leader s

ලක්ෂයට අධික බ්‍රිතාන්‍යයෝ ඊයේ (13) මධ්‍යම ලන්ඩනය හරහා විරෝධතාවක නිරත වූහ. එංගලන්ත සහ බ්‍රිතාන්‍ය ධජ ලෙලවමින්, ඔවුහු විරෝධතා පෙළපාලිවලට එක්වූහ.


විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවූ බව ද වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ විරෝධී සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් එම විරෝධතා පෙළපාලිය සංවිධානය කර තිබිණි. මෑත කාලීනව එරට පැවති විශාලතම දක්ෂිණාංශික මහජන විරෝධතාව මෙය වේ.

"රාජධානිය එක්සේසත් කරනු" යන මැයෙන් සංවිධානය කර තිබූ එය, සංක්‍රමණ විරෝධී ක්‍රියාකාරී ටොමී රොබින්සන් (Tommy Robinson) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම මහජන විරෝධතාවයට ප්‍රතිරෝධී තවත් කණ්ඩායමක් විසින් "වර්ගවාදයට එරෙහිව නැගී සිටිමු" යන තේමාවෙන් වෙනත් විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි. 5000කට ආසන්න පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

දෙපිරිස අතර ගැටුම් ඇතිවීම වැලක්වීමට පොලිසිය මැදිහත් විය. එම අවස්ථාවේදී විරෝධතාකරුවන්, පොලිස් නිලධාරීන් වෙත පහර දෙමින්, බෝතල් සහ අතට හසුවන වෙනත් දෙයින් දමා ගසමින් කළහකාරීව හැසිරුණු  බව පොලිසිය පැවසීය. එහිදී පොලිස් නිලධාරීන් 26 දෙනෙක් තුවාල ලැබූහ.  ඉන් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය සඳහන් කරයි.

විරෝධතාකරුවන් 25 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් විය. නීතිය හා සාමය කඩකරමින් හැසිරුණු තවත් පිරිස් හඳුනා ගැනීමට විමර්ශන දියත් කර ඇතැයි, පොලිසිය කියයි.



විරෝධතාවන්ට එක්වූ ඇතැම් දක්ෂිණාංශික විරෝධතාකරුවන් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ජාතික ධජ අත දරා සිටි බව ද විදෙස්  මාධ්‍ය සඳහන්  කරයි. ඔවුන් " ඇමෙරිකාව යළි බලවත් කරමු" (Make America Great Again) යනුවෙන් සඳහන් වැකි සහිත ඇඳුමින් සැරසී සිටි බව ද වාර්තා වේ. ඇතැම් විරෝධතා කරුවෝ  සිය කුඩා දරුවන් ද කැටිව ඊට එක්ව සිටියහ.

එහිදී පාක්ෂික විරෝධතාකරුවන් ඇමතූ ටොමී රොබින්සන්, සිය විරෝධතාවත් සමග, මහා බ්‍රිතාන්‍යයේ සංස්කෘතික විප්ලවයේ ගිනි පුලිඟු දැල්වූ බව පැවසීය. එය දේශානුරාගයේ, නොනවතින රැල්ලක් බව ඔහු අවධාරණය කළේය.

විරෝධතා රැලියට සමගාමීව වීඩියෝ තාක්ෂණයෙන් පණිවුඩයක් නිකුත් කළ එක්සත් ජනපද ධන කුවේර, එලොන් මස්ක් (Elon Musk), බ්‍රිතාන්‍ය රජය වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි, පවසයි. බ්‍රිතාන්‍යයෝ, භාෂණයේ නිදහස භුක්ති විඳීමට බියෙන් පසුවෙතැයි, ද ඔහු කියා සිටී.    

රොබින්සන් ඇතුළු අනෙකුත් අන්ත-දක්ෂිණාංශික පාක්ෂිකයින්ගේ සහාය පිණිස මස්ක්, බ්‍රිතාන්‍ය දේශපාලනයට ඇඟිලි ගසමින් ඇතැයි,  විදෙස් මාධ්‍ය කියයි.



සිය සත්‍ය නම, ස්ටීවන් යැක්ස්ලේ-ලෙනන් ( Stephen Yaxley-Lennon) යි, පවසන රොබින්සන්, තමා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය දූෂණ අනාවරණය කරන මාධ්‍යවේදියකු බව කියා සිටී.

රෝබින්සන්ව විශ්වාසයේ තබා ක්‍රියා කරන බවත්, බ්‍රිතාන්‍යය වෙත නීති විරෝධී සංක්‍රමණිකයින්ගේ ආගමනය වහා තහනම් කළ යුතු බවත් ඊයේ, බ්‍රිතාන්‍ය මහජන රැලියට එක්වූ විරෝධතා කරුවෝ කියා සිටියහ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/14/2025

මුලාශ්‍රය :

Police and protesters scuffle as 110,000 join anti-migrant London protest

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්