සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලන්ඩන් හීත්‍රෝ (Heathrow) ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රධාන යුරෝපීය ගුවන් තොටුපොළ රැසක
දැඩි මගී තදබදයක් ඇතිවේ.
හීත්‍රෝ ගුවන්තොටුපොළ බ්‍රිතාන්‍යයේ දෙවන කාර්ය බහුලම ගුවන් තොටුපොළ වේ. ප්‍රහාරය හේතුවෙන් එම ගුවන්තොටුපොළ මෙහෙයුම් ක්‍රියාවලිය ද අඩපණ ව තිබේ.
මගීන් පරීක්ෂා කෙරෙන සහ ගුවන් යානා වෙත ඇතුළත් කෙරෙන ලොව ඉදිරි පෙළ පරිගණක සේවා සැපයුම් කරුවකු වන කොලින්ස් එරෝස්පේස් (Collins Aerospace) හි මෘදු සේවා පද්ධතියක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත.
තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රැසක පිටත්වීමේ පර්යන්තයන්හි ගැටළුවක් පැන නැගී ඇතැයි එම සමාගම පවසයි. සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිය සේවා ලාභී ගුවන් තොටුපොළ රැසක මගී මෙහෙයුම් පද්ධති අකර්මණ්‍යව ඇතැයි, එහි නිලධාරීහු ප්‍රකාශ කරති.
සයිබර් ප්‍රහාරය හේතුවෙන් බ්‍රසල්ස් (Brussels සහ බර්ලින් (Berlin) ගුවන් තොටුපොළ මෙහෙයුම් ද අඩ පණ ව ඇතැයි, වාර්තා වේ. මුල් සිදුවීමෙන් පැය කිහිපයකට පසු, සිය සේවා පද්ධතීන් ද අකර්මණ්‍ය වන බව අයර්ලන්ත ඩබ්ලින් (Dublin) ගුවන් තොටුපොළ ද දන්වා සිටියේය. එරට දෙවන විශාලතම ගුවන් තොටුපොළ වන කොර්ක් (Cork) ගුවන්තොට ද සයිබර් ප්‍රහාරයට බඳුන්ව තිබේ.
ප්‍රහාරය හෙත්වෙන් එම ගුවන්තොටුපොළ රැසක මගී සහ ගමන්මලු පරික්ෂා කිරීම් පද්ධති අකාර්යක්ෂම පවතී. එහෙත්, බාහිර පරික්ෂා කිරීම් මගන් එම අවහිරතා මගහැර ගැනීමට පියවර ගන්නා බව, ඇතැම් ගුවන්තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.
හීත්‍රෝ , බර්ලින් සහ බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිට පිටත් වන සහ ඒ වෙත පැමිණෙන ගුවන් ගමන් 29ක් තව දුරටත් අවලංගු කර ඇතැයි, එම ගුවන් පාලක මධ්‍යස්ථාන කියයි. අද (20), හීත්‍රෝ ගුවන්තොටුපළින් පිටත්වන ගුවන් ගමන් වාර 651ක්, බ්‍රසල්ස් හි වාර 228ක් සහ බර්ලින් හි ගමන් වාර 226ක් සැලසුම් කර තිබු බව එම ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලක මැදිරි විසින් දන්වා තිබේ.
ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර, ගුවන් සේවා වෙතින් සිය ගමන් වාර පිලිබඳ විමසා සිටින ලෙස එම රටවල ගුවන් මගීන් වෙත දැනුම් දීම් සිදු කර ඇත.
ඊයේ (19) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් (St. Petersburg) නුවර පුල්කොවෝ ( Pulkovo) ගුවන් තොටුපොළ නිල වෙබ් අඩවිය ද සයිබර් ප්‍රහාරයකට ලක් විය.
(සටහන | Reuters සහ Aljazeera ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/20/2025
මුලාශ්‍රය :
Passengers stranded at Heathrow, other European airports after cyberattack







