හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි; චීනය ඇතුළු රටවල් රැසක ආර්ථික ගනුදෙනු අවදානමක.
ගෝලීය වෙළඳපොළ දැඩි කම්පනයක; අමෙරිකානු තර්ජන මැද ලංකාවේ 'තේ-තෙල්' ගනුදෙනුවලටත් එල්ල විය හැකි බලපෑම්.
ඉරානයට සහාය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික සම්බාධක පනවන බවට, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. ඒ අනුව, ලොව සෙසු රටවල් ඉරානය හා කිසිදු ඉදිරි සමාජ - ආර්ථික ගනුදෙනුවකට යාම දැඩි අවදානමට බඳුන් වන කරුණකි.
මීට සය මසකට පමණ ඉහත, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඇරඹි ඉරාන යුද්ධයෙන් මේ වන විට, පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යුද්ධය ගල්ෆ් රටවල් වෙත ද සීග්‍රයෙන් ව්‍යාප්තව පවතින අතර ගෝලීය වෙළඳපොල දැඩි කම්පනයකට බඳුන්ව පවතී. පසුගිය පෙබරවාරියට පෙර, ගෝලීය ඉන්දන ප්‍රවාහනයේ පහෙන් පංගුවක් පමණ සිදු කළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ද මේ වන විට, ඉරානයේ තර්ජිත පාලනයට නතුව තිබේ. ඉරානය විසින් එය මුළුමනින් වසා දමා ඇති අතර වෙළඳ නෞකාවන්ට ඒ ඔස්සේ යාත්‍රා කළ හැක්කේ ඉරාන අවසරය මත පමණක් බව, ඉරාන විප්ලවීය හමුදාව විසින් දන්වා ඇත.
හෝර්මුස් අර්බුදය සහ ගෝලීය වෙළඳපොළේ කම්පනය

පසුගිය අප්‍රේල් සහ ජුනි මස දෙවතාවක්ම, දෙරට සටන් විරාම නිවේදනය කළහ. ගැටුම් අවසන් කිරීමේ අරමුණින්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යුද්ධයට පෙර පැවති සාමකාමී තත්ත්වයට යළි රැගෙන එම එහි මූලික අරමුණක් විය. එහෙත්, එම ප්‍රයත්න අසාර්ථක වූ අතර ඊශ්‍රයලයද, මුල සිටම සටන් විරාම ක්‍රමවේදයෙන් ඉවත්ව කටයුතු කළේය.
ඊයේ (19) සන්ධ්‍යාවේ, සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කළ ජනපති ට්‍රම්ප්, ඉරානයට එරෙහි මහා පරිමාණ සමාජ - ආර්ථික සම්බාධක යුද්ධයක් ප්‍රකාශයට පත් කළේය. 1979 වසරේ ඉස්ලාමීය විප්ලවයේ සිට 50 වසරක් පුරා, ඉරානය දරුණු ආර්ථික සම්බාධක වලින් බැට කමින් සිටින්නේය.
සිය මූල්‍යායතන, ව්‍යාපාර, ගුවන්තොටුපොළ හෝ රාජ්‍යායතන ඔස්සේ ඉරානයට කිසිදු ආකාරයක ජීවනාලිය සපයන ලොව ඕනෑම රටකට, අති මහත් ආර්ථික අර්බුයන්ට මුහුණපෑමට සිදු වන බව ට්‍රම්ප් එම මාධ්‍ය සටහනේ දැක්වීය.
නැවත දැනුම්දෙන තෙක් ඉරානය සමග සියලු ආකාරයේ වාණිජ කටයුතු, වෙළඳ හුවමාරු සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවන බව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරුවාදා (18) නිවේදනය කළේය. එහි ප්‍රධාන පෙළ එක්සත් ජනපද හමුදා කඳවුරක් පවතී. ඉරානයෙන් දියත් කළ මිසයිල දෙකක් මුහුදට පතිත වූ බව නිරීක්ෂණය වී යැයි, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමත් සමග එම නිවේදනය නිකුත් කෙරිණි.
චීනයේ ස්ථාවරය සහ අමෙරිකාවේ ප්‍රතිපත්තිමය ගැටුම
2025 වසරේ ප්‍රකාශිත දත්ත වලට අනුව, ඉරාන තෙල් අපනයනයෙන් 80%ක් පමණ මිලදී ගන්නේ චීනයයි. එය එක්සත් ජනපදය වෙත ප්‍රධාන අපනයනකරුවෙකි. චීනය අතිශය දුර්ලභ සහ අත්‍යවශ්‍ය භූ ඛනිජ සම්පත් රැසක් එක්සත් ජනපදයට අපනයනය කරයි. එබැවින්, එක්සත් ජනපද තර්ජනයට චීනයේ ප්‍රතිචාරය කිසි සෙත් අවතක්සේරු කළ නොහැක.
එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමට ඉරානය සූදානම් ය. එහෙත්, සාකච්ඡා නාමයෙන් යටත් වීම ඔවුන්ගේ අපේක්ෂාව නොවේ. එක්සත් ජනපද හමුදා තර්ජන සහ ආර්ථික සම්බාධක හමුවේ, ඉරානයේ ස්ථාවරය විචල්‍ය නොවන බව, එරට උත්තරීතර නායකයාගේ උපදේශකයකු වන මොහම්මඩ් මොඛ්බෙර් අඟහරුවාදා පැවසීය.

ඉරානයේ සුපෝෂිත යුරේනියම් සංචිතය සියතට ගැනීම ට්‍රම්ප්ගේ අරමුණ ය. ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සහ එම පර්යේෂණ වැඩසටහන කප්පාදු කෙරෙන ගිවිසුමකට ඉරාන රජය නතු කර ගැනීම ඔහුගේ ඉලක්කය ය. 2018 ඉරානය සමග පැවති න්‍යෂ්ටික ගිවිසුමකින් ඔහු, එක්සත් ජනපදය ඒකපාර්ශ්විකව ඉවත් කර ගත්තේය. න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ අත්සන්කාර රාජ්‍යයක් වන ඉරානය, සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු උදෙසා පමණක් බව දශක ගණනක් තිස්සේ කියා සිටී.
ශ්‍රී ලංකා - ඉරාන තේ-තෙල් ගනුදෙනුවට එල්ල වන අවදානම
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය, විජිත හේරත් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි අතර ඉකුත් පෙබරවාරි මස පැවති දුරකථන සංවාදයකදී, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම පිලිබඳ අවධාරණය කෙරුණු බව, නිව්ස්වයර් (Newswire) උපුටා දක්වන 'හිස්ටරි ඔෆ් සිලෝන් ටී' (historyofceylontea.com) වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. තවදුරටත් එක්සත් ජනපද බදු පැනවීම් පිලිබඳ අවිනිශ්චිත බව හේතුවෙන්, ශ්‍රී ලංකාවෙන් ඉරානයට සිදු කෙරෙන අපනයන නතර වන්නට 'ඔන්න මෙන්නව' පැවති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන් බව ද 'සන්ඩේ ටයිම්ස්' (Sunday Times) පුවත් පත උපුටා දක්වමින් එම වෙබ් අඩවියේ දැක්වේ.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශ්‍රී ලංකාවෙන් ඉරානය වෙත සිදු කෙරෙන අපනයන 12%කින් වර්ධනය ව ඇතැයි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල (Sri Lanka Export Development Board) වෙබ් අඩවිය සඳහන් කරයි. එම වසරට සාපේක්ෂව 2025 වසරේ ශ්‍රී ලංකාව වෙත ඉරාන ආනයන 71%කින් වර්ධනයව ඇතැයි ද එහි දැක්වේ.
2025 වසරේ ශ්‍රී ලංකාවෙන් ඉරානය වෙත කෙරුණු ප්‍රධාන අපනයන අතර තොග තේ, කොහුබත්, ඇසුරුම් ගත සහ සැෂේ තේ නිෂ්පාදන, දිසිඳි පොල්, කුරුඳු, ඛනිජ වැලි, විසිතුරු මත්ෂ්‍ය, රෙදිපිළි නිෂ්පාදන සහ කාන්තා ඇඟලුම් විය.
(සටහන | හර්ෂ උදයකාන්ත පීරිස්)
8/20/2026
(
Reuters : Trump warns of economic consequences for any country that supports Iran
SRI LANKA TO MAINTAIN IRAN TRADE TIES DESPITE US SANCTIONS: REPORT
BACKGROUND OF IRAN








