ජපානය තුළ සීග්‍රයෙන් වර්ධනය වන වලස් උවදුර මැඩලීමට රාජ්‍ය මැදිහත්වීමෙන් පියවර ගැනේ.
මෙම මස මැද භාගය වන විට, ඒ පිලිබඳ වැඩි දුර සැලසුම් ඉදිරිපත් කරන ලෙස එරට අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
ජපානයේ, කඳුකර, වනබද සහ ජනාකීර්ණ ස්ථානයන් හි වලසුන් ගැවසීම වර්ධනය වී ඇතැයි එරට එන්. එච්. කේ. (NHK) රූපවාහිනිය මෑතක සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය විය.

ඉකුත් මස පමණක් ජපන් වැසියන් වෙත වලස් ප්‍රහාර 80කට අධික සංඛ්‍යාවක් එල්ල වී තිබේ. ජපානයේදී වලසුන් පිලිබඳ විමසිලිමත් වන ලෙස, බ්‍රිතාන්‍යය ද එරට වැසියන්ට මාර්ගෝපදේශ නිකුත් කළේය.
ඒ පිලිබඳ ඉකුත් බ්‍රහස්පතින්දා (30) පැවති ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුවේදී, අමාත්‍ය මණ්ඩල ප්‍රධාන ලේකම්, කිහරා මිනෝරු (Kihara Minoru), වලස් උවදුර තුරන් කිරීම පිණිස නව පියවර රැසකින් හෙබි යෝජනාවලියක් ඉදිරිපත් කළේය. අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන රැසක නියෝජිතයින් හා මීට පෙර පැවති සාකච්ඡා පදනම් කර, එම යෝජනාවලිය කෙටුම්පත් කෙරිණි.
මෙම වසරේ ජපානය තුළ වලස් ප්‍රහාර වැඩි වී ඇතැයි, කිහරා පවසයි. මේ වන විට, ජන ජීවිතයට තර්ජන එල්ල කරමින් විවිධ හේතුන් මත, ජපානය පුරාම වලස් උවදුර ව්‍යාප්තව ඇතැයි, ඔහු කියා සිටී.

එම උවදුරින් ජන ජීවිත හා ජීවිත ආරක්ෂා කිරීම පිණිස, සමස්ත ජපානයේම දැඩි හදිසි ක්‍රියාමාර්ග රැසක් වහා ක්‍රියාත්මක කරන බව ද, ඔහු අවධාරණය කරයි.
එමගින්, හදිසි දැනුම්දීම් මත ක්‍රියාත්මක වීමට වලස් දඩයම් කරුවන් බලාත්මක කෙරේ. ඊට අවසරපත් නිකුත් කිරීම පිණිස, අමාත්‍යංශ සහ හඳුනාගත් වෙනත් රාජ්‍ය නිලධාරීන් වැඩි පිරිසකට බලය පැවරේ.
එම ක්‍රියාන්විත වලදී පොලිසිය හා දඩයම්කරුවන් අතර සහයෝගය නියාමනය උදෙසා සම්බන්ධීකරණය, ඊට අනුබද්ධ අමාත්‍යංශ සහ රාජ්‍යායතන ඔස්සේ සිදු කෙරේ. අදාළ රාජකාරි අප්‍රමාදීව ඉටු කිරීම වෙනුවෙන් දඩයම් කරුවන්ට රජයෙන් වැටුප් හිමි වේ.
මෙම මස මැද භාගය වන විට එම ක්‍රියාන්විත සිදු කෙරෙන අන්දම සහ නියමිත වැටුප් නිර්ණය කිරීම පිලිබඳ සැලසුම් ඉදිරිපත් කරන මෙන්, අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

මේ පිලිබඳ පසු ගිය දා පැවති කැබිනට් රැස්වීමට එරට පරිසර අමාත්‍ය, ඉෂිහාරා හිරොතකා (Ishihara Hirotaka) සහ අධ්‍යාපන අමාත්‍ය, මට්සුමොටෝ යොහේයි (Matsumoto Yohei ) ද එක් වූහ.
පාසල් පරිශ්‍රයේදී හා ඉන් පිටත මෙන්ම පාසල් යන එන වාරයේ වලස් උවදුරින් පාසල් සිසු සිසුවියන් ආරක්ෂා කර ගැනීම පිණිස, ආපදා කළමනාකරණ අත්පොත් යාවත්කාලීන කරන මෙන්, අධ්‍යාපන අමාත්‍යංශය විසින් රට පුරා අධ්‍යාපන මණ්ඩල වෙත දැනුම් දී තිබේ.
(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/01/2025
මුලාශ්‍රය :
Japan to work out additional measures for responding to growing bear attacks | NHK WORLD-JAPAN News







