පලස්තීනයේ ස්වෛරීභාවය උදෙසා එක්සත් ජනපද සහායෙන් ගෙනා යෝජනාවක් ඊශ්‍රායල රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
රජයේ අන්ත දක්ෂිණාංශිකයින් යෝජනාවට විරෝධය පා, උද්ඝෝෂණයේ යෙදුනහ. පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට කිසිදු ඉඩක් නොතබන බව, එම විරෝධතා හමුවේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඊයේ (16) ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදය සහ මුස්ලිම් රටවල් රැසක්, පසු ගිය දා, ජනපති ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මට සහාය දැක්වීමේ, එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කළහ. එය පලස්තීන රාජ්‍යයක් පිණිස "පාර කැපීමක්" බව, අග්‍රාමාත්‍ය නෙතන්යාහු පවසයි.
සාමාජිකයින් 15 දෙනකුගෙන් යුත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉකුත් 07 දා, එම යෝජනාව පිලිබඳ සාකච්ඡා ආරම්භ කළේය. ගාසා තීරයේ සංක්‍රාන්ති පරිපාලනයක් පිණිස, "සාම මණ්ඩලයක්" පිහිටුවීම සඳහා වූ ජනපති ට්‍රම්ප්ගේ යෝජනාව බලාත්මක කිරීම එහි අරමුණයි. ගාසා හි පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිෂ්ඨාපනය උදෙසා එය ක්‍රියාත්මක කෙරේ.
ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස ජනපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර ක්‍රියාවට නංවන ලද යෝජනාවලියට කරුණු 20ක් ඇතුළත්ය. "පලස්තීන අධිකාරිය තුළ, යම් ප්‍රතිසංස්කරණ පවතීනම්, ඊට අදාළ කොන්දේසි, අවසානයේ, පලස්තීන ජනතාවගේ අභිප්‍රායයන් බවට අප විසින් හඳුනා ඇති, එහි ස්වයං-නීර්ණ සහ රාජ්‍යත්වය උදෙසා වන විශ්වසනීය මාවතතක් පිණිස විය හැකිය," යනුවෙන් වගන්තියක් එහි ඇතුළත් ය.
එය දක්ෂිණාංශිකයින් ගේ දැඩි විවේචනයට බඳුන් වී තිබේ. ඒ අනුව, ගාසා තීරයේ හෝ එහි කිසිදු කලාපයක් වෙනුවෙන් පලස්තීන රාජ්‍යයක් පිණිස වන යෝජනාවක් වේ නම්, එය එක හෙලා, හෙළාදකින බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු පැවසීය. "කෙක්කෙන් හෝ කොක්කෙන්", ගාසා තීරය නිරායුධකරණයට ලක් කර, හමාස් සංවිධානය අවි අත්හරින තෙක් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඊට කිසිවකුගේ ට්විටර් පණිවුඩ හෝ දේශන අනවශ්‍ය බවත්, අග්‍රාමාත්‍යවරයා තරයේ ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz) සහ විදේශ අමත්‍ය, ගිඩන් සාර් (Gideon Saar)
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz) සහ විදේශ අමත්‍ය, ගිඩන් සාර් (Gideon Saar) ද ජනපති ට්‍රම්ප්ගේ යෝජනාවට විරෝධය පා, ඊයේ එක්ස් (X) පණිවුඩ නිකුත් කළහ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින් අන්ත දක්ෂිණාංශික සන්ධානය ආරක්ෂා නොකෙරෙන්නේ නම්, රජය මීළඟ මැතිවරණට පෙරම බිඳ වැටෙන්නේය. එරට මීළඟ මැතිවරණය, එන වසරේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතය.
ගාසා යුද්ධයෙන් මේ වන විට පුද්ගලයින් 69,000ක් ජීවිතක්ෂයට පත්ව ඇත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)







