leader s

මිග්-31 ජෙට් යානයක් සොරකම් කිරීමේ යුක්රේන-බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ බව රුසියාව පවසයි.


යුක්‍රේන සහ බ්‍රිතාන්‍ය රහස් ඔත්තුකරුවන් එක්ව ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක මිලකට ශබ්ධය  පරයා ගමන් කළ හැකි කින්සාල් (Kinzhal) මිසයිලයකින් සන්නද්ධ මිග් - 31 (MiG-31) වර්ගයේ ජෙට් යානයක් පැහැර ගැනීමට කළ තැතක් ව්‍යර්ථ කළ බව රුසියානු රාජ්‍ය මාධ්‍ය අද (11) වාර්තා කළේය. රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) මගින් මේ බව අනාවරණය කර තිබේ.

එසේ පැහැර ගත් යානය, රුමේනියාවේ, කොන්ස්ටැන්ටා (Constanta) හි පිහිටි නැටෝ (NATO) ගුවන් කඳවුරක් කරා පියාසර කරවා, අනතුරුව ගුවන් ආරක්ෂක පද්ධති මගින් වෙඩි තබා බිම හෙලීමට සැලසුම් කර තිබූ බව, එහිදී හෙළි  වී ඇත.

ෆෙඩරල් ආරක්ෂක සේවය යනු සෝවියට් සමූහාණ්ඩු සමයේ පැවති කේ.ජී.බී. (KGB) රහස් ඔත්තු සේවයේ අනුප්‍රාප්තියයි. අදාළ පැහැර ගැනීම  සිදු කිරීම පිණිස, ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක මුදලට රුසියානු ගුවන් නියමුවන් බඳවා ගැනීමට යුක්‍රේන හමුදා බුධි අංශ සැලසුම් කර තිබූ බවට ද, කරුණු අනාවරණය කර තිබේ.

යුක්‍රේන - බ්‍රිතාන්‍ය බුද්ධි අංශ තැරැව්කරුවකු විසින් රුසියානු ගුවන් නියමුවකුට, යුරෝපය වෙත පියාසර කිරීමට මිග් යානයක් පැහැර ගැනීම පිණිස   මුදල් ලබා දීමට කටයුතු කරන පණිවුඩ අඩංගු රූපරාමු සහ හඬ පට රුසියානු රාජ්‍ය රූපවාහිනිය විකාශය කළේය. එම ගුවන් නියමුවා වෙත යුරෝපයේ පුරවැසි භාවය ද පිරිනමා තිබේ.

r3254
කින්සාල් යනු  ගුවනේදී මුදා හැරෙන, රුසියාවේ නිෂ්පාදිත බැලස්ටික් මිසයිලයකි. එය ශබ්ධයේ වේගය පරයා යන අධි වේගයකින් යුත්  අවියක් බව රුසියාව පවසයි. ගුවනේ ගමන් පථය, අභිලාශය පරිදි වෙනස්  කිරීමට ඊට හැකියාව පවතී. ඒ හේතුවෙන් එය, ගුවන් ආරක්ෂක පද්ධතීන් මග හැර අවශ්‍ය ඉලක්කය හඹාගොස් පහරදීමට සමත් අති  ප්‍රබල මිසයිලයකි.

සිය ප්‍රධාන සතුරා බ්‍රිතාන්‍යය බව රුසියාව පවසන්නේ බොහෝ කලකට පෙර සිටය. යුක්‍රේන යුද්ධය ඇවිලීම සම්බන්ධයෙන් මොස්කව් රජයේ ප්‍රබලම චෝදනා එල්ල වන්නේ  බ්‍රිතාන්‍යයටය. රුසියාව අභ්‍යන්තරයේ ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේන හමුදාවන්ට බුද්ධි තොරතුරු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද  බ්‍රිතාන්‍යය, රුසියාවේ උදහසට ලක්ව සිටී.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම අධිරාජ්‍යවාදී භූමි ආක්‍රමණයක් බව, බ්‍රිතාන්‍යය පවසයි.  

(සටහන | Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/11/2025

මුලාශ්‍රය :

Russia says it foiled Ukrainian-British plot to steal a MiG-31 jet, state media reports

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්