ගාසා නගරය ආක්‍රමණය කරමින් සිටින ඊශ්‍රායල හමුදා, නාගරික මධ්‍යස්ථානයට ලඟා වෙති.
නගරයේ ස්ථාන දෙකක සන්නද්ධ ඊශ්‍රායල හමුදා රථ ක්‍රියාන්විතයේ යෙදෙනු දුටු බව නගර වාසීහු පවසති. එම හමුදා විසින් ගාසා තීරය පුරා අන්තර්ජාල සබඳතා සහ දුරකථන සේවා මුළුමනින්ම විසන්ධි කර තිබේ.
ගාසා නගරයේ නැගෙනහිර තදාසන්න පෙදෙස් දැන්, ඊශ්‍රායල හමුදා සතුව පවතී. පසු ගිය දින කිහිපය පුරාවට ඔවුහු ඒ අවට ෂෙයික් රද්වාන් (Sheikh Radwan) සහ ටෙල් අල්-හවා ( Tel Al-Hawa) ප්‍රදේශ ඉලක්ක කර විශේෂ මෙහෙයුම් දියත් කළහ. පසුව, එම ප්‍රදේශයන්හි ස්ථානගතව, අධික අවතැන් ජනගහනයක් වෙසෙන නගරයේ මධ්‍යම සහ බටහිර කලාප ආක්‍රමණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
අන්තර්ජාල සහ දුරකථන සේවා විසන්ධි කිරීම බරපතල සිදුවීම් පෙළක පෙරනිමිති බව, විදෙස් මාධ්‍ය පවසයි. නාගරික වාසස්ථාන සහ අවතැන් කඳවුරුවල තවමත් බොහෝ පිරිස් රැඳී සිටිති. ඉන් පලා යාමට තරම් වත්කමක් නොමැති ජනතාව සේම නගරයෙන් පිටමන් නොවීමේ අධිෂ්ඨානයේ පසුවන පිරිස් ද ඒ අතර වෙති.
අද (18) ගාසා තීරයේ එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් 9 දෙනෙක් ගාසා නගර වාසීහු වෙති.
ගාසා නගරයේ සිය හමුදා ක්‍රියාන්විත තව දුරටත් ව්‍යාප්ත කරමින් ඇතැයි, ඊශ්‍රායල හමුදා නවතම ප්‍රකාශයකින් කියා සිටිති. ත්‍රස්ත ඉලක්ක වනසමින්, ත්‍රස්තයින් ඝාතනය කරමින් හමුදා ඉදිරියට ඇදෙන බව ඔවුහු පවසති. දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) සහ රෆා (Rafah) පෙදෙස් හි ද ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකය.
ගාසා නගරයේ සිටින ඊශ්‍රායල හමුදා, පුපුරණ ද්‍රව්‍ය පිරවූ රියදුරන් රහිත රථ හතරක් පුපුරවා හැරි බව ප්‍රදේශවාසීහු පවසති. ඉන්, නිවාස රැසක් විනාශ වී තිබේ.
ගාසා නාගරික මධ්‍යස්ථානයට ආසන්නව පිහිටි ටෙල් අල්-හවා හි ස්ථාන කිහිපයක ද පිපිරීම් සිදු වී ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
නගරය අතැර දකුණු දෙසට පලා යන පලස්තීනුවන් වෙනුවෙන් පැය 48ක කාලයක් සඳහා තවත් මාර්ගයක් විවෘතව තබන බව ඊශ්‍රායල හමුදා ඊයේ (17) දන්වා සිටියහ.
ඊයේ වන විට, දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 65,000 ඉක්ම වීය. එහෙත්, සත්‍ය මරණ සංඛ්‍යාව ඊට හාත්පස වැඩි අගයක් ගනු ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු කියා සිටිති.
පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් කොන්ක්‍රීට් ගොඩනැගිලි සහ වෙනත් ඉදි කිරීම් වලට යටවී, සිර වී සිටින්නන් ගලවා ගැනීම සහ මළ සිරුරු ඉවත් කිරීම ඉමහත් දුෂ්කර කාර්යයක් ව ඇතැයි, ඔවුහු පවසති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/18/2025
මුලාශ්‍රය :
Gaza hit by telecoms blackout as Israeli tanks advance







