ප්‍රේමයේ පූර්ණත්වයට වඩා එහි නොපැමිණීමේ හිස් අවකාශය තුළ ගොඩනැඟෙන සෞන්දර්යාත්මක ආතතිය
ස්වභාවධර්මයේ රූපක හරහා පූජනීයත්වය සහ කාමනීයත්වය අතර සංවාදයක යෙදෙන ගීතමය කියවීමක්
කුමාර ලියනගේගේ පද රචනයෙන්ද, නවරත්න ගමගේගේ තනු හා සංගීත අධ්‍යක්ෂණයෙන්ද, උමාලි තිලකරත්න සහ අසිත් අතපත්තුගේ යුග ගායනයෙන්ද නිර්මාණය වන “ප්‍රේමයේ ඍතු සංහාරයේ” ගීතය සාමාන්‍ය ප්‍රේම ගීයක සීමාවෙන් ඔබ්බට ගමන් කරන නිර්මාණයකි. එහි සුවිශේෂත්වය ඇත්තේ ප්‍රේමය පිළිබඳව සෘජු පැතලි ප්‍රකාශයක් බවට පත්වීමට වඩා, ප්‍රේමය අත්විඳිය හැකි කාව්‍යමය හා සංවේදී අවකාශයක් නිර්මාණය කිරීම තුළය.
මෙය එකවරම කාව්‍යයක්, සංගීතමය පඨිතයක් සහ දෘශ්‍ය පරිකල්පනයක් සහිත ශෘංගාරාත්මක කලා කෘතියක් ලෙස කියවිය හැකිය. එහි වඩාත් වැදගත් කලාත්මක ක්‍රමවේදය වන්නේ මිනිසාගේ අභ්‍යන්තර ප්‍රේමයේ අත්දැකීම් ස්වභාවය රූපකමය ලෝකයක් සමඟ ඒකාබද්ධ කිරීමයි.
ඍතු සංහාරය: ප්‍රේමයේ කාලාවකාශය
“ප්‍රේමයේ ඍතු සංහාරයේ” යන පළමු පදයම ගීතයේ සම්පූර්ණ සෞන්දර්යාත්මක ලෝකය සඳහා වන යතුර සපයයි. “ඍතු සංහාරය” යන යෙදුම සංස්කෘත කාව්‍ය සම්ප්‍රදාය හා, විශේෂයෙන්, කාලිදාසගේ 'ඍතුසංහාරය' සිහිපත් කරයි. එහි ඍතු වෙනස්වීම් ස්වභාවධර්මයේ වෙනස්වීම් පමණක් නොව, මනුෂ්‍ය ආදරය හා ශෘංගාරය සමඟ බැඳී පවතී.
කුමාර ලියනගේ එම සම්භාව්‍ය සංකල්පය නූතන ප්‍රේම ගීයකට පරිවර්තනය කරයි. මෙහි ඍතු යනු බාහිර පරිසර ස්වභාවයේ ඍතු පමණක් නොව, ප්‍රේමයේ අභ්‍යන්තර ඍතු ය. ආදරයටද වසන්තයක්, ගිම්හානයක්, වස්සානයක්, සේම විරහවක්, පරිණතභාවයක් සහ අවසානයක් තිබේ.
එහෙත් “සංහාරය” යන වචනය තුළම සෞන්දර්යාත්මක අතීරණයක් aesthetic undecidability තිබේ. එය ඍතු මාලාවක් ලෙසත්, ඍතු විනාශයක් ලෙසත් කියවිය හැකිය. එබැවින් පළමු පදයෙන්ම ගීතය ප්‍රේමය යනු පූර්ණ හා ස්ථාවර අත්දැකීමක් නොව, වෙනස් වෙමින් පවතින අත්දැකීමක් බව ඉඟි කරයි.
ශෘංගාර රසය: විරහවෙන් සංයෝගයේ රසය වෙත
මෙහි ප්‍රධාන සෞන්දර්යාත්මක රසය ශෘංගාරයයි. එහෙත් එය සෘජු සංභෝගමය ශෘංගාරයක් නොවේ. එහි මූලික චලනය සිදුවන්නේ විරහව, අපේක්ෂාව සහ සංයෝගය පිළිබඳ පරිකල්පනය අතරය. “සිතට සැනසුම් නෑ මේ රැයේ” යන පදය තුළ ප්‍රේමයේ සතුටට වඩා එහි නොසන්සුන්කම මුලින්ම ඉදිරියට පැමිණේ. “කොයිද ඔබ මා ප්‍රියයාණෙනී” යන ප්‍රශ්නයෙන් එය තවත් පැහැදිලි වේ. ප්‍රේමය මෙහි පෙනෙන්නේ ප්‍රියයාගේ පැමිණීම තුළ නොව, ඔහුගේ හෝ ඇයගේ නොපැමිණීම absence as presence තුළිනි. එබැවින් ගීතයේ ශෘංගාරය දැනට සිදුවන සංයෝගයකට වඩා, සිදුවීමට නියමිත සංයෝගයක් පිළිබඳ ආශාවකි.
“අනුරාගයේ දෙවොල”: ප්‍රේමය පූජනීය කිරීම
“එන්න දෙවොලට අනුරාගයේ” යන්න ගීතයේ මුඛ්‍ය කාව්‍යමය ප්‍රකාශයයි. මෙහි දී ප්‍රේමය “දෙවොලක්” බවට පත්වේ. ඒ හරහා අනුරාගය පූජනීයත්වයට ඔසවනු ලැබේ. නමුත් මෙය ආගමික පූජනීයත්වයකට සීමා නොවේ. “යහන”, “සළු”, “මිනිමෙවුල” වැනි රූපක සමඟ සම්බන්ධ වූ විට පූජනීයත්වය හා ශරීරීය ආශාව එකම කලාත්මක අවකාශයකට පැමිණේ. එහිදී ගීතය නිර්මාණය කරන්නේ පූජ/නීයත්වය සහ කාම/නීයත්වය අතර සංවාදයකි.
ස්වභාවික පරිසරය ප්‍රේමයේ ශරීරය වීම
ගීතයේ දෙවන කොටස කලාත්මක වශයෙන් වඩාත් ප්‍රබල වන්නේ ස්වභාවය මනුෂ්‍ය ශරීරයේ භාෂාවට පරිවර්තනය කරන බැවිනි. “වළාකුළු සළු විසිරුනා වැනි තාරකා මිනිමෙවුලත් ලිහී.”
කාව්‍යමය බස හරහා වළාකුළු සළු බවට පත්වෙයි. තාරකා මිනිමෙවුල් බවට පත්වෙයි. අහස යනු, එවිට, ස්වභාවික පරිසරයක් පමණක් නොව, ප්‍රේමාන්විත ශරීරයක සෞන්දර්යාත්මක ප්‍රතිරූපයක් බවට පත්වේ.
මෙය සරල ස්වභාව සෞන්දර්ය වර්ණනයක් නොවේ. මනුෂ්‍ය ආශාව විසින් ස්වභාවය නැත්නම් භාෂාවට ලඝු නොහැකි මානවයා හා පරිසරය අතර පවතින අත්‍යන්ත. අනේක සම්භෝගය නැවත පරිකල්පනය කිරීමකි.
වළාකුළු සළු ලෙස දැකීමේදී ආවරණය/නිරාවරණය/බාධාව පිළිබද රූපකයක් පවතී. නමුත් ඒ සළු “විසිරීම” තුළ නිරාවරණය පිළිබඳ ඉඟියක්ද ඇත. එසේම “මිනිමෙවුල ලිහීම” තුළ බන්ධන, නීතිය, මර්දනයයන් නිදහස් වීම රූපකයක් බවට පත්වෙයි. ඒ නිසා කවියා කාමනීයත්වය ප්‍රකාශ කරන්නේ සෘජුව නොව ව්‍යංග්‍යාර්ථය හරහාය. කියා ඇති දෙයට වඩා නොකියා ඇති දෙය මෙහි බලවත්ය.
රාත්‍රිය: මනෝභාවයක් බවට පත් වූ කාලය:
“ගෙවෙන විකසිත රෑ දිගු වෙවී” - මෙය කාලය පිළිබඳ අලංකාරමය පරස්පරයක් නිර්මාණය කරයි. ගෙවෙන දෙයක් සාමාන්‍යයෙන් අවසන් විය යුතුය. නමුත් මෙහි ගෙවෙන රාත්‍රිය තව තවත් දිගුවෙයි. මෙය ආදරයේ මනෝරාජික කාලය ලෙස හැඳින්වීය හැක. ආදරය බලා සිටින මොහොතක මිනිත්තුවක් පැයක් මෙන් දැනිය හැකිය. එබැවින් භෞතික කාලය හා තථ්‍ය කාලය අතර වෙනස ගීතය කාව්‍යමය ලෙස ප්‍රකාශ කරයි.
“සඳ යහන් තල වැතිරී”: අහස යහනක් වීම
“සඳ යහන් තල වැතිරී හිඳී” යන පදයෙන් මෙම කාව්‍යමය භාව ප්‍රකාශනය උච්චස්ථානයකට පැමිණේ. අහස යහනක් බවට පත්වෙයි. සඳ එහි වැතිරී සිටී. එහෙත් මෙහි යහන සූදානම්ව තිබුණත්, බලාපොරොත්තු වන “ඔබ” තවම පැමිණ නැත. ඒ නිසා ගීතයේ විශාලතම කාව්‍යමය විසමාරූපයක් paradox මෙහි තිබේ: යහන තිබේ. රාත්‍රිය තිබේ. සඳ තිබේ. අනුරාගය තිබේ. නමුත් ප්‍රියයා නොමැත. එම නොපැමිණීම ම ප්‍රේමයේ තීව්‍රතාව නිර්මාණය කරයි.
මෙම ගීතය තවත් ගැඹුරු වන්නේ එහිම අර්ථය තුළ පවතින ද්විත්ව විෂමතා binaries විසින් එය අස්ථාවර කරන නිසාය.
ප්‍රේමය හා විරහව, පැමිණීම හා නොපැමිණීම, ආවරණය හා නිරාවරණය, රතිය හා විරතිය, පූජනීයත්වය හා කාමනීයත්වය, ස්වභාවය හා මනුෂ්‍යත්වය, ගෙවීම හා දිගුවීම ආදී විරුද්ධතාමය යුගලයන් මෙහි දී එකිනෙක නිශේධනය නොකරයි. ඒ වෙනුවට එකකට අනෙක අවශ්‍ය බව දක්වයි.
විශේෂයෙන් “කොයිද ඔබ” යන ප්‍රශ්නය ගීතයේ විසංයෝජනීය deconstructive කේන්ද්‍රය ලෙස දැකිය හැකිය. ප්‍රේමය මෙහි පවතින්නේ ප්‍රියයා සිටින නිසා නොව, ඔහු නොසිටින absence නිසා ය. ඒ අනුව “ප්‍රේමය” යන සංකල්පයම එහි “නොපැමිණීම” මත රඳා පවතී. ප්‍රියයා පැමිණි මොහොතේ ගීතය ගොඩනඟන අපේක්ෂාවේ ආතතිය tension වෙනස් වනු ඇත. එබැවින් ගීතයේ සෞන්දර්යාත්මක බලය පවතින්නේ ප්‍රේමයේ පූර්ණත්වය තුළ නොව, පූර්ණත්වයට පෙර ඇති හිස් අවකාශය තුළය. මෙය ඩෙරීඩාගේ différance සංකල්පය සමඟ සම්බන්ධ කර කියවිය හැකිය. අර්ථය මෙහි සම්පූර්ණයෙන් පැමිණෙන්නේ නැත. එය “එන්න” යන අනාගත ආරාධනය තුළ නිරන්තරයෙන් කල්දැමෙයි.
ගීතය කලා කෘතියක් ලෙස
මෙහි පද රචනය, සංගීතය සහ ගායනය එකිනෙකින් වෙන් කළ නොහැකි තත්ත්වයකට පත්වන්නේ මෙම අර්ථ ස්තර නිසාය.
කුමාර ලියනගේ පදවලින් දෘශ්‍ය පරිකල්පනයක් නිර්මාණය කරයි. නවරත්න ගමගේගේ සංගීතය එම පරිකල්පනයට ශ්‍රව්‍යමය වාතාවරණයක් සපයයි. උමාලි තිලකරත්න සහ අසිත් අතපත්තුගේ යුග ගායනය එයට මානව සම්බන්ධතාවයේ හඬ ලබා දෙයි.
එබැවින් මෙය පද රචනයක් මත සංගීතය සපයන හුදු ගීයක් ලෙස නොව, පද, ස්වර සහ හඬ එකට එක්ව කාව්‍යමය අවකාශයක් නිර්මාණය කරන කලා කෘතියක් ලෙස කියවීම වඩාත් සුදුසුය.
“ප්‍රේමයේ ඍතු සංහාරයේ” ගීතයේ විශිෂ්ටත්වය ඇත්තේ එය ප්‍රේමය විස්තර කරන නිසා නොවේ. එය ප්‍රේමය පිළිබඳව පරිකල්පනය කිරීමට ශ්‍රාවකයාට ගැඹුරු අවකාශයක් නිර්මාණය කරන නිසාය. එබැවින් “ප්‍රේමයේ ඍතු සංහාරයේ” යනු ප්‍රේමය ගැන කියන ගීයක් පමණක් නොව, ප්‍රේමය යනු කුමක්දැයි ශ්‍රාවකයාගෙන් නැවත අසන ගීතයකි. එහි කාව්‍යමය බලය පවතින්නේ කියා ඇති දෙය තුළ පමණක් නොව, එය විසින් නිර්මාණය කරන නිහඬතාව, විරාමය, සහ නොපැමිණීම තුළය.
(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)







