයෙන් දින හතක් ප්‍රදර්ශනය කර තිබීම.

* සම්පූර්ණ ධාවන කාලය මිනිත්තු 40 ඉක්මවූ වෘතාන්ත චිත්‍රපටයක් වීම.

* චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.

* චිත්‍රපටයේ ප්‍රධාන දෙබස් ධාරාව සිංහල හෝ දෙමළ (ඉංග්‍රීසි නොවන දේශීය භාෂාවක්) වීම.

* ප්‍රධාන නළු නිළියන් ඇතුළු රංගන ශිල්පීන්ගෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීම.

* නිර්මාණයේ කාර්මික ශිල්පීන්ගෙන් අවම වශයෙන් සියයට 50ක් ශ්‍රී ලාංකික පුරවැසියන් වීම.


මෙම නිර්ණායක සපුරාලන චිත්‍රපට අතුරින් වඩාත් උචිත නිර්මාණය තෝරාගැනීම සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන තේරීම් කමිටුවක් පත් කිරීමට නියමිත අතර, එම කමිටුවේ නිර්දේශය මත ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ඔස්කාර් සම්මාන කමිටුව වෙත යොමු කෙරෙනු ඇත.

මෙම මාධ්‍ය හමුවට ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වසන්ත කොටුවැල්ල, සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල් හා පාලන) ලංකා ධර්මවික්‍රම, රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති අනුරුද්ධ ජයසිංහ සහ විදේශ චිත්‍රපට උළෙල සම්බන්ධීකාරක උදිත ලක්මාල් කහඳවආරච්චි ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්