ගාසා තීරයේ උමං පද්ධති කිහිපයක තව දුරටත් සිරවී සිටින පලස්තීනුවන් 200කට ආසන්න පිරිසකට ආරක්ෂිතව ඉන් ඉවත් වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව තුර්කිය කියා සිටී.
මීට දස වසරකට පෙර හමාස් ප්‍රහාරයකින් මිය ගිය ඊශ්‍රායල හමුදා නිලධාරියකුගේ බව පැවසෙන මළ සිරුරක් ඊයේ රතු කුරුස හමුදාව ඔස්සේ ඊශ්‍රායලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
හඩාර් ගෝල්ඩින් (Hadar Goldin) නම්, එම හමුදා නිලධාරියාගේ මෘත දේහය ඊශ්‍රායලය වෙත යළි ලබාදීමට පහසුකම් සලසන ලද්දේ තමන් විසින් බව, තුර්කිය පවසයි. ඊට ප්‍රතිචාර ලෙස ගාසා තීරයේ සිරවී සිටින එම පලස්තීනුවන් පිරිස ආරක්ෂිතව ඉවත් කර ගැනීමට පහසුකම් සලසන ලෙස තුර්කි රජය ඊශ්‍රායලයට දන්වා සිටී.
ඊශ්‍රායල පාලන බල ප්‍රදේශයක්ව පවතින ගාසා හි රෆා ප්‍රදේශයේ අතරමංව සිටින සිය සටන්කරුවන් ඊශ්‍රායල හමුදාවන්ට යටත් නොවන බව, හමාස් සංවිධානය මීට පෙර නිවේදනය කළේය. මසකට ආසන්න කාලයක් ගතවී ඇති, ගාසා සටන් විරාමයේ තිරසර බවට තර්ජනයක්ව පවතින එම ගැටලුව විසඳා දෙන ලෙස, ඔවුහු මැදහත් පාර්ශ්ව වෙතින් ඉල්ලා සිටිති.
දස වසරකට පමණ පෙර, ජීවිතක්ෂයට පත් සිය හමුදා නිලධාරියකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් රතු කුරුසය හරහා ලද බව, ඊයේ ඊශ්‍රායල හමුදා සනාථ කළහ.
මීට වසර 11කට පෙර ගාසා යුද්ධයේදී මිය ගිය ඊශ්‍රායල හමුදා නිලධාරී, හඩාර් ගෝල්ඩින්ගේ මෘත දේහය සිය මැදිහත් වීමෙන් ඊශ්‍රායලය වෙත ලබා දීම, ගාසා සටන් විරාමයේ තිරසර බව උදෙසා හමාස් සංවිධානයේ අප්‍රතිහත කැපවීම පිළිබිඹු කරන්නක් බව තුර්කිය පවසයි. ඊට යහ ප්‍රතිචාර වශයෙන්, උමං හි සිරව සිටින ගාසා වැසියන් 200කට ආසන්න පිරිසක් ආරක්ෂිතව ඉන් මුදා ගැනීමට අවශ්‍ය බව ද, තුර්කිය අවධාරණය කරයි.
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මූලිකත්වයෙන් ප්‍රකාශිත ගාසා සටන් විරාම ගිවිසුමේ පාර්ශ්වකරුවකු ලෙස, තුර්කිය ද අත්සන් තැබීය. තුර්කිය, හමාස් සංවිධානය සමග සමීප සබඳතා පවත්වන අතර ගාසා යුද්ධය පිළිබඳව ඊශ්‍රායලය වෙත දැඩි චෝදනා එල්ල කරයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/10/2025
මුලාශ්‍රය :
Turkey seeks safe passage for 200 civilians trapped in Gaza tunnels, official says







