ලෝකයේ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන බීබීසී ය දැවැන්ත අර්බුදයකට ඇද දමමින් එහි ඉහළම පදවි දැරූ දෙදෙනාම එක්වර සිය පදවිවලින් ඉල්ලා අස්වී තිබේ.
BBC අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රධාන විධායක නිලධාරිනී (ප්‍රවෘත්ති) ඩෙබරා ටර්නස් එසේ ඉල්ලා අස් වී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ වාර්තා වැඩසටහනක දී ඔහුගේ කතාවක් විකෘති කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙනි.
2020 ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩන් ට පරාජය වීමෙන් අනතුරුව ට්‍රම්ප් ගේ ආධාරකරුවන් 2021 ජනවාරි මාසයේ කොන්ග්‍රස් මන්දිරයට කඩා වැදුන අවස්ථාවේ ට්‍රම්ප් කළ කතාවක සම්පූර්ණ හරය විකෘති වන අන්දමින් බීබීසී පැනරාමා වැඩසටහන විසින් සංස්කරණය කොට තිබුණ බව බීබීසී යේ අභ්‍යන්තර විමර්ශනයකින් හෙළි වී තිබේ.

එම විමර්ශන වාර්තාව මෙතෙක් බාහිර ලෝකයට අනාවරණය වී නොතිබුණ නමුත් ලන්ඩනයේ පළවන The Telegraph පුවත්පත පසුගියදා එහි අන්තර්ගත ඇතැම් කරුණු හෙළිකොට තිබුණි.
මීට ඉහතදීත් මෙවැනි ආන්දෝලන හමුවේ බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඉල්ලා අස් වී තිබෙන නමුත් ආයතනයේ ඉහළම තනතුරු දැරූ දෙදෙනාම එකවර ඉල්ලා අස්වීම පෙර නොවූ විරූ තත්වයකි.
එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල ඉරාක ආක්‍රමණයට සම්බන්ධ වාර්තාවක් පිළිබඳව මතු වූ ආන්දෝලනය හමුවේ ග්‍රෙග් ඩයික් (Greg Dyke) 2004 දී ඉල්ලා අස් වූ අතර, 2012 දී ජෝර්ජ් එන්ට්විස්ල් (George Entwistle) ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ආයතනය තුළ සිදු වූ ළමා අපචාර සම්බන්ධ ආන්දෝලනයක් හේතුවෙනි.
ට්‍රම්ප් ගැන 'බොරු වාර්තාව'
නොවැම්බර් 09 වෙනි දින Tim Davie සහ Deborah Turness ඉල්ලා අස් වූයේ "Trump: A Second Chance?" මැයෙන් පැනරාමා වැඩසටහන පසුගිය වසරේ විකාශනය කරන ලද පැයක වාර්තා වැඩසටහනක් හේතුවෙනි.
කැරලිකරුවන්ට Capitol Hill මන්දිරයට කඩා වැදීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අනුබල දුන් ආකාරයක් හඟවමින් ඔහු කළ දීර්ඝ ප්‍රකාශයක් පැනරාමා වැඩසටහන විසින් සංස්කරණය කොට තිබුණ බව බීබීසී editorial standards කමිටුවේ ස්වාධීන උපදේශකයෙකු ලෙස කටයුතු කළ මයිකල් ප්‍රෙස්කොට් සකස් කළ වාර්තාවකින් ඉඟි කොට තිබිණ.
ඩොනල්ඩ් ට්‍රම්ප්
ජනවාරි 06 වෙනි දින වොෂින්ටන් නගරයේදී සිය ආධාරකරුවන් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, "We're going to walk down to the Capitol, and we're going to cheer on our brave senators and congressmen and women," යනුවෙනි.
එහෙත් "We're going to walk down to the Capitol... and I'll be there with you. And we fight. We fight like hell," ලෙසින් බීබීසී පැනරාමා වැඩසටහන එම ප්‍රකාශය සංස්කරණය කොට තිබුණි.
ඔහුගේ මුල් ප්‍රකාශයේ "We're going to walk down to the Capitol" සහ "and I'll be there with you. And we fight. We fight like hell," අතර පරතරය විනාඩි 50කට වැඩිය.
මෙය බීබීසී ආයතනයේ විශ්වසනීයත්වය පිළිබඳව ග්‍රාහකයින් තුළ බරපතල සැක සංකා මතුකරන්නක් යයි මයිකල් ප්‍රෙස්කොට් (Michael Prescott) ගේ වාර්තාවේ සඳහන් වූ බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසයි. මේ පිළිබඳව බීබීසී ඉහළ කළමනාකරණයට දැනුම් දුන් විට එය බීබීසී යේ ප්‍රමිතිය උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පිළි නොගත් බව ද ස්වාධීන උපදේශකවරයා පවසා තිබේ.
ටෙලිග්‍රාෆ් පුවත්පත පවසන පරිදි පැනරාමා වැඩසටහන පමණක් නොව බීබීසී යේ වෙනත් වැඩසටහන් පිළිබඳව ද ස්වාධීන උපදේශකවරයා බරපතල කනස්සල්ල පළකොට තිබේ.
විශේෂයෙන්ම බීබීසී අරාබි භාෂා සේවයේ ඊශ්‍රායල විරෝධී පක්ෂග්‍රාහී හැසිරීම පිළිබඳවත් ඔහුගේ අවධානය පළ වූ බවත් පුවත්පත පවසයි.
කෙසේ වුවත්, ඊශ්‍රායලයේ ගාසා ජන සංහාරය සම්බන්ධයෙන් සමස්ත බීබීසී ය අනුගමනය කළ අන්ත ඊශ්‍රායල පක්ෂග්‍රාහී ප්‍රතිපත්තිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ බීබීසී මාධ්‍යවේදීන් මෙන්ම බොහෝ දේශපාලන විශ්ලේෂකයින් ද දැඩි විරෝධය පළ කළ අතර, ඒ පිළිබඳව මයිකල් ප්‍රෙස්කොට් වාර්තාවේ කිසිදු සඳහනක් තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත. එවැනි විවේචනයක් තිබුණ ද, දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය පුවත්පතක් වන The Telegraph එය වාර්තා නොකිරීමට ද ඉඩ තිබේ.
වගකීම භාරගැනීම
ඩොනල්ඩ් ට්‍රම්ප් නොකළ ආකාරයේ ප්‍රකාශයක් කළ බව හුවා දැක්වීමට පැනරාමා වැඩසටහන දරා තිබෙන උත්සාහය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. පැහැදිලිවම එය, එම ආයතනය ගැන ග්‍රාහක විශ්වාසය බිඳ දමන වාර්තාවකි.
එබැවින් සිය ආයතනයේ පුවත් වාර්තාවක් සම්බන්ධ වගකීම භාරගෙන බීබීසී ප්‍රධානියා ඉල්ලා අස්වීම ද යහපත් පූර්වාදර්ශයකි.
ඒ අතරම බීබීසී වැනි ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ විශ්වාසය දිනූ ආයතනයක් විනාශ කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අන්ත දක්ෂිණාංශික ජාතිවාදී නායකයින් හැකි සෑම උත්සාහයක් දරමින් සිටින බව ද අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් ආණ්ඩුවක් බලයට පත්වන සෑම අවස්ථාවකම පාහේ සාමාන්‍යයෙන් බීබීසී යට සතුරු ස්ථාවරයක් දැරූ බැවින් බීබීසී ප්‍රධානීන් ඒ ගැන විශේෂ අවධානයකින් සහ කණස්සල්ලකින් කටයුතු කළ බව මට මතකය.
මින් ඉදිරියට වත් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය සමාජයේත් බීබීසී විරෝධීන්ට තුරුම්පු ලබා නොදීමට බීබීසී ය ප්‍රවේශම් සහගත විය යුතුය.

එහෙත් ඊශ්‍රායලයේ ගාසා සංහාරයේ දී බීබීසී ය අනුගමණය කළේ බොහෝ විට ඒ මහා අපරාධයේ බිහිසුණු බව වාර්තා නොකර සිටීමේ ස්ථාවරයක් බව පෙනෙන්නට තිබිණ. ලංකාවේදී මට හමු වූ එක් මුස්ලිම් වෛද්‍යවරයෙක් කීවේ තමන් කලක් ඉතා උනන්දුවෙන් බීබීසී අන්තර්ජාල පුවත් කියවූ නමුත්, තවදුරටත් බීබීසී යට කිසිම දායකත්වයක් දැක්වීමට ("හිට් එකක් දෙන්නවත්") අකමැති නිසා වර්තමානයේ නිකමට හෝ බීබීසී වෙබ් අඩවියට නොපිවිසෙන බවය.
එබැවින් මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ බීබීසී වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙතින් දැනටමත් ඉවත්වෙමින් සිටින ග්‍රාහකයින් දිගින් දිගටම සම්ප්‍රදායික මාධ්‍ය වෙතින් ඉවත් වෙමින්, පුවත් සහ විශ්ලේෂණ සඳහා තවදුරටත් සමාජ මාධ්‍ය වෙත යොමුවීමය. සමාජ මාධ්‍ය සපයන පුවත්වල සම්ප්‍රදායික මාධ්‍යවල තරම්වත් විශ්වසනීයත්වයක් නොමැති බැවින් එහි අවසාන ප්‍රතිඵලය සමස්ත සමාජයටම එතරම් හිතකර වන්නක් ද විය නොහැකිය.

(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 09







