leader s

සුරේෂ් සලේගේ නම මුළු රටම දැනගත්තේ 2016දීය. ඒ, මෛත්‍රී-රනිල්ගේ යහපාලන ආණ්ඩු කාලයේය. සුරේෂ් සලේ ඒ කාලයේ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විය.


සුරේෂ් සලේව හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ තනතුරට පත් කළේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරද්දීය. 2015 මහින්ද ජනාධිපතිවරණය පරාජය වී ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වුවත් ජනාධිපති වූ මෛත්‍රීපාල සුරේෂ් සලේව හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කළේ නැත. සුරේෂ් සලේ දිගටම හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයේ සේවය කළේය.

මෛත්‍රීපාල ජනාධිපති වී ටික දිනකින් ගෝඨාභය මෛත්‍රීපාල හමුවීමට මෛත්‍රීගේ නිල නිවසට රහසින් ගියේය. මේ ගෝඨාට එරෙහිව මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඇවන්ගාඩ්, මිග් යානා ගනුදෙනුව ඇතුළු චෝදනා රාශියක් විභාග කරද්දීය. මේ විමර්ශන අතරතුර ගෝඨාව අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් සූදානම් වෙද්දී ගෝඨා අධිකරණයට ගොස් ඔහුව අත්අඩංගුවට ගත නොහැකි වන ලෙස අධිකරණ නියෝගයක් ලබාගත්තේය. මෙම නියෝගය ලබාගැනීමෙන් පසු මෛත්‍රීපාල අරුම පුදුම ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ ගෝඨාට පක්ෂව අධිකරණය දුන් තීන්දුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වුණා කියාය.

ඉන් පසු ඇවන්ගාඩ් චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ හමුදා නායකයන් 8ක් අධිකරණයට කැඳවූ අවස්ථාවේ එවක ජනාධිපති මෛත්‍රීපාල යුද්ධය දිනපු යුද විරුවන්ව අධිකරණයට ගෙන්වා අපහසුතාවට පත්කරන්න එපා යැයි කියමින් අල්ලස් කොමිසමට සහ මූල්‍ය අපරාධ අංශයට චෝදනා එල්ල කරමින් සැර කතාවක් කළේය. යුද්ධය දිනපු යුද විරුවන්ව උසාවියේ බංකු උඩ වාඩිකරවා ලැජ්ජාවට පත්කිරීම ජාතියට අවමානයක් යැයි ඔහු ගුගුලේය.


මෛත්‍රීපාල වටෙන් ගිහින් ගැහුවේ රනිල්ගේ ආණ්ඩුවටය. මෛත්‍රීගේ කතාවෙන් රාජපක්ෂ ආණ්ඩු කාලයේ දූෂිත ක්‍රියාවන්හි යෙදුණා කියා හංවඩු ගහපු ගෝඨා සහ හමුදා නායකයන් එක රැයින් වීරයන් විය. යූ,ඇන්.පී. ආණ්ඩුව සහ මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ගෙන ආ සිවිල් සංවිධාන හතරගාතේ ඇදවැටිණි. මෛත්‍රී පත්තු කළේ බෝම්බයකි. ඒ බෝම්බයෙන් පුපුරා ගියේ ආණ්ඩුවය. රාජපක්ෂවරු එක රැයින් වීරයෝ වූහ.

මෛත්‍රීපාල මේ කතාව කළේ ගෝඨා පත්කරපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ සුරේෂ් සලේ දුන්න බුද්ධි තොරතුරක් මත යැයි රනිල්ට සහ යූ.ඇන්.පී. ආණ්ඩුවට ඔත්තුවක් ලැබිණි. සලේ මෛත්‍රීපාලට දුන් බුද්ධි තොරතුර නම් ගෝඨා ඇතුළු හමුදාපතිවරු, හමුදා නිලධාරීන් උසාවි ගෙන ඒමෙන් සහ අත්අඩංගුවට ගැනීමෙන් හමුදාව තුළ ආණ්ඩුවට එරෙහිව විරෝධයක් මතුවී එන බවය. මෙය තව තවත් වර්ධනය වුවහොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනු ඇතැයි යන්නය. මෛත්‍රී එම බුද්ධි තොරතුරට බයවී ආණ්ඩුවට ප්‍රසිද්ධියේ පහර දුන් බව රනිල්ගේ ආණ්ඩුවට ඔත්තු දුන් බුද්ධි අංශවල මතය විය.

 සුරේෂ් සලේ මේ බුද්ධි තොරතුර දුන්නේ ගෝඨා ඇතුළු රාජපක්ෂවරුන්ගේ වුවමනාව මත බවත්, රාජපක්ෂවරු සුරේෂ් සලේ හරහා මෛත්‍රීව මෙහෙයවන බවත් සිතා සුරේෂ් සලේව වහාම ඉවත් කරන ලෙසට යූ.ඇන්.පී.ය මෛත්‍රීගෙන් ඉල්ලා සිටියේය. ඒ අප්‍රසිද්ධියේය. ප්‍රසිද්ධියේ සුරේෂ් සලේට ගහන්න රනිල් සහ යූ.ඇන්.පී.ය මෛත්‍රීව බලයට ගෙන ආ සිවිල් සංවිධාන සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ රාජිත සේනාරත්නව පාවිච්චි කළේය.

 

rajitha senarathna 24.11.29

පුරවැසි බලය වෙනුවෙන් මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, පූජ්‍ය දඹර අමිල හිමි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආණ්ඩුව වට්ටවන්න රාජපක්ෂවරුන්ගේ වුවමනාවට කුමන්ත්‍රණ කරන සුරේෂ් සලේ වහාම ඉවත් කළ යුතු යැයි කීහ. රාජිත සේනාරත්න කීවේ ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න සුරේෂ් සලේ යාපනයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිකරන බවය. ඒත් මෛත්‍රී, සුරේෂ් සලේව ඉවත් කරන්න කැමැති නොවීය. ඔහු කීවේ සුරේෂ් සලේ තමාට නිවැරැදි බුද්ධි තොරතුරු ලබාදෙන බවය.

ඒත් රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුවේත්, පුරවැසි බලයේත් බලපෑම හමුවේ මෛත්‍රීට කරකියාගත හැකි දෙයක් නොවීය. මේ හැමටම වඩා මෛත්‍රී අසරණ වූයේ මෛත්‍රී දිනවන්න අපේක්ෂකයකු ඉදිරිපත් නොකර කැපවීමක් කළ ජවිපෙ බලපෑමය. අනුර කුමාර සහ ජවිපෙ එකල සිටි දැඩි ස්ථාවරය ගෝඨාභයව නීතිය ඉදිරියට ගෙන ආ යුතුය යන්නය. නැතහොත් අනාගතයේ ආණ්ඩුවට තර්ජනය එන්නේ ගෝඨාගෙන් බව ජවිපෙ කියවීම විය. ජවිපෙට දැනුණු ඉව නිවැරැදිය. ජවිපෙ නායකයන් මෛත්‍රී හමුවී සුරේෂ් සලේ හරහා රාජපක්ෂවරු මෛත්‍රීගේ ඔළුවට විෂබීජ දමා ආණ්ඩුව විනාශ කරන බව පෙන්වා දී ඔහුව ඉවත් කරන ලෙස කීවේය. මෛත්‍රී බයවී සලේට ඉවත් වෙන්න යැයි කීවේය.

මෛත්‍රී සහ රනිල්ගේ ආණ්ඩුව අතර පළමු පිපිරීම පටන්ගත්තේ මේ සලේගේ ප්‍රශ්නයෙනි. එතැන් සිට මෛත්‍රී තව තවත් ගෝඨාට සමීපවී රාජපක්ෂවරුන් සමග පලුදු වූ සබඳතා හදාගන්න උත්සාහ කළේය. ගෝඨා මෛත්‍රීට දුන්න ලණුව මෛත්‍රී 2019 ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නම් ගෝඨා අගමැති අපේක්ෂක ලෙස මෛත්‍රී දිනවන්න එන්න සූදානම් කියාය. එකල මෛත්‍රීගේ සමීපතම ඇමැතිවරුන් වූ එස්.බී. සහ ජෝන් සෙනෙවිරත්න 2019 සටනේදී මෛත්‍රී ජනාධිපති, ගෝඨා අගමැති යැයි ප්‍රසිද්ධියේ කීය.


එහෙම බලනකොට ඇත්තටම මෛත්‍රී-රනිල් ආණ්ඩුව වැටෙන්න පටන් ගත්තේ සලේ නිසාය.


pasku
ජවිපෙ නිවැරැදිව කියවපු විදියටම ගෝඨා ජනාධිපති විය. ගෝඨා ජනාධිපති වී සලේව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්කළේය. ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සහ යූ.ඇන්.පී.ය පළමු ප්‍රහාරය එල්ල කළේ පාස්කු ප්‍රහාරය මුල් කරගෙනය. එකල සමගි ජන බලවේගයේ ප්‍රධාන චරිත වූ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ආණ්ඩුවේ ඉන්නවා කියමින් ඔවුන් වක්‍රව ඉලක්ක කළේ සුරේෂ් සලේවය. පාස්කු බෝම්බකරුට ‘සොනික් සොනික්’ කියන පණිවුඩයක් ආ බවත්, ඒ සොනික් ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රධානියෙක් බවත් ඔවුහු කීහ. ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව පළමු මහජන අප්‍රසාදය ආවේ මේ පාස්කු බෝම්බ චෝදනාවෙන්ය. කතෝලික පල්ලිය අරගලයට බැස්සේත් මේ චෝදනාව හරහාය.

අරගලයෙන් ගෝඨා ඉවත් වූ පසු රනිල් ජනාධිපති විය. හරීන්ලා, මනුෂලා ඇමැතිවරු වූහ. රනිල් හෝ රනිල්ගේ ඒ ආණ්ඩුව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට අතවත් තිබ්බේ නැත. ඒ වෙනුවට රනිල් සහ ආණ්ඩුව පාස්කු චෝදනාවලින් සුරේෂ් සලේව ආරක්ෂා කළහ. සුරේෂ් සලේව 2016දී හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන්න කී රනිල් සහ යූ.ඇන්.පී.ය ඔහුගේ ආරක්ෂකයන් විය.

AnuraK 1200px 06 10 24 1

අනුර ජනාධිපති වුණේ පල්ලියේ සහායෙනි. ඔහු පල්ලියට දුන් පොරොන්දුව සුරේෂ් සලේව රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත් කොට පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා හොයනවා කියන එකය. හැබැයි අනුරට ඔහුව ඉවත් කරන්න මාසයක් ගියේය. ඔහුව අත්අඩංගුවට ගන්න අවුරුද්දක් ගියේය.


‘ඇයි ඒ…?’

සුරේෂ් සලේ කියන්නේ දේශපාලන බෝම්බයකි. ආණ්ඩු පුපුරුවන දේශපාලන බෝම්බයකි. අනුරත් ඒක දන්නවාද දන්නේ නැත.


(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews


whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්