පිරිසිදු වාතය ඉල්ලා උද්ඝෝෂණය කළ ඉන්දීය විරෝධතාකරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට
ඊයේ (09) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ඉන්දීය ද්වාරය (India Gate) වෙත රැස්වූ විශාල පිරිසක්, අගනුවර වා තලය මුවා කරමින් ඒ ආශ්‍රිත කලාපය පුරා, වාර්ෂිකව පැතිර පවත්නා විෂ වායු දූෂණයට එරෙහි උද්ඝෝෂණයේ නිරත වූහ.
කලක්, සමස්ත ඉන්දීය යුද ස්මාරකය ලෙස හැඳින්වූ ඉන්දීය ද්වාරය, ඉන්දියාවේ සංචාරක ආකර්ෂණයක් ද වේ.
වර්ෂ 1914 සහ 1919 අතර කාලයේ මිය ගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ස්මරණය පිණිස නිර්මාණය කරන ලද මෙම ස්මාරකය, උසින් මීටර 42ක් පමණ වේ. රාජ්පාත් නැගෙනහිර පෙදෙසේ එය පිහිටා තිබේ. එමෙන්ම, ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන් සටන් කරමින්, ජීවිත අහිමි වූ ඉන්දියානු සොල්දාදුවන් 70,000ක් ඇතුළු විවිධ රටවල සොල්දාදුවන්ගේ නම්, ඔවුන් අනුස්මරණය කිරීමේ අරමුණෙන්, මෙහි ගල් පුවරු මත කොටා ඇත.
විරෝධතා බැනර රැගත් බාල, තරුණ, මහළු ඉන්දියානුවන් රැසක් එහි විරෝධතාවට එක් ව සිටියහ. එම ස්ථානය උද්ඝෝෂණ ස්ථානයක් නොවන බව දන්වමින් පොලිසිය උද්ඝෝෂකයින් පලවා හැරීමට පියවර ගත්හ.
වසර ගණනක් තිස්සේ, සෑම ශීත සෘතුවක ම නවදිල්ලි අගනුවර සහ අවට කලාපයය විෂ වායු දූෂණයෙන් බැට කන්නේය. ඔවුන්ට එහි ඇත්තේ එකම ගැටළුවක්, එනම් හුස්ම ගැනීමට පිරිසිදු වායුව නොමැති බව පමණකැයි, උද්ඝෝෂකයෝ කියා සිටියහ. වසර ගණනක් පුරා පවතින එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට බලධාරීන් මෙතෙක් නිසි පියවර ගෙන නැතැයි, ඔවුහු චෝදනා කළහ.
"පිරිසිදු හුස්ම, අප අයිතියයි," යනුවෙන් එක් බැනරයක ලියා තිබූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. "හුස්ම අපේ මරණයයි," යනුවෙන් තවත් බැනරයක ප්‍රදර්ශනය කර තිබිණි.
අද (10), නවදිල්ලියේ වායු තත්ත්ව දර්ශක අගය 345ක් විය. එය "දූෂිත" මට්ටමක් බව මධ්‍යම දූෂණ පාලක මණ්ඩලය (Central Pollution Control Board) පවසයි. එම දර්ශකයට අනුව අගය '0' සිට '50' තෙක් "යහපත්" මට්ටමක් වන අතර 401ත් 500ත් අතර "අතිශය දූෂිත" මට්ටමක් දක්වයි.
පිරිසිදු වාතය මූලික මිනිස් අයිතියක් බව, එක්ස් (X) සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, ඉන්දීය කොන්ග්‍රස් පක්ෂ නායක, රාහුල් ගාන්ධි පැවසීය.
සාමකාමී උද්ඝෝෂණයට ඇති අයිතිය ඉන්දීය ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ඇති බවත්, පිරිසිදු වායුව ඉල්ලා සාමකාමී විරෝධතාවයේ නියැලි පිරිස් හට පොලිසිය අපරාධකරුවන් සේ සලකා කටයුතු කළේ මන්දැයි, ප්‍රශ්න කර සිටින බවත්, ඔහු අවධාරණය කළේය.
වායු දූෂණය වැලැක්වීමට දිල්ලි, ප්‍රාන්ත රජය පියවර ගනිමින් සිටින බව, පරිසර අමාත්‍ය, මන්ජින්දෙර් සිඞ් සර්සා (Manjinder Singh Sirsa), ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නා බව, ඔහු එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා සිටියේය. ප්‍රාන්ත රජය, ඉන්දීය අග්‍රමාත්‍ය, නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුත් පාලක, භාරතීය ජනතා පක්ෂය සතුය.
දිල්ලියට ශීත සෘතුව එළඹෙත්ම, යටිතල ඉදිකිරීම් හේතුවෙන් හටගන්නා දුහුවිලි, මෝටර් රථ විමෝචන සහ වෙනත් කාර්මික වායු, ඝන ශීත වාතලය මත රැඳී පැවතීමෙන් විශාල පිරිසක් ස්වාසනාබාධ වලට ගොදුරු වෙති.
ඊට පිළියමක් ලෙස, ඉකුත් වසරේ එහි කෘත්‍රිම වැසි ඇති කිරීම පිණිස බලධාරීන් ගත් ප්‍රයත්න නිෂ්ඵල විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/10/2025
මුලාශ්‍රය :
New Delhi police detain dozens in anti-pollution protests







