ගාසා යුද්ධයට මැදිවූ බාල වයස්කරුවන්ට ගාසා නගරයෙන් ද පලා යාමට සිදුවීම අතිශය අමානුෂික තත්ත්වයක් බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගාසා නගරයෙන් මේ වන විට, පලා යන පිරිස් වෙනුවෙන් දක්වා ඇති, දකුණේ පිහිටි අවතැන් පරිශ්‍ර, ළමුන් උදෙසා කිසිසේත් ආරක්‍ෂාකාරී නොවන බව ද, එම සංවිධානය කියා සිටී.
ඊශ්‍රායල පාබල හමුදා දීර්ඝ කාලයක් මාන බලමින් සිටි ගාසා නගරය ආක්‍රමණය කිරීම ඊයේ (16) ආරම්භ කළහ.
ගාසා තීරය සතු ප්‍රධාන නාගරික කලාපය ගාසා නගරයයි.
එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා අනුව පසුගිය මස 14 වන දා සිට මෙතෙක්, ගාසා නගර වාසීන් 1,40,000කට ආසන්න සංඛ්‍යාවක් නගරය අත හැර දකුණු ගාසා තීරය බලා පලා ගොස් සිටිති. ගාසා නගරය මිලියනයකට අධික ජනගහනයකින් යුක්තය.
ගාසා නගරවැසි බාල වයස්කාර දරුවන් අඩ මිලියනයක පමණ පිරිසක් යුද්ධයට මැදිව පීඩාවට සහ කම්පනයට පත්ව සිටිති.
දින 700කට අධික ගාසා යුද්ධයට මැදි වූ ඔවුන්ට, එක් අපා ස්ථානයකින් තවත් අපායකට පලා යාමට සිදුව ඇතැයි, යුනිසෙෆ් (UNISEF) සංවිධානයේ ප්‍රකාශක ටෙස් ඉන්ග්‍රම් (Tess Ingram) ඊයේ ගාසා තීරයේ දකුණු දිග මවාසි (Mawasi) හි අවතැන් කඳවුරක සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දකුණට පලා එන පලස්තීන වැසියෝ, එම අවතැන් කඳවුරු හි පවතින ඉවසා දැරිය නොහැකි අයහපත් තත්ත්වය හේතුවෙන්, ඊශ්‍රායල යුද පෙරමුණ වෙතම පෙරළා ගමන් කරමින් ඇතැයි, ඔහු පැවසීය.
"ඔවුන් කිසිවකුටත් තව දුරටත්, යහපත් තේරීමක් නැහැ. එක්කෝ, ඔවුන් දකුණුබද ගාසාවේ අවතැන් කඳවුරුවල පවතින අනතුරු දායක තත්ත්වය හමුවේ වුව, එහි නැවතිය යුතුයි, නැත්නම්, තමන් දන්නා කියන එහෙත්, යුද ගිනි බුර බුරා නැගෙන ගාසා නගරය වෙතම යළි පලා ආ යුතුයි," ඔහු කීය.
මවාසි කඳවුරේ සිට බීමට ජල දෝතක් රැගෙන යාමට පැමිණි කුඩා දරුවන් පවා ඊශ්‍රායල හමුදා විසින් මරා දමා තිබූ බව ඉන්ග්‍රම් පැවසීය.
ගාසා නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ පලස්තීනුවන් වැල නොකැඩී නගරයෙන් පිටතට පලා යනු දුටු බව ඔහු කියා සිටියේය. එහිදී ඔහුට මුණගැසුණු ඉශ්‍රා (Israa) නම් පලස්තීන ජාතික කාන්තාවක්, සා-පිපාසයෙන් පෙළුණු සිය කුඩා දරුවන් පස් දෙනාද කැටුව, පා ගමනින් පලා යන දර්ශනය හද කම්පිත කළ බව ද ඔහු පැවසීය. එම මව සමග සිටි දරුවන් දෙදනකුම පාවහන් රහිතව ගමන් කරමින් සිටි බව ඉන්ග්‍රම් සිය වීඩියෝ වාර්තාවේ කියා සිටියේය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/17/2025
මුලාශ්‍රය :
'Inhumane' to expect Gaza City's children to flee, UN agency says







