*තෙල් අලෙවිය වැඩි වුවද වරායවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නැව් දින ගණනාවක් පෙළ ගැසී සිටියි
*යාවත්කාලීන වූ නව කොන්ත්‍රාත් කොන්දේසි හමුවේ වරාය කළමනාකරණය තවදුරටත් අභියෝගාත්මක වෙයි
වෙනිසියුලාවේ බොර තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යමින් පැවතියද, එරට පවතින දිරාපත් වූ වරාය පද්ධතිය සහ යටිතල පහසුකම් හේතුවෙන් අපනයන ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වී තිබේ. ජාත්‍යන්තර වෙළඳපොලේ පවතින ඉහළ ඉල්ලුම හමුවේ සිය තෙල් නිෂ්පාදන අපනයනය කිරීමට වෙනිසියුලාව උත්සාහ දැරුවද, වරායවල පවතින සීමිත ධාරිතාව නිසා බොර තෙල් රැගත් ටැංකි නෞකා දින 30ක පමණ කාලයක් මුහුදේ නැංගුරම්ලා බලා සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ.
වරාය පද්ධතියේ පවතින සැබෑ තත්ත්වය

මීට දශක දෙකකට පෙර වෙනිසියුලාවේ දෛනික බොර තෙල් නිෂ්පාදනය මිලියන 3 ඉක්මවූ අවධියේදී, වරාය පද්ධතිය මගින් දිනකට මිලියන 2.5කට අධික අපනයන ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව පැවතිනි. එම කාලයේදී නෞකාවක් පැමිණ තෙල් පටවා පිටත්වීමට සතියකටත් අඩු කාලයක් ගත වුවද, වත්මන් තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇත.
මේ වන විට එරට බොර තෙල් අපනයනය දෛනිකව බැරල් මිලියන 1.25කට වඩා ඉහළ නැංවීමට නොහැකි වී ඇත්තේ වරායවල පවතින තාක්ෂණික දෝෂ, විදුලිය ඇනහිටීම් සහ යන්ත්‍ර සූත්‍රවල පවතින අකාර්යක්ෂමතාව හේතුවෙනි. විශේෂයෙන්ම වෙනිසියුලාවේ මුළු අපනයනයෙන් 70%ක් පමණ හැසිරවෙන 'ජෝස්' (Jose) වරාය ආශ්‍රිතව පවතින මෙම තදබදය, අපනයන ප්‍රවාහයට සෘජුවම බලපෑම් එල්ල කර තිබේ.
නව ආයෝජන සහ ඉදිරි දැක්ම
ඇමරිකානු සම්බාධක ලිහිල් කිරීමෙන් පසු වෙනිසියුලාව සහ ජාත්‍යන්තර වෙළඳ සමාගම් අතර ඇති කරගත් ගිවිසුම් මත, මේ වසරේ මුල් භාගයේ සිට බැරල් මිලියන 140කට අධික බොර තෙල් ප්‍රමාණයක් අපනයනය කිරීමට හැකි වී තිබේ. කෙසේ වෙතත්, මෙම ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියේදී තෙල් නිෂ්පාදනය වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වුවද, වරාය සහ පිරිපහදු මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් මෙතෙක් ලැබී නොමැති බව ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති.

පී.ඩී.වී.එස්.ඒ (PDVSA) රාජ්‍ය බලශක්ති සමාගම සහ එහි හවුල්කාර පාර්ශවයන් මේ වන විට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන්ම නෞකා සඳහා බලා සිටීමට සිදුවන කාලය වෙනුවෙන් ගෙවීමට සිදුවන අධික දඩ මුදල් (Demurrage) පියවීමට සිදුවීම සහ භාණ්ඩ ගුණාත්මකභාවය පිළිබඳ පැනනැඟී ඇති ගැටලු හේතුවෙන් ගනුදෙනුකරුවන් සමඟ ඇති කර ගන්නා ගිවිසුම්වලදී අතිරේක බාධාවන් මතු වෙමින් පවතී.
කෙසේ වෙතත්, පසුගියදා හියුස්ටන්හි පැවති බලශක්ති සමුළුවලදී අදහස් දක්වමින් වෙනිසියුලාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, මෙම යටිතල පහසුකම් ගැටලු වත්මන් පාලනය විසින් හඳුනාගෙන ඇති බවත්, පවතින සීමාවන් නව ආයෝජන හරහා නුදුරේදීම විසඳා ගත හැකි බවත්ය.
මුලාශ්‍රය :
EXCLUSIVE
Reuters - Tankers stack up as Venezuela sells oil faster than its ports can handle








