ඊශ්‍රායල හමුදා අද (28) ගාසා නගරයේ නේවාසික කලාප රැසක් ආක්‍රමණය කළහ.
ව්‍යසනයට මැදි වූ පලස්තීනුවන් වෙතින් ලැබෙන දුරකථන ඇමතුම් කිසිවකට ප්‍රතිචාර පිණිස, මුදා ගැනීමේ කටයුතු කිසිත් සිදු කිරීමට අවකාශ නැතැයි, ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.
ගාසා නගරයේ, සබ්‍රා (Sabra), ටෙල් අල්-හවා (Tel Al-Hawa), ෂෙයික් රද්වාන් (Sheikh Radwan) සහ අල්-නසාර් (Al-Naser) නේවාසික කලාප වෙත ඊශ්‍රායල යුද ටැංකි මගින් දරුණු ප්‍රහාර දියත් කර තිබේ. සිය දහස් ගණන් පලස්තීන වැසියන් කොටු වී සිටින නාගරික කලාපයේ ස්ථාන සියල්ල ද ඊශ්‍රායල හමුදා විසින් වසා දමා ඇත.

අවි බිම තබා යටත් වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් මෑතක කළ කිසිදු දැනුම් දීමක් තමන් වෙත ලැබී නැතැයි, හමාස් සංවිධානය අද පැවසීය. මැදහත් කරුවන් විසින් ගාසා යුද්ධය නතර කිරීමට නව යෝජනාවලියක් ද තමන් වෙත ඉදිරිපත් කර නැතැයි ඔවුහු පවසති.
හෙට (29), එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු හමු වීමට නියමිතය.
ගාසා නගරයේ යුද්ධයට මැදි වී තුවාළ ලබා සිටින පලස්තීන වැසියන් මුදා ගැනීමට ජාත්‍යන්තර සංවිධාන ඔස්සේ සිදුකළ ඉල්ලීම් 73ක් ඊශ්‍රායල හමුදා ප්‍රතික්ෂේප කළ බව ගාසා සිවිල් හදිසි සේවය ඊයේ (27) නිවේදනය කළේය. සිය හමුදා වෙත යුද ටැංකි නාශක මිසයිල එල්ල කළ හමාස් ත්‍රස්තවාදීන් පස් දෙනෙකු, ගුවන් ප්‍රහාර මගින් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ.
ඉකුත් පැය 24 ක කාලය තුළ ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ සන්නද්ධ ත්‍රස්ත ඉලක්ක 140ක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාර හේතුවෙන් අද දිනයේ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 21 තෙක් ඉහළ ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/28/2025
Tanks thrust deeper into Gaza, medics say many injured are trapped







