leader s

දකුණු කොරියාවේ මෙතක් වාර්තා වන දරුණුම ගුවන් අනතුරට බඳුන් වූ ජෙජු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ දත්ත සහ හඬ පටිගත වන "කළු පෙට්ටි" දෙකම අනතුරට විනාඩි කිහිපයකට පෙර අක්‍රීයව ගොස් ඇතැයි, නවතම විමර්ශන හමුවේ අනාවරණය වී තිබේ.

එරට ප්‍රවාහන අමාත්‍යංශය සිකුරාදා (10) ඒ බව නිවේදනය කළේය.

එහි අඩංගු  දත්ත සහ තොරතුරු, 179 දෙනකුට මරු කඳවු එම අවාසනාවන්ත අනතුරට ආසන්නතම හේතු සොයා යාමට මූලික අනාවරණ සිදු කරනු ඇතැයි, ගුවන් අනතුර පිලිබඳ විමර්ශනය කරන නිලධාරීහු මීට පෙර ප්‍රකාශ කළහ.

දැන්, එම "කළු පෙට්ටි" එසේ අක්‍රීය වූයේ මන්දැයි සොයා නව පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

 

පසුගිය දෙසැම්බර් 29 දා එම ගුවන් අනතුර සිදු විය. ගුවන් යානයේ හඬ තොරතුරු අඩංගු "කළු පෙට්ටියේ" මුල් විමර්ශන දකුණු කොරියාවේදීම සිදු කෙරිණි. එහෙත්, එහි තොරතුරු අතුරුදන් බව හඳුනාගැනීමෙන් අනතුරුව, වැඩි දුර විමර්ශන පිණිස එය එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගැනිණි. 

සාමාන්‍යයෙන්, ගුවන් යානයක ගුවන් නියමුවන් සහ පාලක මැදිරි අතර සංවාද, ගුවන් නියමු කුටියේ කතාබහ සහ ගුවන් යානා පද්ධති ක්‍රියාකාරීත්වය පිලිබඳ අත්‍යවශ්‍ය  දත්ත, එම "කළු පෙට්ටි" දෙකෙහි පටිගත වේ.  

දකුණු කොරියාවේ ජෙජු ගුවන් සේවයට අයත් 7C2216 දරන 737-800 වර්ගයට අයත් මගී ගුවන් යානය තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොටුපොල තෙක් පියාසර කරමින් තිබිණි. ගුවන් යානය ගොඩ බැස්වීමට ආසන්නයේ, යානයේ පක්ෂීන් ගැටීම නිසා, අදාළ ගියර අක්‍රීයව ගියේය. අනතුරුව ගුවන් නියමුවා විසින් යානය හදිසි ගොඩ බැස්වීමකට යොමු කර තිබිණි.

 

ගොඩ බැස්වීමේ රෝද ක්‍රියාත්මක නොවූ මොහොතක, යානයේ බඩපත සහිත බඳ කොටස, ගුවන් ධාවන පථය මත ස්පර්ශ වීමට සලස්වා (belly-landing)  සිදු කළ එම හදිසි ගොඩ බැස්වීමේ ක්‍රියාවලියේ අවසන් අදියරේදී, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා  ගොස්, ඊට මීටර 200ක පමණ දුරින්, ගුවන් යානා මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කිරීමට ඉදිකර තිබූ කොන්ක්‍රීට් පැති බැම්මක වැදී, ගිනි ජාලාවක්ව පුපුරා, දැවී විනාශ විය.

ජෙජු ගුවන් අනතුර ගැන ද්වේශ සහගත, සාවද්‍ය තොරතුරු පළ කරන්නන් සොයා දඬුවම්  කරන්න' - ද. කොරියා වැඩ බලන ජනපති

 

අනතුරට පෙර ගුවන් නියමුවන්, යානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට විනාඩි දෙකකට මත්තෙන් ගුවන් පාලක මධ්‍යස්ථානයෙන්, අවට ගුවන් කලාපයේ පක්ෂි ගැවසීම් පිලිබඳ නියමුවන් දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ. 

අත්‍යවශ්‍ය දත්ත අඩංගු ගුවන් යානය සතු "කළු පෙට්ටි"  දෙකෙහි, අවසන් මොහොතේ අවශ්‍යම තොරතුරු පටිගත නොවීම අරුමයට කරුණක් බවත්, එසේ සිදු විය හැක්කේ, ගුවන් යානය පූර්ණ බලශක්ති අවදානමකට ලක්ව, දෙවැනි බල ආරෝපණ ශක්‍යතාව ද  ගිලිහී යාමකින් පමණක් බවත්, එහෙත්, එවැනි සිදුවීමක් අතිශයින් විරල ගනයේ එකක් බවත්, එරට ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු අනතුරු විමර්ශකයකු වන සිම් ජායි-දොඞ් (Sim Jai-dong) කියා සිටී. 

දැනට ඉතිරි වී ඇති දත්ත සහ තොරතුරු මත, අනතුර පිලිබඳ ඉදිරි විමර්ශන සිදු කෙරෙන බවත්, එම සියළු දත්ත සහ තොරතුරු, විපතට පත් පවුල් සාමාජිකයින් අතර සන්නිවේදනය කෙරෙන බවත්, එමගින් විමර්ශන කටයුතු පිලිබඳ  පූර්ණ විනිවිද භාවය තහවුරු කර ඇති  බවත්, දකුණු කොරියානු බලධාරීහු 'දැන්' පවසති.

 

එහෙත්, එරට ප්‍රවාහන අමාත්‍යංශය එම ගුවන් අනතුර පිලිබඳ පරීක්‍ෂණ වල  මූලිකත්වය ගෙන ක්‍රියා කරීම සැකයට කරුණක් බව අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ පවුල් සාමාජිකයෝ ප්‍රකාශ කරති. ඉදිරි විමර්ශන සියල්ල, එම පවුල්වල නිර්දේශ මත පත් කෙරෙන ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශන මඬුල්ලක් විසින් සිදු කළ යුතු බව ඔවුහු කියා සිටිති.

ගුවන් අනතුරට සමීපතම හේතුව වූ, ම්යුවන් ගුවන් තොටුපොළ වෙත ලඟා වන ගුවන් යානා සඳහා මග පෙන්වීමට ඉදිකර ඇති මාර්ග දර්ශක ඇන්ටෙනා සවි කළ ඝන කොන්ක්‍රීට් තාපයක් වැනි ඉදි කිරීම, ධාවන පථයට අනවශ්‍ය සේ සමීපව සහ ස්ථාවරව ඉදි කර ඇතැයි, ගුවන් අනතුරු විශේෂඥයෝ ද ප්‍රකාශ කළහ.

 



හදිසි ගොඩ බැස්වීමකදී, ගුවන් යානයක් ප්‍රධාන ධාවන පථයෙන් ඉවතට ලිස්සා ඇදී යාමේ වැඩි සම්භාවිතාවක් පවතින හෙයින්, එම ඝන සහ ස්ථාවර ඉදිකිරීම් එවැනි අවස්ථාවකදී මරු කැඳවන අනතුරක් සිදු කිරීමට ඔනෑ තරම් ප්‍රමාණවත් බව ඔවුහු කියා සිටියහ. එම ඇන්ටෙනා, ඒ සඳහා නිර්දේශිත  ලෝහමය හෝ පයිලෝන් අධාරක මත සවි කරනවා වෙනුවට, ඝන කොන්ක්‍රීට් ස්ථරයක් මත ඉදි කර තිබීම, ප්‍රශ්න සහගත බව ද ඔවුහු පැවසූහ.  

වත්මන, ම්යුවන් ගුවන් තොටුපොළේ එම ඉදි කිරීම පිලිබඳව ද පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

සබැඳි ලිපි :
දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි

ජෙජු අනතුර සිදු වූ දකුණු කොරියාවේ ම්යුවන් ගුවන් තොට ලබන 14 තෙක් වැසේ

ජෙජු ගුවන් අනතුර ගැන ද්වේශ සහගත, සාවද්‍ය තොරතුරු පළ කරන්නන් සොයා දඬුවම් කරන්න' - ද. කොරියා වැඩ බලන ජනපති

වසර අවසානය ගුවන් ක්ෂේත්‍රයට අපලයි ! - දකුණු කොරියා අනතුරට හේතුව අනවශ්‍ය ඉදිකිරීමක්

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්