පෙරු රාජ්‍යය හා මෙක්සිකෝව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටේ. පෙරු දේශයේ විදේශ අමාත්‍යංශය ඊයේ (03), ඒ බව නිවේදනය කළේය.
එරට හිටපු අග්‍රාමාත්‍යවරිය, දේශපාලන රැකවරණ පතා මෙක්සිකෝ තානාපති කාර්යාලය වෙත පලා යාම ඊට හේතුවයි.
ජනපති පෙද්‍රෝ කැස්ටිලෝ (Pedro Castillo) යටතේ සේවය කළ, හිටපු අගමැතිනි, බෙට්සි චාවේස් (Betssy Chavez), මෙක්සිකෝ තානාපති කාර්යාලයට පලා ගිය බව රාජ්‍ය නිලධාරීන් "දැනගත්තේ" ඊයේ උදෑසන බව, මාධ්‍යවේදීන් ඇමතූ පෙරු විදේශ අමාත්‍ය, හියුගෝ ඩි සෙලා (Hugo de Zela) පැවසීය.
හියුගෝ ඩි සෙලා
මෙක්සිකෝ තානාපති කාර්යාලය සිදුකළ "මිත්‍රද්‍රෝහී" ක්‍රියාව සහ වත්මන මෙන්ම අතීතයේ ද, එරට ජනපතිවරුන් පෙරු හි අභ්‍යන්තර කටයුතුවලට පුන පුනා අත පෙවීම පිලිබඳ විරෝධය පා, මෙක්සිකෝව හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණය කළ බව, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
2022 වසරේ, පෙරු හිටපු ජනපති, කැස්ටිලෝ හට එරට කොන්ග්‍රසය විසුරුවා හැරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන්, බෙට්සි අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින්නීය. ධුරයෙන් නෙරපා හැරුණු කැස්ටිලෝ, තවමත් අත්අඩංගුවේ පසුවේ. 2023 වසරේ සිට සිරදඬුවමට ලක්වූ බෙට්සි, විනිසුරුවකු විසින් ඉකුත් සැප්තැම්බරයේ ඇප පිට නිදහස් කෙරිණි.
බෙට්සිගේ පලායාම සම්බන්ධයෙන් පෙරු RPP ගුවන් විදුලිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළ ඇගේ නීතීඥවරයා, දින කිහිපයක සිට බෙට්සිගෙන් තොරතුරක් නොලද බව හා ඇය විසින් දේශපාලන රැකවරණ ඉල්ලා සිටි බවට කරුණු කිසිත් නොදන්නා බව ප්‍රකාශ කළේය.
මීට පෙර වරක්, කැස්ටිලෝ, පෙරු කොන්ග්‍රසය විසුරුවා හැරීමේ කුමන්ත්‍රණයේ යෙදී සිටින අතර වාරයේ, ඇයව මෙක්සිකෝ තානාපති කාර්යාලය වෙත "ඇරලවන" ලෙස බෙට්සි පැවසී යැයි, ඇගේ රියදුරු විසින් මීට පෙර තහවුරු කර තිබිණි.
එවර, බෙට්සි එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ව්‍යවස්ථාදායකය විසුරුවා හැරීම පිලිබඳ කිසිත් නොදන්නේ යැයි ද, කියා සිටියාය.
පැමිණිල්ලේ නීතීඥයෝ ඇයට එරෙහි 25 වසරක සිර දඬුවම් ඉල්ලා සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/04/2025
මුලාශ්‍රය :
Peru breaks off diplomatic relations with Mexico after ex-PM flees to Mexican embassy







