මැදපෙරදිග මෙහෙයුම් නිමා කළ ඇමෙරිකානු යුද නෞකාව පතායා වෙරළට: ආර්ථික බලාපොරොත්තු සහ සමාජ අවදානම් කරළියට
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් අපේක්ෂා කරන අතරතුර පොලිස් ආරක්ෂාව සහ විශේෂ නිරීක්ෂණ තර කෙරේ
දින 200කට අධික කාලයක් මැදපෙරදිග මුහුදු කලාපයේ මෙහෙයුම්වල නිරතව සිටි ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන යුද නෞකාව සහ ඊට අනුබද්ධ නෞකා ද්විත්වයක් තායිලන්තයේ ලෑම් චබාං (Laem Chabang) වරාය වෙත පැමිණීමට නියමිතව තිබේ.
නෞකාවේ සිටින 5,000කට ආසන්න නාවික සහ මැරීන් භට පිරිසකට විවේකය සහ මානසික සුවය ලබාදීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, ඒ ආශ්‍රිතව පතායා නගරයේ ආර්ථික ප්‍රබෝධයක් මෙන්ම සමාජීය සහ සෞඛ්‍යමය අභියෝග රැසක් ද මතුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සංචාරක ආර්ථිකයට ක්ෂණික උත්තේජනයක්
වියට්නාම් යුද සමයේ සිටම ඇමෙරිකානු හමුදා සාමාජිකයන්ගේ විවේක නිකේතනයක් ලෙස ප්‍රචලිත වූ පතායා නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මෙම පැමිණීම පිළිබඳව ඉහළ බලාපොරොත්තුවක් රඳවා ඇත. විශේෂයෙන් පසුගිය කාලසීමාවේ පැවති සංචාරක පසුබෑම හමුවේ මෙය කෙටි කාලීන ආර්ථික පිබිදීමක් වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.
පතායා නගරාධිපති පොරමාසේ න්ගම්පිචේස් (Poramase Ngampiches) පෙන්වා දෙන්නේ එක් සෙබළෙකු දිනකට තායි බාට් 1,000ත් 3,000ත් (ඇමෙරිකානු ඩොලර් 30 සිට 91 දක්වා) අතර මුදලක් නගරය තුළ වියදම් කරනු ඇතැයි ගණන් බලා ඇති බවයි. නාවික භටයන්ගේ ගොඩබිම් නිවාඩු කාණ්ඩ වශයෙන් ලබාදීමට නියමිත බැවින්, නගරයේ හෝටල්, අවන්හල් සහ ප්‍රවාහන සේවාවන්ට ඉන් සැලකිය යුතු වාසියක් අත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
"අපේ ව්‍යාපාර ඉතිහාසයේ ඉතාම මන්දගාමී කාලවකවානුවක් පසුකරමින් සිටින මොහොතක ඇමෙරිකානු නාවික හමුදා පැමිණීම විශාල බලාපොරොත්තුවක්," යැයි පතායා රාත්‍රී ජීවන ව්‍යාපාරික සංගමයේ සභාපතිනී ලීසා හැමිල්ටන් පවසා තිබේ.
දැඩි කෙරෙන ආරක්ෂාව සහ පොලිස් මෙහෙයුම්
නාවික භටයින්ගේ පැමිණීමත් සමඟ නගරයේ රාත්‍රී සමාජ ශාලා සහ වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් විශේෂ පොලිස් මෙහෙයුම් සහ ඩ්‍රෝන මඟින් කෙරෙන නිරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට තායි බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය සති අන්තයේ සිදු කළ වැටලීම්වලදී නීතිවිරෝධී ලිංගික ශ්‍රමයේ යෙදුණු බවට සැකකෙරෙන පුද්ගලයන් 40කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පතායා පොලිස් ප්‍රධානී අනේක් ශ්‍රතොන්ග්යූ (Anek Srathongyoo) ප්‍රකාශ කළේ මහජන අවකාශයන්හි නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට උපරිම උත්සාහ ගන්නා නමුත් සංචාරක නගරයක ස්වභාවය අනුව එය සංකීර්ණ කාර්යයක් බවයි. තායිලන්ත නීතියට අනුව ගණිකා වෘත්තිය තහනම් කර තිබුණද, සංචාරක කලාපවල එය විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක වන බව නොරහසකි.
දිගුකාලීන මෙහෙයුම් පසුබිම සහ සමාජ විද්‍යාත්මක අවධානය
පසුගිය නොවැම්බර් මාසයේ සැන් ඩියාගෝ වරායෙන් පිටත්වූ මෙම නෞකාව, මැදපෙරදිග කලාපයේ උද්ගත වූ යුදමය වාතාවරණය හමුවේ අඛණ්ඩව දින 200කට වැඩි කාලයක් මුහුදේ රැඳී සිටිමින් නූතන නාවික ඉතිහාසයේ වාර්තාවක් තබා ඇත. එහෙත් එම දීර්ඝ මෙහෙයුම් කාලසීමාව හේතුවෙන් භට පිරිස් අතර පැවති දැඩි මානසික පීඩනය සහ විඩාව පිළිබඳව ද වාර්තා පළවී තිබේ.
බැංකොක් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සංචාරක කළමනාකරණ අංශයේ සහකාර මහාචාර්ය පිපත්පොං ෆක්ෆාරේ (Pipatpong Fakfare) පෙන්වා දෙන්නේ මෙවැනි විශාල පිරිසක් එකවර නගරයකට ඇතුළු වීමෙන් ලිංගික සූරාකෑම් සහ සෞඛ්‍යමය අවදානම් ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. එබැවින් ආර්ථික ප්‍රතිලාභ සමගම සමාජ සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව විද්වත්හු පෙන්වා දෙති.
වැඩිදුර කියවීම සඳහා මූලාශ්‍ර:
Reuters: US carrier visit to Thailand's Pattaya lifts hope and sex-tourism risk








