*‘Years’ සන්නාමයේ නැවුම් ආහාර ලබාදුන් සුනඛයින් ‘Dry Eye’ රෝගයට ගොදුරු වූ බවට පැමිණිලි රැසක්
*වට්ටෝරුවට අලුතින් එක්කළ 'බක්වීට්' (Buckwheat) සංඝටකය සහ සැපයුම් දාමයේ විෂවීම් ගැන පරීක්ෂණ
බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සුරතල් සත්ව ආහාර සන්නාමයක් වන 'Years' සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සියලුම නැවුම් සුනඛ ආහාර (Fresh meals) තොග වෙළඳපොළෙන් සහ පාරිභෝගිකයින්ගෙන් වහාම ඉවත් කරගැනීමට (Recall) පියවර ගෙන තිබේ. එම ආහාර වට්ටෝරුවට සිදුකළ වෙනස්කමකින් පසු, සුනඛයින්ගේ ඇස්වල පෙනීම අහිමි වීමේ අවදානමක් සහිත දරුණු රෝගී තත්ත්වයක් වාර්තා වීම මෙම පියවරට හේතු වී ඇත.
තම නිෂ්පාදන භාවිත කරන සුනඛ හිමිකරුවන්ට වහාම එම ආහාර ලබාදීම නතර කරන ලෙස දැනුම් දී ඇති සමාගම, අදාළ ආහාර තොග වෙනත් සතුන්ට ලබාදීමෙන්, පරිත්‍යාග කිරීමෙන් හෝ විකිණීමෙන් වළකින ලෙස ද දැඩිව අවධාරණය කරයි.
සුනඛයින්ගේ දෑස් අඩපණ කරන ‘Dry Eye’ රෝගය

වාර්තා වන අන්දමට මෙම ආහාර ලබාගත් සුනඛයින් හට 'කෙරටොකොන්ජන්ක්ටිවයිටිස් සික්කා' (Keratoconjunctivitis Sicca - KCS) හෙවත් ඇස් දෙකෙහිම හටගන්නා වියළි බව (Sudden bilateral dry eye) වැළඳී ඇත. මෙම තත්ත්වයේදී ඇස්වල කඳුළු නිපදවීම සම්පූර්ණයෙන්ම ඇනහිටින අතර, නිසි ප්‍රතිකාර කඩිනමින් නොලැබුණහොත් සුනඛයාගේ පෙනීම ස්ථිරවම අහිමි වී යා හැක.
බ්‍රිතාන්‍යයේ රෝයල් කෙනල් ක්ලබ් (The Royal Kennel Club) ආයතනය පෙන්වා දෙන්නේ, මෙම රෝගය වැළඳුණු සුනඛයින් නිතර ඇස් පිරිමැදීම, ආලෝකයට සංවේදී වීම, ඇස් රතුවීම සහ ඇස් වටා ඝන ශ්‍රාවයක් පිටවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
බක්වීට් සංඝටකය පිළිබඳ සැකය සහ පරීක්ෂණ

'Years' සමාගම සඳහන් කරන්නේ තම පාරිභෝගිකයින් 40,000කට ආසන්න පිරිස අතරින් අක්ෂි ආබාධ පිළිබඳ වාර්තා 192ක් පමණ මේ වන විට ලැබී ඇති බවයි. මීට මාස කිහිපයකට පෙර සිය ආහාර වට්ටෝරුවලට එක්කළ 'බක්වීට්' (Buckwheat) නැමැති ධාන්‍ය වර්ගය මෙවැනි අසාත්මික හෝ අහිතකර ප්‍රතික්‍රියාවකට හේතු වන්නට ඇතැයි සමාගම සැක පළ කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, "අපගේ විමර්ශනවලදී බක්වීට් සංඝටකය මේ සඳහා බලපෑ හැකි සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බක්වීට් සැපයුම් දාමය තුළ කිසියම් විෂවීමක් (contamination) සිදුවී ඇත්දැයි සොයා බැලීම ද ඇතුළුව ස්වාධීන රසායනාගාර පරීක්ෂණ සහ විෂවේද (toxicology) විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මකයි. මෙය පූර්වාරක්ෂක පියවරක් ලෙස ගත් තීරණයක්," යනුවෙනි.
පාරිභෝගික කැලඹීම සහ නීතිමය පියවර

මෙම හදිසි තත්ත්වයත් සමඟ බ්‍රිතාන්‍යයේ සුරතල් සතුන් හිමිකරුවන් අතර දැඩි කනස්සල්ලක් හටගෙන ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ විපතට පත් සත්ව හිමිකරුවන්ගේ එකමුතු කණ්ඩායම් ද බිහිවෙමින් පවතී. තම සුනඛයින්ට ජීවිත කාලය පුරාම ප්‍රතිකාර කිරීමට සිදුවනු ඇතැයි පවසමින් ඇතැම් පිරිස් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් වන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
සුනඛයින් අක්ෂි ප්‍රතිකාර සඳහා දක්වන ප්‍රතිචාරය විවිධ මට්ටම්වල පවතින බවත්, ඇතැම් සතුන් ප්‍රතිකාර මගින් සුවය ලබද්දී තවත් සමහර සතුන්ගේ සුවය ලැබීමේ වේගය ඉතා මන්දගාමී බවත් පශු වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
මුලාශ්‍රය :
The Guardian: Dog food recalled in UK after reports of pets losing their sight
The Royal Kennel Club - Dry Eye (KCS) in Dogs Information








