බටහිර ඉවුරේ (west Bank) බලහත්කාරයෙන් රැඳී සිටින ඊශ්‍රායල පදිංචිකරුවෝ ඊයේ (08) එහි පලස්තීනුවන්, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට පහර දුන්හ.
ප්‍රදේශයේ ඔලිව් අස්වනු නෙලීම දැන් ආරම්භ වී තිබේ. ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් අත්පත් කර සිටින බටහිර ඉවුරේ ඔලිව් අස්වනු නෙලීමට සහභාගි වීමට සහ, එය වාර්තා කිරීමට ගිය කණ්ඩායමක් මෙම පහර කෑමට ලක්ව ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
පහර කෑමට ලක්වූ පිරිස අතර එම පුවත් සේවයට අයත් මාධ්‍ය වේදිනියක් සහ ආරක්ෂක උපදේශකයකු ද වෙති. පොලු මුගුරු රැගත් ඊශ්‍රායල පදිංචිකරුවෝ ඔවුන්ට පහර එල්ල කළහ. ඇතැමෙක්, විශාල ගල්මුල් දමා ගසමින් ඊට එක් වූහ.
බටහිර ඉවුරේ නැබ්ලස් (Nablus) නගරයට දකුණු දෙසින් පිහිටි එම ප්‍රදේශයේ, ඉකුත් වසරේ ද එවැනිම ගැටුම් ඇති විය.
මීට දෙවසරකට පෙර ගාසා යුද ගැටුම් ආරම්භ වීමත් සමග, ප්‍රදේශය පුරා ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ පහර දීම් වර්ධනය වී තිබේ. සාමාන්‍යයෙන් ඔලිව් අස්වනු නෙලීම ආරම්භ වන ඔක්තෝබර් මාසයේ එම ප්‍රහාර උත්සන්න වේ.
ගැටුම් උත්සන්න වීමත් සමග ඔලිව් අස්වනු නෙලීමට පලස්තීනුවන් සතු අයිතිය තහවුරු කිරීම පිණිස, ඇතැම් ඊශ්‍රායල ජාතිකයින් සහ සමාජ ක්‍රියාකාරීන් ගේ මැදිහත්වීමද දැක ගත හැක. එහිදී සිදුවන පහරදීම් සියල්ල ලේඛන ගත කෙරේ.
සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසී පලස්තීනුවන් විසින්, අස්වනු නෙලීමේ කාල සටහන් සහ සැලසුම්, මාධ්‍ය වේදීන් වෙත දැනුම් දීමට කටයුතු කෙරේ. සංවේදී ස්ථාන හඳුනා එහි පැමිණෙන මාධ්‍යවේදීහු, එම සියලු සිදුවීම් රූ ගත කර වාර්තා කිරීමට පියවර ගනිති.
ප්‍රදේශයේ ඇති ඊශ්‍රායල වාසස්ථාන බොහෝ විට ජංගම කැරැවන් මෝටර් රථ සහ වෙනත් ශක්තිමත් ඉදි කිරීම් වලින් සමන්විත ය. ඒවා සියල්ල ඊශ්‍රායල බලධාරීන් ද අනුමත නොකළ, අනවසර ඉදිකිරීම් වේ. බටහිර ඉවුරේ පවතින එවැනි ඉදි කිරීම්, ජාත්‍යන්තර නීතිය යටතේ ද, අනවසර ඉදිකිරීම් බව පලස්තීනුවන්ගේ සහ ජාත්‍යන්තරයේ ද මතයයි.
ඊයේ සිදුවීම් සැළ වීමත් සමග, ඒ පිලිබඳ විමර්ශනයට ඊශ්‍රායල හමුදා පිටත් කර ඇතැයි, ඊශ්‍රායල බලධාරීහු පැවසූහ. කෙසේ වෙතත්, මෙතෙක්, එම හමුදා එහි පැමිණ නැතැයි, ප්‍රදේශ වාසීහු කියා සිටිති.
සිවිල් සමාජය ඉලක්ක කළ කිසිදු භීෂණ ක්‍රියාවක් අනුමත නොකරන බව, ඊශ්‍රායල හමුදා පවසති. සිද්ධිය පිලිබඳ විමර්ශනයට පොලිසිය කැඳවා ඇතැයි ද, ඔවුහු කියා සිටිති.
ඊයේ, ඔලිව් අස්වනු නෙලීමේ කටයුතු නිරීක්ෂණයට 30 දෙනකුගෙන් පමණ සමන්විත ග්‍රාම වාසීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියහ. එය වාර්තා කිරීමට මාධ්‍ය වේදීන් 10දෙනෙක් ද එහි වූහ. එම අවස්ථාවේ, කඳු ගැටයක් තරණය කර පහළට පැමිණි පිරිසක් පහර දීම් ආරම්භ කළහ.
ඔවුහු, රැස්ව සිටි පිරිසට පොලු මුගුරුවලින් "දිගට හරහට" පහර එල්ල කළහ. එහි සිටි රොයිටර්ස් මාධ්‍යවේදිනී, රනීන් සවෆ්ටා (Raneen Sawafta), ප්‍රහාරකයින්ගේ දැඩි ග්‍රහණයට නතු වූවාය. මුහුණු ආවරණ පැළඳි 50කට අධික පිරිසක් පහර දීමට සහභාගී වූ බව, සිද්ධිය ඇසින් දුටු ඊශ්‍රායල සමාජ ක්‍රියාකාරී, ජොනතන් පොලාක් (Jonathan Pollak) ප්‍රකාශ කළේය.
පහර කෑමෙන් බිම ඇදවැටුණු මාධ්‍යවේදිනී සවෆ්ටා වටකරගත් ඇතැමෙක්, "කිසි සමාවක් නොපා පහර දියව්," යි හඬ නගමින් ඇයට දිගින් දිගටම ගල් ගැසූ බව පොලාක් පැවසීය. ඇගේ සහායට දිව ආ පිරිස් ද ප්‍රහාරකයින්ගේ ගොදුරු බවට පත් වූහ. ප්‍රහාරකයින් සියලු දෙනා හිබෘ බස කතාකරන්නන් බව ද අනාවරණය විය.
මාධ්‍යවේදිනී, සවෆ්ටා සමග සිටි රොයිටර්ස් ආරක්ෂක උපදේශක ග්‍රාන්ට් බව්ඩෙන් (Grant Bowden) ද එම පහර කෑමට ලක්විය. සවෆ්ටා සතු කැමරා ඇතුළු සියලු මාධ්‍ය ආම්පන්නද විනාශ විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/09/2025
මුලාශ්‍රය :
Israeli settlers attack Palestinians, journalists at West Bank olive harvest, witnesses say







