ඇෆ්ඝනිස්ථානය සහ පාකිස්ථානය අතර සාම සාකච්ඡා බිඳ වැටේ. එසේ වුව, දෙරට අතර සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මක ය.
පාකිස්ථානයේ අභ්‍යන්තර ආරක්ෂාව පළුදු කිරීමේ වගකීම ඇෆ්ඝනිස්ථානය විසින් භාරගතයුතු බවට ඉස්ලාමාබාද් රජය අවධාරණය කිරීමත් සමග, සාම සාකච්ඡා අවසන් කළ බව, ඇෆ්ඝනිස්ථානය පවසයි.
පාකිස්ථානයේ ඉල්ලීම ඇෆ්ඝනිස්ථාන ශක්‍යතා සීමාවෙන් ඔබ්බෙහි පවතින්නක් බව, එරට රාජ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිඩ් (Zabihullah Mujahid) කියයි.
කෙසේ වෙතත්, දෙරට අතර ක්‍රියාත්මක සටන් විරාමය, සිය පාර්ශ්වය විසින් මේ දක්වා උල්ලංඝනය කර නැතැයි, ඔහු වැඩි දුරටත් කියා සිටී. එහි තිරසර බව පිලිබඳ විමසිල්ලෙන් පසුවන බව ද, හෙතෙම අවධාරණය කරයි.
දෙරට දේශ සීමා ආසන්නයේ නව ගැටුම් වළක්වාලනු පිණිස එම සාම සාකච්ඡා ආරම්භ විය. සාම කතාබහ බිඳවැටුණු බව සිකුරාදා (07), පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය, ඛ්වාජා මුහම්මද් අසිෆ් (Khawaja Muhammad Asif ) නිල වශයෙන් දැනුම් දුනේය. එහෙත්, ඇෆ්ඝන් භූමියේ සිට නව ප්‍රහාර එල්ල නොවන තාක්, සටන් විරාමය සුරැකෙන බව ඔහු කියා සිටියේය.
ඉස්තාන්බුල් අගනුවර සාම සාකච්ඡා ඇරඹි බ්‍රහස්පතින්දා (06) දිනයේද, දෙරට දේශ සීමා අතර වෙඩි හුවමාරු සිදු විය.
ඊයේ (08) තුර්කි ජනපති, ටයීප් එර්ඩොගාන් (Tayyip Erdogan), බාකු නුවරදී පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ෂෙබාස් ෂරිෆ් (Shehbaz Sharif ) හමු විය. පාකිස්ථානය සහ ඇෆ්ඝනිස්තානය අතර තිරසර ද්වීපාර්ශ්වීය සාමය උදෙසා මැදහත්කරුවකු සේ කටයුතු කරන බව තුර්කි ජනපති එහිදී කියා සිටියේය.
ඉකුත් මස, පාකිස්ථාන - ඇෆ්ඝනිස්ථාන හමුදා අතර ඇවිළි ගැටුම්වලින් විශාල පිරිසක් මරු මුවට පත් වූහ. එය, 2021 වසරේ තලිබාන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙතෙක් හටගත් දරුණුතම භීෂණ සමය සේ සැලකේ.
පසු ගිය දෝහා නුවරදී දෙපාර්ශ්වය විසින් ම සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබිණි. එහෙත්, පාකිස්ථානයට තර්ජන එල්ල කරමින් ඇෆ්ඝනිස්ථානයේ සිට ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් පිලිබඳ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් දෙවන වටයේ සාම කතා බහට තිත තැබිණි.
දශක ගණනක් තිස්සේ, දෙරට උණුසුම් ද්වීපාර්ශ්වීය මිත්‍රත්වයේ පසු විය. එහෙත්, මෑත කාලීනව එම සබඳතා බිඳ වැටිණි. ඉකුත් මස ආරම්භයේදී, පාකිස්ථාන තලිබාන් නායකයා සොයා, පාකිස්ථාන ගුවන් හමුදාව ඇෆ්ඝන් දේශ සීමා උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරට අතර ගැටුම් උත්සන්න විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/09/2025
මුලාශ්‍රය :
Afghanistan-Pakistan peace talks collapse, ceasefire continues, Taliban says







