දකුණු කොරියාවේ අඩ මිලියනයකට අධික තරුණ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සංඛ්‍යාවක් ඊයේ (13) රට පුරා විශ්වවිද්‍යාල ප්‍රවේශය පිණිස වන විභාගයට පෙනී සිටියහ.
සිසු සිසුවියන්ට නියමිත කාලයට පෙර විභාග මධ්‍යස්ථාන කරා යාමට පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබිණි. දකුණු කොරියානු ගුවන් ගමන් සියල්ල පැය භාගයකට තාවකාලිකව අත්හිටුවීමට බලධාරීහු පියවර ගත්හ.
දකුණු කොරියාවේ ප්‍රධාන පෙළ විශ්ව විද්‍යාලයන්ට ප්‍රවේශ වීමට නම්, එම තරග විභාගයෙන් උසස් ලකුණු ලබා ගත යුතුම ය. වසර හතකට පසු එරට එම විභාගයට පෙනී සිටි වැඩිම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. බොහෝ විභාගාපේක්ෂක්යින් 2007 වසරේ උපත ලබා සිටියහ. එකල, එම වකවානුව වාසනාවන්ත දරු උපතකට සුදුසුම කාලය බවට දකුණු කොරියාවේ දැඩි විශ්වාසයක් වීය. ඒ හේතුවෙන්, එම වකවානුව තුළ, එරට දරු උපත් වල සීග්‍ර වර්ධනයක් දක්නට ලැබිණි.
විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය හේතුවෙන් ඉන්චොන් (Incheon) ඇතුළු සියලු ගුවන්තොටුපොළ ගුවන් ගමන් පැය භාගයකට අත්හිටුවීමට රජය පියවර ගත්තේය. ඒ අනුව, එරට වේලාවෙන් ප.ව.1.05ත්, ප.ව.1.40ත් අතර කාලය තුළ, ගුවන් යානා පිටත්වීම් සහ පැමිණීම් තාවකාලිකව අත්හිටවිණි.
ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට බාධාවකින් තොරව ඊට පෙනීසිටීමට පහසුකම් සැලසීම පිණිස එම පියවර ගත් බව, බලධාරීහු කියා සිටියහ. එම නිහඬ කාලය තුළ, ඉංග්‍රීසි විෂයට අදාළ අවබෝධාත්මක, සවන්දී පිළිතුරු ලිවීමේ ප්‍රශ්නපත්‍රය විභාගකරුවන් වෙත ඉදිරිපත් කෙරිණි.
එම කාලය තුළ, දකුණු කොරියානු අහසේ, සහ ගුවන් තොටුපොළවල ගුවන් යානා 140ක් පමණ ප්‍රමාදයට ලක් විය. ඉන් 65ක් ජාත්‍යන්තර පිටත්වීම් සහ ලඟාවීම් විය. දකුණු කොරියානු ගුවන්තොටුපොළ වෙත ලඟාවෙමින් පැවති ගුවන් යානාවන්ට අහසේ වෘත්තාකාර ගමන්මාර්ගයක පියාසර කරමින් සිටීමට සිදු විය. එම සියලු ගුවන් යානාවන්ට මීටර 3000කට පහළින් රැඳී සිටීම ද තහනම් කෙරිණි.
ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථාන වෙත මගී තදබදයකින් තොරව පහසුවෙන් ළඟාවීමට ඉඩ සලසමින්, එරට සියලු වෙළඳ මධ්‍යස්ථාන සහ කාර්යාල, සුපුරුදු දෛනික වේලාවෙන් පැයක් ප්‍රමාද ව ආරම්භ කිරීමට ද රාජ්‍ය උපදෙස් නිකුත් කර තිබිණි.
අධි තරගකාරී සමාජ වටපිටාවක් සහිත දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍රයේ කාලය පැය නවයකි. මෙවර විභාගයට අපේක්ෂයෝ 554,174ක් ලියාපදිංචිව සිටියහ. එය ඉකුත් වසරට වඩා 6% ක වර්ධනයකි. 2019ට පසු, විශ්වවිද්‍යාල ප්‍රවේශයට වැඩිම දකුණු කොරියානුවන් පිරිසක් පෙනී සිටි වර්ෂය මෙය වේ.
1990 දශකයේ සිට දකුණු කොරියාවේ දරු උපත් ක්‍රමිකව පහළ ගියේය. එහෙත් එහි, ක්ෂණික වර්ධනයක් පෙන්වමින් 2007 වසරේ එරට දරු උපත් 496,000ක් සිදු විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/14/2025
South Korea bans flights as 500,000 take crucial university admission test







