ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් අද (07) දැඩි ප්‍රමාදයට ලක්ව තිබේ.
ගුවන් ගමන් පාලන පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇත.
ගැටලුව හේතුවෙන් සිය ගමන් වාර බොහෝ ප්‍රමාද වන බව ඉන්ඩිගෝ (IndiGo), එයාර් ඉන්ඩියා (Air India) සහ ස්පයිස් ජෙට් (Spicejet ) ගුවන් සේවා දන්වා සිටිති. ගුවන් යානා පිටත්වීම් සහ ළඟාවීම්, පොරොත්තු කාලසටහන් ඉක්මවා යන බව ගුවන් ගමන් පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබේ.
ගුවන් ගමන් පාලන දත්ත හා සහසම්බන්ධිත ස්වයංක්‍රීය පණිවුඩ හුවමාරු පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයක්, තාක්ෂණික දෝෂයට හේතුවයි.
තාක්ෂණික දෝෂය හේතුවෙන් අද උදෑසන ගුවන් යානා 70ත් 80ත් අතර සංඛ්‍යාවක පිටත්වීම් මිනිත්තු 30කට අධික කාලයකින් ප්‍රමාද විය. එහි සාමාන්‍යය මිනිත්තු 55 ද ඉක්මවා ඇතැයි, ෆ්ලයිට්රාඩාර් 24 ( Flightradar24) වෙබ් අඩවිය සඳහන් කරයි. ගැටලුව මත ඊයේ දිනයේද, ගුවන් යානා 25ක් ප්‍රමාදයට ලක් විය.
දිල්ලි ගුවන් තොටුපොළ පැයකට ගුවන් ගමන් 60 - 70 අතර සංඛ්‍යාවක් මෙහෙයුම් කරයි.
අද, දිල්ලි ගුවන් තොටුපොළේ සිට රෝමය බලා පියාසර කිරීමට නියමිත අයි.ටී.ඒ. ගුවන් සේවයට (ITA Airways) අයත් ගුවන් යානයක් පැය 2කට අධික කාලයක් ප්‍රමාදයට ලක් විය. ලන්ඩන් බලා පියාසර කෙරුණු වර්ජින් ඇට්ලන්ටික් (Virgin Atlantic) ගුවන් යානයක් ද පැයකට අධික කාලයක් ප්‍රමාද විය. වැඩිම ප්‍රමාදයන්ට ලක්වූයේ එරට වේලාවෙන් පෙ.ව.6.00ත්, පෙ.ව.8.00ත් අතර පිටත්වීමට නියමිතව පැවති ගුවන් යානා බව වාර්තා වේ.
ඉකුත් වසරේ, දිල්ලි ගුවන් තොටුපොළ මගීන් මිලියන 78කට අධික සංඛ්‍යාවක් මෙහෙයවීය. එය ලොව 09 වන කාර්ය බහුලම ගුවන් තොටුපොළ වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/07/2025
Flights delayed at Delhi airport after technical glitch







