*අසම්මත මිනිසුන්ගේ හදවත් කියවන ජයසිරි අලවත්තගේ 'මුවන්පැලැස්සේ හිඟන කොල්ලා'
*හෝටල් කාමරවල කටුක යථාර්ථය සහ වීදි සරණ කාන්තාවන්ගේ දාරක ප්‍රේමය මැදින් ගලායන තරුණයකුගේ විප්පයෝගී ජීවිත අත්දැකීම.
ජයසිරි අලවත්ත කවියෙක්, නවකතාකරුවෙක්, සාහිත්‍ය විචාරකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ලෙස දීර්ඝ කාලයක් සාහිත්‍ය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටින ජයසිරි අලවත්ත ගේ නවතම ප්‍රබන්ධ කෘතිය “මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” පසුගියදා සහෘද පාඨකයා අතට පත්විය.
ගැටලුකාරී ජීවිතයකින් මිදී නිදහස් ජීවිතයක් සොයා ගාල්ලට පැමිණෙන තරුණයකු වටා ගොඩනැගෙන මෙම කතාව එක් පුද්ගලයකු ගේ ජීවිත අත්දැකීමක් පමණක් නොව, සමාජයේ අප බොහෝවිට නොදකින, නොසලකා හරින මිනිසුන් ගේ ජීවිත ඇතුළාන්තය වෙත පාඨකයා කැඳවාගෙන යන මානුෂික ප්‍රබන්ධයක් ලෙස හඳුනාගත හැකි ය.
තරුණ සිනමා ලෝලියා

කතාවේ කතා නායකයා වන රොහාන්, තරුණ වියේ දී ම තම පදිංචි නිවෙසින් පිටමං වන චරිතයකි; ඔහු සිනමා ලෝලියෙකි. සිංහල, ඉංග්‍රීසි මෙන්ම හින්දි චිත්‍රපට නැරඹීමට ඔහු තුළ ඇත්තේ දැඩි රුචියකි. ජීවිතයේ යම් නිදහසක් සොයා ගාල්ලට පැමිණෙන රොහාන්ට හෝටලයක රැකියාවක් ලැබෙයි. එතැන් සිට ඔහු ගේ ජීවිතය ගලා යන්නේ සමාජයේ විවිධ තරාතිරම්වල මිනිසුන් අතර ය.
හෝටලයේ උයන බාස්, ටී මේකර්, බිල් ලියන්නා, පිඟන් සෝදන්නා, බේකරි බාස් ඇතුළු විවිධ රැකියාවන්හි නිරත වන මිනිසුන් සමග රොහාන් ජීවිතය බෙදා ගනී. ඔවුන් ගේ දෛනික ජීවිතයේ ඇති කටුක බවත්, ඔවුන් තුළ ඇති අවංකකමත්, මනුෂ්‍යත්වයත් කතුවරයා සංවේදී ලෙස පාඨකයා ඉදිරියේ තබයි.
“සුමනසිරි අයිය එහෙම කිව්වට පස්සෙ ඇත්තට ම මමත් ටිකක් කල්පනා කරා. එතකොට තමයි මට මතක් වුණේ ඊයෙ රෑ සිද්ධ වෙච්ච එක එක විකාර වැඩ. උන් නිදාගන්න එක කොහොම වෙතත්: කුණුහරුප කියනව, එක එක ජාතියේ සද්ද ඇහෙනව,එක එකා මාරුවෙන් මාරුවට බාත්රූම් එකට යනව, හෝදනව... ආයෙ එනව, තව එකෙක් යනවා… හැබැයි මේ කොයියම්ම වෙලාවකවත් ලයිට් නං දැම්මෙ නෑ. ලයිට් ඕෆ් කරල තිබුණට බස් ස්ටෑන්ඩ් එකෙන් එන ලයිට් එළිය මේ තට්ටුවේ හැම තැනම පුරවල තිබුණෙ හරියට රබර් යායක් උඩින් හඳ පායල වගේ.”
පිටුව 40
කතාවේ විශේෂ සංවේදී පරිච්ඡේදය
එහෙත් කෘතියේ වඩාත් සංවේදී මානුෂික මානයක් විවර වන්නේ හෝටලයට නිතර පැමිණෙන වීදි සරණ ලිංගික ශ්‍රමික කාන්තාවන් සිව්දෙනා රොහාන් සමග ඇති කරගන්නා මිත්‍රත්වය හරහා ය.
සමාජය විසින් බොහෝවිට “අසම්මත” යැයි ලේබල් කරන රැකියාවක නිරත වන මේ කාන්තාවන්ගේ ජීවිත දෙස කතුවරයා බලන්නේ විනිශ්චයකාරයකු ගේ දෑසින් නොව, මනුෂ්‍යයකු ගේ දෑසිනි. සමාජයේ පිළිගැනීම අඩු වූ වෘත්තියක් කරන පමණින් මිනිසකු ගේ හදවතේ ඇති යහගුණය, ආදරය, සෙනෙහස සහ මනුෂ්‍යත්වය අහිමි නොවන බව කතුවරයා අපට පසක් කර දෙයි.

ඒ නිසා ම මේ කාන්තාවන් හතරදෙනා රොහාන් කෙරෙහි දක්වන දාරක සෙනෙහසත්, සහෝදර ප්‍රේමයත් කතාවේ විශේෂ සංවේදී පරිච්ඡේදයක් බවට පත්වෙයි. ඔවුන් ගේ ජීවිත තුළ ඇති තෙත් බව පාඨකයාට දැනෙන්නේ කතුවරයා ඔවුන් දෙස අනුකම්පාවෙන් පමණක් නොව, ගෞරවයෙන් ද බැලීමට සමත් වන බැවිනි.
“මං හැදුවෙ… මං හැදුවෙ මූට බොන්න පුරුදු කරන්න නෙහ්… යකෝ… අපි කාලකණ්ණි උණා කියල මේ පොඩි එවුන්වත් කාලකණ්ණි කරන්න එපා .අනික මූ එහෙව් එකෙක් නෙවෙයි කියල තෝ හොඳාකාරව ම දන්නෝ නෙ… එහෙව් එකෙකුට නං අද මං එන්න කියනව ද…අපි මෙච්චර කාලෙකට මේ වගේ දවසකට පිරිමි පුලුටක් මෙතනට එක්කරගෙන ඇවිත් තියෙනව ද…? කියහං... අපි හතර දෙනා දැං අවුරුදු ගාණක ඉඳං අවුරුද්දකට හතර සැරයක් මෙහෙම ජොලියක් ගන්නවනෙ... එහෙව් එක දවසක හරි අපි කවුරුවත් මෙතනට පිරිමියෙක් එක්කරගෙන ඇවිත් තියේද… කියහල්ලා...”
177 පිටුව
“මම රමණි අක්ක මගහැරල යන්න හදද්දි එයා ආයෙත් මාව කතාවට ඈඳා ගන්න උත්සහ කළා. දැන් ඉතිං ගැලවිලා යන්න ම ඕන නිසා "එහෙම විශේෂ මක්කවත් නෑ අක්කෙ... දවසක් රෑ නයිට් ෂෝ එක බලල එද්දි කඩල කන්න මායි සුසයි ගියපු වෙලාවෙ ටිකක් දොඩල අදුනගත්ත එච්චරයි," කියල මම කියල ඉවර වෙන්නත් කලින් ම රමණි අක්කා "ඒ හිංද වෙන්නැති උඹ පහුගිය කාලෙ මහමෝදර දිහා කරක්ගැහුවෙ… යසේ මල්ලියෙ.. මේ අහපං.. අපි වේස ගෑනු තමයි. ඒ වුනාට මොකක්දෝ මංද සංසාර බැඳීමකට කොහෙද අපි හැමෝම උඹට ආදරෙයි. උඹත් ඒ වග දන්නව නෙව. ඉතිං එහෙව් එකේ අපි කැමති නෑ උඹ උඹේ ජීවිතේ විනාශ කරගන්නවට. ඒ හිංද මක්ක හරි ප්‍රශ්නයක් තියේ නං පයිංඩයක් තියල අපිව මුලිචිචි වෙයං හරිය…”
214 පිටුව
කතකයා ගේ හික්මීම සහ මානසික පරිණතභාවය
රොහාන් සිය පළමු පෙම්වතිය ඇසුරු කරන්නේ අවංක හැඟීමකිනි. ඔවුන් දෙදෙනාට තනිව ගත කිරීමට අවස්ථා රැසක් උදා වුව ද, ඒ කිසිදු අවස්ථාවක තම හැඟීම්වලට වහල් නොවී ස්වයං විනයකින් සහ සංයමයකින් කටයුතු කිරීමට රොහාන් සමත් වෙයි. ඔහු ගේ චරිතයෙහි ඇති හික්මීම සහ මානසික පරිණතභාවය ඉස්මතු කරන මෙම අවස්ථාව, කතුවරයා විසින් රොහාන්ගේ චරිතය ගොඩනැගීමේ දී සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බව පෙන්වා දෙන මේ ව්‍යංග්‍යාර්ථ බලන්න.
ඇයි එයාට බැරි වුණේ මාව මේ විදියට තෙත බරිත කරන්න
“ජයශාන්ත අයිය රොහාන් වගේ නෙවෙයි… රොහාන්, වැස්ස වහින්න කිට්ටුව මාව ඉක්මනට ම ගේ ඇතුළට ඇදල ගත්තට ජයශාන්ත අයිය කරේ ඒකෙ අනිත් පැත්ත. එයා මම හිතුවට වඩා හරි ඉක්මනින් ම මාව වැස්සට ම තල්ලු කරා, මාව තල්ලු කරල නිකන් හිටියෙ නෑ... එයත් මාත් එක්ක හරි හරියට තෙමුණා; දෙන්නම තෙත බරියම් වෙනකම් ම තෙමුණා; තෙමිල විතරක් නම් මදෑ... හුස්ම ගන්න පවා අමතක වෙනකම් ම කිටි කිටියෙ හිර වුණා. ඒ වෙලාවෙ මට රොහාන් මතක් වුණා. ඒ වුනාට මට රොහාන් එක්ක කේන්තියක් ආවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි... ඇයි එයාට බැරි වුණේ මාව මේ විදිහට තෙත බරිත කරන්න කියල.”
231 පිටු
රොහාන්ගේ චර්යාව වෙනස් වන්නේ ඔහුගේ කුලුඳුල් ප්‍රේමය අහිමි වීමත් සමග ය. ආදරය අහිමිවීමෙන් ඇතිවන විප්පයෝගය ඔහුගේ ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. සියල්ල එපා වී, කලකිරීමෙන් සිටින මොහොතක පවා ඔහු වටා සිටින මේ කාන්තාවන් හතරදෙනා ඔහු වෙත දක්වන මව් සෙනෙහසක් බඳු ආදරයත්, සහෝදරත්වයත්, මනුෂ්‍යත්වයත් ඔහු ගේ ජීවිතයේ අඳුරු අවකාශයට ආලෝකයක් එක් කරයි.
අවසන රොහාන් දකුණු රට අතහැර යාමට පවා පෙලඹෙන්නේ තම කුලුඳුල් ප්‍රේමය අහිමිවීමෙන් ඇති වූ විප්පයෝග වේදනාව හේතුවෙනි. එමගින් කතුවරයා පෙන්වා දෙන්නේ මිනිසකු ගේ ජීවිතය වෙනස් කිරීමට ඇතැම් විට එක් අහිමිවීමක් පවා කෙතරම් බලවත් විය හැකි ද යන්න ය.
මිනිස් ජීවිත තුළ සැඟව පවත්නා ආලෝකය
“මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” පුරාම ජයසිරි අලවත්ත ස්පර්ශ කරන්නේ සමාජය විසින් අඳුරු පැතිකඩක් ලෙස හඳුනාගනු ලබන මිනිසුන් ගේ ජීවිතවල සැඟවී ඇති ආලෝකය යි. සමාජ අසම්මත යැයි සම්මත චරිත අතර පවා ඇති සුදු පැහැය සොයා යෑම මේ කෘතියේ විශේෂත්වයකි.
එම අර්ථයෙන් මෙම කෘතිය කියවන විට, ක්‍රිෂ්ණ චන්ද්‍රන් හිංදි බසින් ලියූ "ෆුට් පාඨෝං කේ ෆරීශ්කේ" නවකථාව, වසන්තා පද්මිණී පරිවර්තනය කළ “පදිකවේදිකාවේ දෙවිවරු” කෘතිය සිහිපත් වීම ද අහම්බයක් නොවේ.
සමාජයේ අසරණ, නොසලකා හැර ඇති මිනිසුන් දෙස වෙනස් දෘෂ්ටිකෝණයකින් බැලීමට පාඨකයා පොලඹවන මානුෂික සංවේදනයක් කෘති දෙක තුළ ම හඳුනාගත හැකි ය.

අවසානයේ “මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” යනු එක් තරුණයකු ගේ ජීවිත කතාවක් පමණක් නොවේ. එය මිනිසුන් පිළිබඳ අප තුළ ඇති සාම්ප්‍රදායික විනිශ්චයන් ප්‍රශ්න කරන, සමාජයේ අඳුරු යැයි සම්මත පැතිකඩ තුළ සැඟවී ඇති මනුෂ්‍යත්වය සොයා යන ප්‍රබන්ධයකි.
සමාජයේ ලේබල්වලින් මිනිසුන් මැනීමට පෙර, ඔවුන්ගේ හදවත්වල ඇති තෙත් බව දැකිය යුතු බව කියාදෙන “මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” සාහිත ලොවට එක් කළ ජයසිරි අලවත්ත කතුවරයාට හදපිරි සුබ පැතුම් එක් කරමි.
''මුවන්පැලැස්සේ හිඟන කොල්ලා''
බිසෝ ප්‍රකාශනයකි.

(සටහන - මංජු නැදගමුව)








