*වසර ගණනාවකට පසු ඇමෙරිකා-චීන ආයෝජන සහ වෙළෙඳ සබඳතා යළි පණගැන්වීමේ උත්සාහයක්
*ඉදිරි සමුළුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම බලාපොරොත්තු මධ්‍යස්ථ මට්ටමක පවතින බවට තොරතුරු
චීන ජනාධිපති ෂී ජින්පින් සිය ඉදිරි ඇමෙරිකානු සංචාරය සඳහා එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික විධායක නිලධාරීන්ගෙන් සමන්විත දැවැන්ත නියෝජිත කණ්ඩායමක් සහභාගී කරවා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. චීන පෞද්ගලික ව්‍යවසාය ක්ෂේත්‍රය සහ රජය අතර මෑත වසරවල පැවති නියාමන ප්‍රතිපත්ති මෙන්ම ඇමෙරිකාව තුළ චීන ආයෝජන සම්බන්ධයෙන් පවතින දැඩි අවධානය මධ්‍යයේ මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.
සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිත නායකත්ව සමුළුව ඉලක්ක කරගනිමින් මෙම පියවර සැලසුම් කර ඇති අතර, මෙයට එක්වන නිලධාරීන් කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. කෙසේ වෙතත්, ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ චීන ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමක් පිළිබඳව මෙතෙක් තම පාර්ශ්වය සලකා බලා නොමැති බවයි.
වසර ගණනාවකට පසු සිදුවන වෙනසක්
චීන ජනාධිපතිවරයා විදෙස් සංචාර සඳහා මෙලෙස පෞද්ගලික අංශයේ ප්‍රධාන විධායක නිලධාරීන් කැටුව යන්නේ කලාතුරකිනි. විශේෂයෙන් 2020 වසරේ සිට චීනය තුළ තාක්ෂණික, අධ්‍යාපන සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍ර ඉලක්ක කර ක්‍රියාත්මක වූ දැඩි නියාමන ක්‍රියාමාර්ග හමුවේ බොහෝ ව්‍යාපාරික නායකයින්ගේ ක්‍රියාකාරීත්වය සීමා වී පැවතුණි.
ෂී ජින්පින් මීට පෙර මෙවැනි ප්‍රබල ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමක් සමඟ ඇමෙරිකාවේ සංචාරය කළේ 2015 වසරේදීය. අලිබාබා නිර්මාතෘ ජැක් මා, ටෙන්සෙන්ට් නිර්මාතෘ පෝනි මා ඇතුළු බැංකු සහ රාජ්‍ය සමාගම් ප්‍රධානීන් ඊට එක්ව සිටි අතර, එහිදී බෝයිං ගුවන් යානා 300ක් සඳහා ඩොලර් බිලියන 38ක ගිවිසුමකට ද එළැඹිණි.
ඊට ප්‍රතිවිරුද්ධව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 වසරේ මෙන්ම පසුගිය මැයි මාසයේදී ද ඇමෙරිකානු වෙළෙඳපොළ අවස්ථා පුළුල් කරගැනීමේ අරමුණින් එලොන් මස්ක් සහ ජෙන්සන් හුවාං ඇතුළු ප්‍රමුඛ ඇමෙරිකානු ව්‍යාපාරිකයින් 18 දෙනෙකු සමඟ චීනයේ සංචාරය කළේය.
සංචාරයේ ආර්ථික සහ දේශපාලන අරමුණු
දෙරට අතර පවතින ආර්ථික මතභේද හමුවේ වුවද, ආයෝජන හා වාණිජ සබඳතා පවත්වා ගැනීමට චීනය සූදානම් බවට සංඥා කිරීම මෙම නියෝජිත පිරිස කැඳවාගෙන යාමේ මූලික අරමුණක් බව වාර්තා වේ. ඉදිරි ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය ආසන්නයේ ධවල මන්දිරයට ආර්ථික වශයෙන් සාධනීය ප්‍රවේශයක් ලබාදීමට ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇතැයි සාකච්ඡා පිළිබඳ දන්නා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය තුළ චීන සමාගම්වල ක්‍රියාකාරකම් දැඩි පරික්ෂාවට ලක්වෙමින් පවතී. චීන විද්‍යුත් වාහන (EV) සඳහා පනවා ඇති සියයට 100ක තීරුබදු, ඩ්‍රෝන සහ රවුටර් ආනයන සීමා කිරීම් මෙන්ම ටික්ටොක් (TikTok) හි ඇමෙරිකානු මෙහෙයුම් වෙන්කිරීමේ නීතිමය පසුබිම ඊට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.
සමුළුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල
දෙරටේ වෙළෙඳ සහ ආයෝජන සබඳතා කළමනාකරණය සඳහා නිල යාන්ත්‍රණයක් පසුගිය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කළද, ආයෝජන මණ්ඩලය (Board of Investment) මගින් මෙවර සමුළුවේදී දැවැන්ත තීරණ ගනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. ඇමෙරිකාව තුළ චීන ආයෝජන සඳහා පවතින දැඩි වාතාවරණය ඊට හේතුව ලෙස සැලකේ.
මීට අමතරව, වෙළෙඳ මණ්ඩලය (Board of Trade) යටතට වැටෙන "සංවේදී නොවන භාණ්ඩ" (non-sensitive goods) වර්ගීකරණය සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර එකඟතාවක් මෙතෙක් පළවී නොමැත. ඒ සඳහා භාණ්ඩ කාණ්ඩ 10ක් පමණ සාකච්ඡාවට බඳුන්වෙමින් පවතින බව සඳහන් වේ.
ඉදිරි ද්විපාර්ශ්වික සාකච්ඡා

ඇමෙරිකානු සමාගම් සඳහා දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (rare earths) අපනයන බලපත්‍ර ලබාගැනීම ඇමෙරිකාවේ ප්‍රධාන අපේක්ෂාවක් වන අතර, චීනය තවදුරටත් තීරුබදු සහන ඉල්ලා සිටියි. ඩොලර් බිලියන 30ක් වටිනා නිෂ්පාදන සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අඩුකිරීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය සොයා බලමින් සිටින බව පසුගිය ජූලි මාසයේදී චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.
සමුළුවේ මූලික එකඟතාවන් සකස් කරගැනීම සඳහා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් සහ චීන උප අගමැති හේ ලිෆෙන්ග් අතර ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
වැඩිදුර කියවීම සඳහා මුලාශ්‍රය :
Reuters: China's Xi seeks to bring large CEO delegation on US visit, sources say








